Showing posts with label මිතුරො | Friends. Show all posts
Showing posts with label මිතුරො | Friends. Show all posts

Tuesday, January 31, 2012

"චතුරගේ මතක අහුර" බ්ලොග් අඩවියේ රචනා වුනු "ඇත්තටම උඹට යාළුවෝ ඔච්චර තිත්තද..?" යන ලිපිය වෙනුවෙන් මා විසින් පළ කරන ලද අදහසක් මෙසේ ලිපියක් ලෙසින් ගෙනහැර දවනු ලැබේ.

සමාජය ගැන තීරණය කරන්නට තමන්ගේ පවුලට හෝ ඥාතියෙකුට අනුන්ගෙන් සිද්ධ වුනු වැරදි, අඩු ලුහුඬු කම්, අතපසු වීම්, අත් වැරදීම් ආදිය යොදා ගැනීමෙන් සිද්ධ වෙන්නේ තමන්ට මෙන්ම අනුන්ටත් සමාජය පිළිබඳව වැරදි ආකල්පයක් ඇති වීම පමණයි. මක් නිසාදයත් සමාජය කියන්නේ තමන්ගේ පවුලට පමණක් සීමා නොවුනු තවත් පුළුල් පරාසයක පැතිරුණු දෙයක් නිසාවෙන්.

ඒ වගේම තමන්ගේ පවුලට හැරුණු කොට තමන්ට යමෙකුගෙන් හෝ තමන්ගේ මිතුරෙකුගෙන් හෝ සුළු හෝ වරදක් සිදු වීම නිසා වසර ගණනක මිතුරු කම කටු ගා දමන්නට හෝ මකා දමන්නට පෙළඹීම නිසාවෙන් තමන්ට යම් දිනයකදී කිසිම මිතුරෙකු හෝ මිතුරියෙකු ඉතුරු වේ යැයි කියන්නට පුළුවන් කමක් නැති තරම්. මිතුරන් නෑදෑයන් අතරේ නොයෙක් අවස්ථාවන් වලදී ප්‍රශ්ණ, ගැටළු, හැල හැප්පීම් ඇති වීම සාමාන්‍ය දෙයක්. නමුත් ඒවා දුර දිග නොගෙන ගොස් සබඳතා ඉදිරියටත් පවත්වා ගැනීමයි වඩා වැදගත් වන්නේ.

යමෙක්ට තම සහෝදර සහෝදරියන් සිටිනවා නම් මේ තාක් කාලයක් ඔවුන් සමග එකම නිවසක ජීවත් වීමේදී එකිනෙකා අතර අඩ දබර, ගැටුම්, හිත් අමනාපකම් අනන්ත වාරයක් සිදු වන්නට පුළුවන් බව අමුතුවෙන් කිව යුතු කාරණාවක් නම් නෙවෙයි. ඒත් ඒ අඩ දබර ඇති වූ පමණට ඔවුනොවුන්ව මග හරිමින්, ඔවුන්ගෙන් ඈත් වී සිටි බවක් මතකයට එනවාද කියන ප්‍රශ්ණයත් ඇසිය යුත්තක්. මන්දයත් තම සොයුරු සොයුරියන් සමග ඇති වන අමනාපකම් නිසා ඔවුනොවුන් ජීවිතයෙන් ඈත් කරගෙන එකට ජීවත් වෙන්නට හැකියාවක් නැති නිසා. නමුත් සමහර උදවිය තමන්ගේ දැඩි ප්‍රතිපත්තීන් හේතුවෙන් තමන්ගේම ලේ නෑයන්, හිතවතුන් සදහටම ජීවිතයෙන් ඈත් කරගෙන සතුටින් ඉන්නට පෙළඹෙන අවස්ථාද නැතුවාම නොවේ. නමුත් වටිනාම දේ නම්, ගැටළු නිසා එකිනෙකා අමතක නොකිරීමයි. සමහර විට දුරම හතුරා ලඟම මිතුරාට වඩා අනාගතයේදී තමන්ට වැදගත් වෙන්නටත් හැකියාවක් තියෙන නිසා.

ඒ නිසාදෝ මන්දා යාළුවන්ටත් ඒ මිම්මෙන්ම සමහරුන් සලකන්නේ. කෙනෙක්ගේ කළණ මිත්‍රයෝ කවුරු හරි අනිවාර්යෙන්ම කෙනෙක්ට එපා වෙන විදියට හැසිරුනහොත් අනිවාර්යෙන්ම ඒ කෙනා මිතුරන් අමතක කරන්න සූදානම් වෙන්නටත් ඉඩක් තිබෙනවා. මන්දයත් ඒ කෙනා ජීවිතේ සතුටින් ගත කරන්නට හිතමින් බැඳීම් අඩු කර ගන්නා ආකාරය ඒ තරම් සුභදායක නොවන නිසා. මිනිස්සු වැරදි කරන බව ඇත්තක්. නමුත් සමහර වැරදි අමතක කර දමනා තරමට හිතට සැහැල්ලුවක් දැනෙනවා. කෙනෙක් වරදක් කලාට අපිත් ඒ කෙනාට ඒ වරදම කරන එක හරිද? ඇයි අපි මිනිස්සුන්ට වෛර කරන්නේ? 

