සාමාන්‍යයෙන් ධර්ම දේශණයක් අවසන් වේගෙන එද්දී ඒක අවසාන කරන්නේ ධර්ම දේශණය කරන යතිවරයාණන් වහන්සේ විසින් දෙවියන්ට, මළගිය ඥාතීන්ට පිං පමුණුවලා එහෙම නෙ. ඉතින් ඔන්න ඔය වගේ පිං දීම් ආදිය ඉවර වෙනවාත් එක්කම දේශකයාණන් වහන්සේලාගේ කටින් පිට වෙන දෙයක් තියෙනවා. ඒ තමයි "මේ පිං අනුමෝදන් වීමෙන් දෙව් බඹ සැප ලබා අවසානයේ අමා මහ නිවන් සුව ලැබේවා" කියන ප්‍රාර්ථනාව. මේ ප්‍රාර්ථනාව ධර්ම දේශණයේ පුණ්‍යානුමෝදනාවත් එක්ක විවිධ හැඩ වලින් විවිධ ස්වාමීන්ද්‍රයන් වහන්සේලා යොදා ගන්නවා. සමහර විට පුරුද්ද නිසාවෙන් වෙන්න ඇති.
ඒත් මේ සමාජයේ ජීවත් වෙන කීයෙන් කීදෙනෙක් නම් නිවන් මාර්ගයට පැමිණිලා ඇත්ද කියලා ඔයාලා කවුරුවත් හිතලා තියෙනවද? ඇත්තෙන්ම පන්සිල් වත් නොරකිද්දී නිවන් මාර්ගය අවබෝධ කර ගන්නට උත්සාහ දරන උදවිය අද සමාජයේ කොයි තරම් නම් අඩු වෙලාද. හැමෝම එක පිම්මේ, නැත්නම් හැල්මේ දුවනවා එක එක දේවල් පස්සේ. ආධ්‍යාත්මීය දියුණුවක් ගැන හිතන්නට සමහර උදවියට මතක් වෙන්නේ මැදිවියෙන් මහළු වියට පා නගනවාත් එක්කමයි.
හරි ඒ කතාව අපි ටිකකට පැත්තකින් තියමුකෝ. සුපුරුදු විදියට මම මුලින් කීවාක් වගේ අවසාන වෙන ධර්ම දේශණාවකදී අපි කතාවට ලක් කළ යුතු දෙයක් තියෙනවා. ඒ කතාව මෙන්න මේ විදියට කීවොත් වඩා නිවැරදියි. අපි නිවන් මාර්ගයේ යන අතරතුරේදී මගදී දිව්‍ය ලෝකයක ගොඩ බැහැලා ඇති තරම් සැප විඳලා ආයෙත් එතනින් බ්‍රහ්ම ලෝක වලත් ගොඩ බැහැලා ඒවායෙනුත් ගන්න තියෙන දේවල් අරගෙන අන්තිමටම නිර්වාණය කරා යාමක් වගේ අදහසක් දෙන දෙයක් නේ. හරියට අපි විනෝද චාරිකාවක් යද්දී අතරමගදී ලස්සන තැනක් බලලා කන්න බොන්න නවත්තනවා වගේ දෙයක් නේද? ඇත්තෙන්ම ඕකෙන් සිද්ධ වෙන්නේ අපේ සසර ගමන තවත් දික් වෙන එක නේද? සමහර විට මේ කියන වචන වලින් පිළිබිඹු වෙන අදහස මෙහෙම දෙයක් වෙන්නත් පුළුවන්.
ඒ තමයි, යමෙක් පියවර වශයෙන් නිවන් මගේ යද්දී හමු වෙන නැවතුම් පොළවල් හතරක් තියෙනවා. මාර්ග ඵල කියන්නේත් මේවා. දැන් බලයි මොනාද ඒ කියලා. ඒ තමයි සෝවාන්, සකෘදාගාමී, අනාගාමී සහ අරහත් කියන නැවතුම් පොළවල් හතර. මේ එක එක නැවතුම් පොළවල් වලදී අපේ සංසාර චක්‍රයේ කෙටි වීම් සිද්ධ වෙනවා. මින් පළමු නැවතුම් පොළ ගැන අපි කවුරුත් දන්නා කියන කරණීය මෙත්ත සූත්‍රයේ අවසාන ගාථාවෙන් කියැවෙනවා. ඔයාලා නිකමටවත් හිතුවද එහෙම දෙයක් ගැන මෛත්‍රීය කරන හැටි කියවෙන පිරිතක ඇතිය කියලා? බොහෝ දෙනෙක් ඒ ගැන නොදන්නවා ඇති.