වෙනකෙකුගෙන් තමන්ට සිද්ධ වුනු වැරැද්දක් දැඩිව, මහා පරිමාණයෙන් හිතේ තියාගෙන දවස්, සති, මාස ගණන් හිටියට තමන්ගෙන් වෙනකෙකුට මොන වගේ වැරදි සිද්ධ වෙනවාද, වූවාද කියලා නිකමටවත් හිතා බලන්නට ඔයාලට මතක් වෙනවාද? හිතන්නට පුළුවන් නම් තමන් නිසා දුක් වුනු යාළුවෝ තමන්ගේ ජීවිතේදි ඉඳලා නැතිද කියලා? ඒකට ආගම්, ජාති, ස්ත්‍රී, පුරුෂ භේධයක් නැහැ. අපිට හැමදාම අපි කැමති අයුරේ කාවවත් ආෂ්‍රය කරන්න ලැබෙන්නේ හරිම කලාතුරකින්. අපි ලඟ තිබෙන දෙවල් පරිස්සම් කර ගන්නේ නැතුව අපි ලඟ කවදාවත් නොතිබුනු දෙයක් ගැන හීන මව මව ඉන්නවා නම් ඒකේ ඇති පලය මොකද්ද? 

මේ හිතන්නට ඉඩ කඩ බොහෝ සෙයින් තියෙන දෙයක්. මිනිසුන්ව ආශ්‍රය කළ යුතුයි. තමන්ගෙ ජීවිතේට තර්ජනයක් නම් හැරෙන්න අත නොහැරිය යුතුයි. මන්දයත් ලෝකය කියන්නේ ඉගෙන ගෙන නතර කරන්න පුළුවන් දෙයක් නොවීම. තනිකඩව ලෝකයේ ජීවත් වෙන්නට ගන්නා උත්සාහය වරදක්, නරකක් කියා නොකිය යුතුයි. නමුත් තනිකඩව ජීවත් වීම හිතූ තරම් ලේසි පහසු කටයුත්තක් නොවන බව තේරුම් ගත යුතුයි. කිසිම දවසක තමන් ගැන හිතන කිසි කෙනෙක්ගේ අතින් වැරදි වුනු පමණට ඒ අයගෙන් දුරස් වෙන්නවත්, නරක මිතුරෝ කියා හංවඩු ගහලා කොටු කරලා සලකන්නවත් පුරුදු නොවිය යුතුයි. අපි ජීවත් වෙන්නේ තවත් සුළු කාල පරිච්ඡේදයක්. ඒ කාලය ආතරතුරේදී ඔය දේවල් වලින් හිත පුරුව ගන්නවාට වඩා පුරවා ගන්නට බොහෝ දෑ ඇති බවත් ඔප්පු වී තිබෙනවා. තමන්ගේ වැරදි අඩු පාඩු හේතු කර ගනිමින් අනුන්ට දොස් පැවරීමත් නොකළ යුත්තක්. පුළුවන් හැම වෙලාවකදිම සතුරන්ටත් මෛත්‍රී කරන්න. එදාට මේක කියවන හැමෝම සමාජෙට අවශ්‍ය හොඳ මිනිසුන් වේවි. එසේ නොවුනහොත් රොබෝවන් වන් හැඟීම් දැනීම් නැති මිනිසුන් බිහි වේවි. සිතන්නට ඔබට බාරයි.

Sunday, October 17, 2010

කලින් පල කරපු ලිපියත් එක්කම මගේ සිය වන ලිපියත් පල වුනා. ලිපි ශතකයක්ම ලියලා ටිකක් මහන්සි වුනත් ලිවීම නම් අත හරින්නට කිසිම කල්පනාවක් මට තවමත් ඇති වෙලා නෑ. ඒ ගැන නම් මම පෞද්ගලිකවම සතුටු වෙනවා. ඒත් මගේ ලිවීමේ බරපතලකම මෑතකදී මට පැහැදිලි වුනා. ඒ මගේ මේ ලිවීම් වලට ලැබෙන පාඨක අදහස් නිසා නම් නෙවෙයි. මේ කතාව ගැන එකසිය එක් වෙනි ලිපියෙන්ම මම කියන්නට හිතුවේ නොකියාම බැරි කමටයි. ඒත් මේ වගේ දේවල් ඔයාලා හැමෝටම සිද්ධ වෙන්න හරි නොවෙන්න හරි පුළුවනි. කාට කාටත් දැන ගන්නටයි මේ ලිපිය ලියන්නට හිතුවේ. එහෙනම් ඔන්න දෙවෙනි ශතකයට මේ ලිපියෙන්ම මම ආරම්භය ලබා ගන්නම්.

මේ සිද්ධිය වුනේ පහුගිය ඔක්තෝබරයේ, ඒ කියන්නේ මේ අවුරුද්දේ, 2010 ඔක්තෝබර් මාසයේ අග භාගයේදියි. මම රැකියාවේ නිරත වූයේ කවුරුන් හැටියටද කියන එක ඔයාලා සමහර දෙනෙක් දන්නවා ඇති. ඒත් ඒක ආයෙමත් මතක් කලොත් හොඳයි කියලා හිතනවා. ඇත්තෙන්ම මම වෙබ් අඩවි නිර්මාණය සහ වෙබ් අඩවි සංවර්ධක ක්‍රමලේඛ යොදවන්නෙක් විදියටයි පහුගිය වසර තුනක කාලය පුරාවටම රැකියාවේ නිරත වූයේ.

ඉතින් කාලය ගතවෙලා යද්දී මට වගේම අපේ ආයතනයේ බොහෝමයක් දෙනාටත් තේරුම් ගන්නට බැරුව ගියා ආයතනයේ ඉදිරි දැක්ම මොන වගේ වේවිද කියලා. ඒ වගේම දැඩි අපහසුතා රාශියකටම රැකියාවේ යෙදුනු බොහෝ දෙනා මුහුණ පෑවා. කොහොමින් කොහොම හරි දාඩිය මහන්සියෙන් කරපු වැඩ වලට සරිලන මාසික පඩිය පවා මාස ගණන් පමා වෙන්නට පටන් ගත්තා. ලෝක ආර්ථික පසුබෑමක් 2009 වසරේ මුල් භාගයේදී හැම ආයතනයකටම වගේ දරුණු විදියට බලපෑවා. විශේෂයෙන්ම පරිගණක මෘදුකාංග සංවර්ධනයේ යෙදෙන ආයතන වලට. ඉතින් ශ්‍රී ලංකාව වගේ රටකට ඒ වගේ දෙයක බලපෑම, අනිවාර්යෙන්ම පුදුම වෙන්නට කාරණාවක් නම් නෙවෙයි. මේ බලපෑම නිසාවෙන් ආර්ථික අගහිඟතා වලට අවුරුද්දක්ම වාගේ අපේ ආයතනයත් 2008 අවුරුද්දේ ඉඳන්ම මුහුණ පෑවා. නමුත් දැන් ඒකේ බලපෑම ඉවත් වී තිබුණත්, තවමත් ගොඩ ඒමක් නැති පාටක් කාට කාටත් තේරුම් ගොස් තිබුනා.

මේ දේවල් ගැන කතා කරන්නට බොහෝ දෙනෙක් හිටියා. අවසානයේදී ආයතනය සතුව තිබුණු වටිනා මානව වගේම ශ්‍රම සම්පත් රැසක් ආයතනය හැර දාලා ගියා. මේ දේවල් වලට ඇත්තෙන්ම ආයතනයේ ඉහල පරිපාලකයන්ගේ ක්‍රියා කලාපයත් බලපෑමත් එල්ල වුනා. සේවය කරපු බොහෝ දෙනා විවිධ අඩු පාඩු රැසකට මුහුණ දුන්නා. ගොඩක් දෙනා අමනාපෙන් ඒ දේවල් ගැන කතා කරා, බැන වැදුනා. මාසිකව ලැබිය යුතු වැටුප ඉල්ලා ලබා ගන්නා තැනටම පත්වුනා. මොකද එහෙම ඉල්ලුවේ නැතිනම් වැටුපක් ඒ මාසයට ලබන්නට හැකියාවකුත් නොතිබුණු නිසාවෙන්. මගේම මිතුරන් දැඩි අපහසුතා වලට මුහුණ දුන්නා. නවාතැන් වලට ගෙවනා මුදල ගෙවා ගැනීමටත් බැරි වුනා, සමහරු රෑට නොකා නොබී හිටියේ මාසෙට ලැබෙන මුදල මදි කමටමයි. ඇත්තෙන්ම මේ දේවල් බලාගෙන ඉන්නට බැරුව ඉහළ තනතුරු දැරූ බොහෝ දෙනා සමගින් කතා බහ කළ බොහෝ දෙනාට සිද්ධ වුනේ තමන්ගේ නමට කළු ලකුණු එකතු කර ගැනීම හෝ ආයතනයෙන් ඉවත්ව යාම හෝ පමණයි.

මේ හේතුව හැරුනු කොට මා වැඩ කළ අංශයේ හිටි හැම දෙනාටම එක ව්‍යාපෘතියකට වඩා ප්‍රමාණයක් තනිවම කිසිම මග පෙන්වීමකින් තොරව කරගෙන යාමටත් සිද්ධ වෙලා තිබුණා. මේ ක්‍රමයත් ඒ තරම් හොඳ දෙයක් කියලා දකින්නට පුළුවන්කමක් තිබුණේ නෑ. මේ හේතූන් නිසාවෙන් ආරම්භ කරනා කිසිම ව්‍යාපෘතියක අවසානයක්, ඇරඹුණු ව්‍යාපෘති සියයට අසූවකම පාහේ දැක ගන්නට ලැබුණේ නෑ. ඒ දැනුම පමණක්ම ලබා දෙනවා හැරුණු කොට නිසි පිළිවෙලක්, මග පෙන්වීමක් නොලැබුණ නිසාවෙන් වගේම, විවිධාකාරයේ ක්‍රියා පිළිවෙලවල් ක්‍රියාවට නංවන්නට උත්සාහ ගැනීම් නිසාවෙන්. ලියකියවිලි පිරවීම් හැරුණුකොට වෙබ් අඩවි සංවර්ධන කාර්යයන් බෙහෙවින් අතපසු වීමත්, කල් ගත වීමත් අනිවාර්යෙන්ම දකින්නට ලැබුණු දෙයක් වුනා.