දස සංයෝජන ධර්ම කියලා කොටස් දහයකින් යුක්ත අපි සංසාරයේ සැරිසැරීමට උදව් වෙන දෙයක් තියෙනවා. මේ දේවල් මුල ඉඳන් එකිනෙක නැති කරලා දැමීමෙන් අපි අර කලින් කීව මාර්ග ඵල එකින් එක පඩි පෙළක් නගින්නාක් වගේ අපිව ඉහලට එසවෙනවා. සෝවාන් වුනු කෙනෙක් දුගති වල නොඉපිද භවයන් හතක් ඇතුලතදී අනිවාර්යෙන්ම නිවන් අවබෝධ කරනවා. මේ වගේ ඒ ඒ මාර්ග ඵල තත්ත්ව සපුරද්දී බ්‍රහ්ම ලෝක වල උපත ලැබීම, රූපා'රූප ලෝක වල උපත ලැබීමාදී වශයෙන් බුදු දහමේ සඳහන් වෙනවා. සමහර විට මේ ගමනේදි අතරමගදී කියැවෙන ඒ දේවල් ගැන වෙන්නත් පුළුවන් අර මුලින්ම මම කියූ කාරණාවෙන් සඳහන් වෙන්නෙත්. ඒත් ඇහෙන හැටියට නම් තේරුම් යන්නේ නිවන් දකින්න කලින් හැම සුගතියෙන්ම සැප ලැබීමේ අරමුණක් වගේ දෙයක්.
කොහොමින් කොහොම හරි බුදු දහම, සැප ලබන්න එපා කියපු දහමක්, ඉගැන්වීමක් නෙවෙයි. නමුත් නිවන් අවබෝධ කරන්නට නම් කියාපු දහමක්. ඒත් අතරමගදී දිව්‍යලෝක වලදී නැවතිලා සැප ලැබීම නොලැබීම තීරණය වෙන්නේ අපේ කර්ම ශක්තියට අනුකූලව බව මතක තියා ගන්නට ඕනේ. ධර්ම දේශකයන් වහන්සේලාත් මේ වගේ දෙයක් කියන්නට කලින් ටිකක් කල්පනා කරලා බැලීම වටින කියන දෙයක්.
3 පාඨක අදහස් | Comments:
මම නම් අහල තියෙන්නෙ සිව්පිළිසිඹියා කියන්නෙ අර්ථ, ධර්ම, නිරුක්ති, පටිභාන කියන 4යි කියල. රහතන් වහන්සේලා වර්ග කිරීමේදී ප්‍රඥා විමුක්ත, ත්‍රිවිද්‍යාලාභී වැනි වර්ගයක් තමයි සිව්පිළිසිඹියාපත් කියන්නෙ. මට මතක විදියට මහා කච්චායන රහතන් වහන්සේ තමයි සිව්පිළිසිඹියා ඥාන ලාභීන් අතර අග්‍ර වන්නේ.
අනේ සමාවන්න ඒක එහෙම නම්... සිව් පිළිසිඹියා කියන වචනයේ තේරුම සෝවන්, සකෘදාගාමී... ආද වශයෙන් කියවෙන අංග හතර කියලායි මම හිතා ගෙන හිටියේ. දහම් පාසල් කාලයෙන් පස්සේ ඒ ගැන මතකය අඩු වෙලා ගිහින්... නිවැරදි වචනය සොයන් වෙනස් කරන්නම්...
බොහෝමත්ම ස්තූතියි වරද මතක් කරලා දුන්නාට.
"මාර්ග ඵල" කියලා වෙනස් කලා ඔන්න. ඒත් ඔයිට වඩා ලස්සන වචනයක් ඇති කියලයි මගේ හිතේ.
Post a Comment