මේ හැම දෙයක්ම එකතු කරගෙන, හැමෝගෙම අඳෝනාවල්, මති මතාන්තර, කියුම් කෙරුම්, හැසිරීම් ද අන්තර්ගත කරගෙන සුදුසු මාතෘකාවක් යොදාගෙන මට කවි පෙළක් ලියන්නට සිහියට ආවේ ඒ වගේ අවස්ථාවකදීයි. ඒ කවි බොහෝ විට ලියැවුනේ ඉතාමත්ම ආවේගශීලී ස්වරයකින්. ඒ නිසා බොහෝ දෙනාට ඒ කවි පෙළින් රිදීමේ හැකියාවත් දැඩි වශයෙන්ම අන්තර්ගත වෙලා තිබුණා. හැබැ‍යි එකක් කිවයුතුමයි. මේ දේට කිසි කෙනෙකුගේ මග පෙන්වීමක්, උසි ගැන්වීමක් නම් මට ලැබුණේ නෑ. මේ සිතුවිලි හිතට එන හැටියට වචන ගලපලායි ඒ කවි පේළිය ලියැවුනේ. මේ කවි පෙළ පල වුනේ මගේ කවි නිර්මාණ එකතුව වුනු නිශා පෙම් හසරැල් බ්ලොග් අඩවියේයි.

මේ කවි පෙළට පළමුව, ආයතනයේම සොයුරියකගේ කවි පෙළකට ලියවුනු තවත් කවි පෙළකට මුළු ආයතනයේම බොහෝ දෙනාගෙන් ප්‍රශංසා ලැබුණා. ඒ මොකද ඒ දෙයින් කියා තිබූ දේවල් ඒ හැමෝම පිළිගන්න නිසාවෙන්. ඒ කවි පෙළ කිසිම අයෙකුට වැරදි කියූවක් නම් නෙවෙයි. නමුත් ඒ අයගෙන්ම සමහර දෙනා මේ සිද්ධියටත් සම්බන්ධ බව පස්සේ දැන ගන්නට ලැබුණා. මා කලින් කීවාක් වගේම බොහෝ දෙනාගේ වැරදි, අඩු පාඩුකම් සහ ආයතනයේ වැරදි රැසක් අන්තර්ගත කරලා ලියැවුණු මේ දෙවෙනි කවි පෙළ ආයතන ප්‍රධානියා වෙත යොමු කළේ මුලදී ආයතනයේ අඳුරු පසුබිම පිළිබඳව ලියැවුනු කවි පෙළට ප්‍රශංසා පල කළ උදවියගෙන් සමහර දෙනා විසින්මයි. එකට ඉන්නා බොහෝ දෙනා හතුරන්ටත් වඩා හපන් බව වටහා ගන්නට බොහෝ දෙනාට මගේ කවි පෙළ උදව්වක් වුනා කියන්නත් පුළුවනි. නමුත් මේ කවි පන්ති පිළිබඳව ආයතන ප්‍රධානී තුමන් හට මගේ නමත් සමගමයි දැනුම් දී තිබුණේ. ඒ නිසා කෙළින්ම දෝශාරෝපණය එල්ල වූයේ මට වගේම මා වැඩ කළ අංශයේ කීප දෙනෙකුටයි.

මතක් කළ යුතු අනිවාර්ය දෙයක් තියෙනවා. එනම් මේ කිසිම කවි පෙළක කිසිම අයෙකුගේ හෝ කිසිම ආයතනයක නමක්, ගමක් සඳහන් කර නොතිබීමයි. නමුත් අවසානයේදී නමත් හමත් යන්නට හේතු වූයේ ඒ දේමයි. මීට ප්‍රධානතම හේතුව වූයේ නිවැරදි තොප්පිය නිවැරදි පුද්ගලයන් විසින්ම පැළඳ ගැනීම නිසායි. ඒ වගේම මේ සම්බන්ධව සියළු ඇත්ත කාරණා ආයතන ප්‍රධානියා සමග කතා බහ කරන්නතත් මම වග බලා ගත්තා. මොකද, ඇත්ත කියන්නට බය නොවිය යුතු නිසාවෙන්. ඒ වගේම කවි පේළි වලිනුත් පැවසූයේ සත්ත්‍යයක් නිසාවෙන් බය වෙන්නට කිසිම කාරණාවක් තිබුණේ නෑ.

අවසානයේදී ආයතනයේ ප්‍රධානී තුමන්ගේ ඉල්ලීම මත ගන්නට තීරණ දෙකක් මට ඉදිරිපත් වූවා. පළමු එක, ආයතනයේ මාසික සභා රැස්වීමේදී නැගිට සැමගෙන්ම සමාව අ‍යැදීම හෝ සේවයෙන් බැහැරව යාමයි. මින් මා තෝරා ගත්තේ දෙවැනි තීරණයයි. ජීවිතයේ ගත් දැඩි තීරණ වලින් එකක් හැටියට මේ තීරණය ගැන කියන්නට පිළිවන්. ඒ තීරණය දැඩි වන්නට කරුණු කාරණා රැසක් තිබුණා. එනම් ආයතනය අප වෙනුවෙන් දැරූ මුදල් සම්භාරයක් නැවත ආයතනයට ලබා දීමට තිබූ අපහසුතාව වගේම අභියෝගය. ඒ සම්බන්ධවත් කිව යුතු කරුණු රැසක් තියෙනවා. තමන් විසින් තමන්ගේම හම යවා ගන්නා තීරණයක් කීවොත් වඩාත් නිවැරදියි. ඒ ගැනත් තවත් ලිපියකින් දන්වන්නම්. නමුත් මගේ අවසාන තීරණය දැනුම් දීමත් සමගම මා නැවත ආයතනයේ තබා ගන්නටත් ඔවුන් බොහෝ උත්සාහයක් දැරූ බව මට තේරුම් ගියා. ඒ මන්දයත් බොහෝ ව්‍යාපෘතීන් වෙනුවෙන් මාගේ සහභාගීත්වය පැවතීමත්, ආයතනය මා පිළිබඳව තබා තිබූ දැඩි විශ්වාසයත් නිසාවෙන්. නමුත් මගේ ජීවිතේදී නම් අවසාන තීරණයක් කියන්නේ, අවසාන තීරණයක්ම තමයි. මිතුරු වෙසින් සිටි සමහරුන්ට මගේ කවි පෙළින් සිදු වුනු රිදවීම නිසාවෙන්, ඔවුන් සිදු කළ කේලම් කීම නිසාවෙන් ඔවුන් ආශ්‍රය කිරීමට කිසියම් ම කැමැත්තක් නොවීමත් මේ තීරණයට ලොකු පිටිවහලක් වුනා කීවොත් නිවැරදියි.

මේ ලිපිය මේ විදියට අවසන් වෙද්දී අද එම ආයතනයෙන් පිටව සිටිනා මා, ජීවිතයේ හොඳ වැදගත් පාඩමක් වගේම අත්දැකීමකුත් ලැබුවා කියන්නට පුළුවනි. ඔයාලටත් මෙවැනි දේ සිද්ධ වෙන්නට පිළිවන්. මා මේ ලිපියේ සඳහන් කරපු තමන්ගේ හම තමන් විසින්ම ගලවා ගැනීම සම්බන්ධයෙනුත් ලිපියක් අනිවාර්යෙන්ම පල කරන්නම්. නමුත් එවන් දෑ සිදු නොකිරීමටත් වග බලා ගත යුතු බව මතකයේ තබා ගැනීම වැදගත්. ප්‍රජාතන්ත්‍රවාදයට අනුකූලව මගේ සිතුවිලි හෙළි කිරීමට ඇති නිදහස එම ආයතනය වැළකූවා නම්, ඒ එම ආයතනය තුළ ගත කළ ඒ අවසාන කාලය තුලදී පමණක් බවත් මතක් කරන්නට අවශ්‍යයි. ඒ නිසා මාගේ ලිවීම කාගේ හිත් රිදවූවත් ඔවුනොවුන් අමනාප වන්නට මත්තෙන් හිතන්නට යමකුත් ඒ තුල ඇතුලත්ව ඇති බවත් සිහි නගා ගත යුතු බව තවදුරටත් මතක් කළ යුතුව තිබෙනවා.

Saturday, September 25, 2010

මේ කියන්න යන දේ ඔයාලත් අත් විඳලා ඇති සමහර විට. ඒත් මේ දේවල් ගණන් නොගෙන ඉන්න තරමටමයි වටින්නේ. නැත්නම් ඉතින් ලේ කෝප කර ගන්න වෙනව නොවැ. මාතෘකාවේ සඳහන් වෙන දේ දැක්කම මගේ ලිපිය පටන් ගන්නත් කලින්ම ඔයාලට එක එක විදියේ අදහස් මතු වේවි. ඒත් ඉතින් මේ දේ තරහක් නැතුව ලියන්න මම හිතුවේ අදාළ පුද්ගලයන්ට දැක බලා ගන්නයි, ඔයාලටත් මගේ මේ අත්දැකීම ගැන කියල දෙන්නයි.

කාඩ්බෝඩ් කෑලි ඉතින් ඕනෙම කෙනෙකුට හොයා ගන්න පුළුවන් නේ. ඉස්සර නම් පොඩි කාලෙදි අපි කාඩ්බෝඩ් වලින් සුපිරි වීරයන්ව ඇඳලා කපලා ඒවත් එක්ක සෙල්ලම් කරනවා. ඒ අපේ කාලේ. දැන් ඉතින් එහෙම නැහැනේ. දැන් කාලයේ අපිට මුණ ගැහෙන්නේ කාඩ්බෝඩ් නළු නිළියන්වනේ. ඔය වගේ නළු නිළියො හැරුනම ඉන්න තව පිරිසක් තමයි කාඩ්බෝඩ් යාළුවෝ. කාඩ්බෝඩ් වචනෙ ඉස්සරහට දාලා අන්තිමට නාම පදයක් එකතු කර ගත්තාම ඒ අදාල නාම පදෙන් හඳුන්වන දේ කාඩ්බෝඩ් එකකින් පවා කපා ගන්න පුළුවන් ගණයේ කියන අදහස නේ එන්නේ.

හරි හරි. ඒක අපි පැත්තකින් තියමුකෝ. දැන් අපි ලිපියේ මාතෘකාවට බහිමු. මේ ලියන දේට මේ මාසයේදී පැවැත්වෙන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයත් වක්‍රාකාරයෙන් සම්බන්ධයි. මේක නොතිබුනා නම් ඉතින් හරි හමං විදියට මේ දේ ගැනත් මට දැන ගන්නට බැරි වෙනවා. මේ එක්තරා යාළුවෙක් ගැන දෙයක් වගේම එයා හැසිරුණේ මොන වගේ විදියකටද යන්න ගැනත් පොඩි ලිපියක්. නම කියන්න උවමනාවක් වෙන එකක් නෑ. මොකද නමට වඩා සිද්ධ වුනු දේ ගැනනේ මටත් ලියන්න ඕනේ. මේවා මතක් වෙද්දිත් මට හරි හිනා ඉතින්. මොනා කරන්නද?

මේ යාළුවා මගෙත් එක්ක හොඳ යාළුකමක් පවත්වපු කෙනෙක්. කොටින්ම කියනවා නම් මගේම පාසලේ එකම මිත්‍ර කැලේ හිටපු කෙනෙක්. කොහොම හරි යාළුකම නිසා හෝ මේ යාළුවා මේ වතාවෙදි පොත් ප්‍රදර්ශනය පළමු දවසේම බලන්න යන්න මට ආරාධනා කරා. නිකන්ම නෙවෙයි ඒක අනිවර්ය ආරාධනාවක්. හැබැයි ඒ ආරාධනාව මට ප්‍රතික්ෂේප කරන්න සිද්ධ වුනා. වෙන මුකුත් හින්දා නෙවෙයි, මම ඒ යාළුවාට කලින් වෙනත් හොඳම යාළුවෙක්ට ඒ දේටම පොරොන්දු වෙලා හිටි නිසා. ඕක කීවට පස්සේ ඒ යාළුවා කතා කරන එකත් නවත්තලා දැම්මා මාත් එක්ක.

ඉතින් ඔතනින් නැවතුන කතාබහ තවමත් ඒ විදියමයි කියලා තමයි කියන්න වෙන්නේ. කොයි තරම් උත්සාහ ගත්තත් කතාවට එකතු වෙන්න කිසිම ප්‍රතිඵලයක් ලැබුනේ නෑ. මොකද ඉතින් එයාගේ ආරාධනය පිළි නොගන්න ඕනෙම කෙනෙක්ව එයා එයාගෙ මිතුරන්ගෙන් ඈත් කරලා දානවා කියන එක ඒ කෙනාගේ ප්‍රතිපත්තියක් වෙන්න ඇති නේ. ඉතින් ඕක තමයි මට කියන්න ඕනේ වුනේ. කොච්චර එකට හිටියත් යාළුවෙක් වගේ, බොක්ක වෙනස් කියල තමයි අවසානයෙදි කියන්න තියෙන්නේ. ආරාධනාවක් පිළි නොගැනීම මිතුරු කම් නැති වෙන්න හේතුවක් නම්, අපිට යම් පුද්ගලයන්ගේ රූකඩ වගේ හැසිරෙන්නටත් සිද්ධ වේවි.

අන්න ඒ නිසයි මම කීවේ ඔය වගේ සුළු දෙයින් පවා යාළුකම් අමතක කරන මිතුරන් කාඩ්බෝඩ් සහ බොලඳ මිතුරන් කියලා. මගේ ලිපියේ මාතෘකාවටත් ඒකම යෙදුවේ ඔන්න ඔය දේ කියන්න ඕනෙ වුණු නිසා. හැබැ‍යි මේකෙන් ඔයාලට දෙන්න පණිවිඩයකුත් තියෙනවා.

කෙනෙක් සමග යම්කිසි වැඩකට නියම කර ගත්තු වෙලාවකම තවත් වැඩක් වෙන අයෙකු සමග කරන්නට පසුව නියම කර ගන්න එපා කියලයි මම කියන්නේ. මුලින් පොරොන්දුවක් දෙන්නේ හිඟන්නෙකුට නම්, පසුව පොරොන්දුවක් වෙන්නට යන්නේ රජතුමෙකුට නම් හිඟන්නාට දුන් පොරොන්දුව කඩ නොකරන්න වග බලා ගන්න. ඒක හොඳ පුරුද්දක්. මේ නිසා ජීවිතෙන් සමහර දේවල් ඈත් වුනත් ඒ ඈත් වීම ම අපිට ජීවිතේදී ලොකු පාඩමක් අවබෝධයක් ලබා දෙන්නට සමත් වෙනවා.

Thursday, September 23, 2010

ඔයාලා ලංකාවේ පය ගහලා ඉන්න අය නම් ඉතින් දන්නවා ඇති නේ පහුගිය දවසක කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශණය ආරම්භ වුනාය කියලා. පහුගිය දහ අට වෙනිදා හැම අවුරුද්දකම වගේම මේ අවුරුද්දෙදිත් සැප්තැම්බර් මාසයේදි මේ පොත් ප්‍රදර්ශණය ආරම්භ වුනා බණ්ඩාරණායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී. දේශීය වගේම විදේශීය කතුවරයන්ගේ වගේම පොත් අලෙවි සැල් මේ කාලයට මහ ජනතාවට මුණ ගැහෙන්නට ලැබෙනවා.

මේ වෙන කොට මට මේ පොත් ප්‍රදර්ශනයට අවස්ථා දෙකකදි යන්න ලැබුනා මේ වතාවෙදි. ඒ අවස්ථා දෙකේදිම පොත් සැලකිය යුතු ප්‍රමාණයක් මිල දීල ගන්නට පුළුවන් වුනා හරි අඩු මුදලකට. මම සාමාන්‍යයෙන් පොත් කියවන කෙනෙක් නොවෙන නිසා මේ වතාවේ ඉඳන් හොඳ ආරම්භයක් ගන්න හිතුනා. එහෙම කීවම හිතයි කවදාවත් පොත් කියවල නැතුව ඇති කියලා. අපෝ! එහෙම නම් නෑ. පොත් නම් කියවලා තියෙනවා, ඒත් ඒකට වෙලාවක් හොයා ගන්න එක තමයි ටිකක් අමාරු වෙලා තිබ්බේ. ඒත් ඉතින් ගත්තු පොත් වලින් එකක් මේ වෙද්දි කියවලා ඉවර කර ගත්තා ආසාවෙන්ම.

මම ගත්තු පොත් අතරින් වඩියෙන්ම ප්‍රමුඛතාවක් දුන්නේ චන්දන මෙන්ඩිස් පරිවර්තනය කරන සර් ආතර් කොනන් ඩොයිල් ගේ ෂර්ලොක් හෝම්ස් පොත් වලට. මම මේ පොත් කලින් කියවලා තිබුනේ නෑ. ඒත් නොකියවා තිබුණු එකේ අඩුපාඩුව දැන් තමයි තේරෙන්නේ. ඒ මොකද ඒ කතා ඒ තරමටම ලස්සනයි. ඔයාලට කියන්න තියෙනවා දෙයක්. මේ පොත් ලාබෙටම ගන්න පුළුවන් වැඩිම වට්ටම් මිලකට මේ පොත් ප්‍රදර්ශනයේදි. ප්‍රදර්ශනයක් කීවට මේක එකම සල්පිලක්. ශර්ලොක් හෝම්ස් පොත් සියයට තිහක වට්ටමකට ගන්න පුළුවන් වුනා මට තාරක ප්‍රකාශකයෝ කියන පොත් කුටියෙන්. මම ඒක කියුවේ කාටත් අඩුවට ඒ පොතක් ගන්න ලේසි වෙන්නයි ඔන්න. පුදුමෙ කියන්නෙ ඔච්චර ප්‍රසිද්ධ සරසවි පොත් හලේ කුටියට ගියේ නෑ මම. ඒත් වෙන වෙන තැන් වලින් පොත් ගන්න ලැබුනා.

මේ පොත් කියවන පුරුද්ද ඇති වුනේ මගේ වටේ ඉන්න යාළුවෝ නිසා. මම ඉතින් හැමෝගෙන්ම හොඳ පුරුදු එකතු කර ගන්න කැමති කෙනෙක් වගේම නරක පුරුදු දිහා බලන් ඉන්න කෙනෙක් නේ. හොඳ යාළුවෝ ඉන්න නිසා ඉතින් හොඳ පුරුදු හුරු වෙනවා. පොත් කියවන්න කැමැත්තක් නොතිබ්බ මට දැන් පොතක් කියවන්නත් ආසාවක් ඇති වුනේ යාළුවන්ට පිං සිද්ධ වෙන්න තමා. කොහොම හරි ඔයාලත් ලබන ඉරිදා ඒ කියන්නේ විසි හය වෙනිදාට කලින් ගිහිල්ලා පොත් ගන්න කියලා මම මතක් කරනවා. මොකද එන්න එන්නම පොත් ගන්න එන ප්‍රමාණය වැඩි වෙන නිසා. පොත් නොකියවන අය මේ වතාවේ ඉඳන්වත් පොතක් කියෙව්වොත් නරකද?

Monday, September 6, 2010

විභාග. විභාග කියන්නේ අපි හැමෝම කරලා තියෙන දෙයක්. මම මේ විභාග ගැන කියවෙන චිත්‍රපටයක් ගැනත් කලින් ලිපියක් පල කරා. මේකත් විභාග වලින් ඉදිරියට යාම, නොයාම සම්බන්ධ ලිපියක්. නමුත් විභාග ගැනම නෙවෙයි සඳහන් කරන්නට යන්නේ.

අපිට අපේ අධ්‍යාපනික වැඩ කටයුතු ඉදිරියට කරගෙන යන්නට විභාග සමත් වීම වැදගත් වෙනවා. මොකද යම් කිසි මට්ටමකින් එහාට යන්නට තමන් සුදුසුද කියලා බලන ඇගයීමකුයි විභාගයක් කියන්නේ. ඒ ඇගයීම සමත් වුනොත් හරි අවශ්‍ය ලකුණු මට්ටම සම්පූර්ණ කර ගැනීමෙන් හරි අපිට ඒ අදාළ මට්ටමට එළඹෙන්නට පුළුවන් කම ලැබෙනවා. මේක සාමාන්‍ය පැහැදිලි කිරීමක්.

මේ කියන්න යන සිද්ධිය මට සිද්ධ වුනු දෙයක් නම් නෙවෙයි. ඒත් මගේ යාළුවෙක් මට කියපු දෙයක්. මම විශ්ව විද්‍යාලයකට ඇතුලත් වුනු ශිෂ්‍යයෙක් නම් නෙවෙයි. ඒ බව මම කලින් වතාවකදිත් සඳහන් කරලා ඇති. නමුත් බාහිර උපාධි පාඨමාලාවක් ඔස්සේ තොරතුරු තාක්ෂණ විශයයේ වැඩිදුර ඉගෙනීම් කටයුතු සිදු කරන්නට අවස්ථාවක් උදා වුනා. මම මේ කියන යාළුවා උසස් පෙළ දෙවෙනි වතාවෙදි සමත් වෙලා කොළඹ විශ්ව විද්‍යාලයට ඇතුලත් වුනු අයෙක්.

ඉතින් ඔහුගේ නියමිත ඉගෙනුම් කාලය අවසාන භාගයකට පැමිණිලාද කියලා නම් මම කියන්නට දන්නේ නෑ. ඒත් කියන්න ඕනේ කාරණයක් තමයි එම උපාධියේ විශේෂ උපාධිය කරන්නට ඔහුට වරම් ලැබිලා නැති බව. ඒ බව ඔහු මා සමග පැවසුවේ දැඩි කේන්තියකින් සහ එය ලබා නොදුන් යම් පුද්ගලයෙකුට ශාප කරමින් සහ ඔහුගේ දෙමාපියන් අති උත්තම පුරුශයෙන් වන්දනා කරමින්. ඒ කොහොමද යන්න ගැනත් මම කලින් ලිපියක් පල කරලා තියෙනවා.

ඔහු පැවසූ අන්දමට එම පුද්ගලයා හෝ ආචාර්‍යවරයා සිටිනා අංශය වෙනුවෙන් වැඩ නොකිරීම නිසාවෙන් ඔහුට විශේෂ උපාධියක් දක්වා යන්නට අවස්ථාවක් උදා නොවීම ඔහු විසින්ම උපකල්පනය කර ගත්තක්. ඒ උපකල්පනය මත රැඳිලා ඔහු එම පුද්ගලයා හට පෙර කියූ පරිද්දෙන් වන්දනා මාන, පුද පූජා පැවැත්වූයේ පුපුරලා ගියපු ගිනි කන්දක් වගෙයි.

ඒ ඔහු උපකල්පනය කර ගත්තක් විනා ඇත්තක් නොවෙන්නට පුළුවන්. තමන්ගේ දක්ෂතාවය මත හැරුනු කොට කෙනෙක් යම් අයෙකුට හෝ යම් අංශයකට කරන උදව් පදව් මත උපාධියකින් ඉදිරියට යෑම තරම් නිශ්ඵල දෙයක් තවත් නෑ. අද කාලයේ කිසිම වැදගැම්මකට නැති මිනිසුන්ට පවා ආචාර්‍ය උපාධි පිරි නමා තිබුනත් ඒවායේ නියම ස්වරූපය අපි හැමෝම අඳුරනවා. සමහර විට මම මේ කියූ මිතුරා මේ තාක් කලක් උපාධිය සම්පූර්ණ කර ගන්නට ඔහු සතු පන්දම් ඇල්ලීමේ හැකියාව බෙහෙවින් බලපාන්නටත් ඇති. එවැනි පන්දමක් අල්ලන්නට සිදුවූ නොහැකියාව නිසාවෙන් අද ඔහු ඒ ඒ පුද්ගලයන් හට බැන වදින්නේ තමාට අල්ලන්නට බැරි වුනු පන්දම කෙසේ වෙතත්, අසාධාරණය ගැන කියාපාමින්.

ඇත්තෙන්ම තමන්ගේ දක්ෂතාවය රඳා පැවතිය යුත්තේ තමන් අල්ලන පන්දමේ එළියෙන් නොවෙයි. තමන්ට දක්ෂතාවක් තියෙනවා නම් ඒ දක්ෂතාවෙන් ඉහළට යන ඕනෑම කෙනෙකුට කිසිම දිනකදී වැරදෙන්නේ නම් නෑ. මොකද කට පාඩමින් ඉදිරියට යන කෙනෙකුට වඩා බුද්ධියෙන් හිතා මතා තීරණ ගන්නා උදවිය සමාජයේ ගොඩක් ඉදිරියෙන් ඉන්නා නිසාවෙන්.

අපි අතර ඉන්නා සමහර පුද්ගලයන් හඳුනා ගන්නට මට නම් මේක හොඳ උදාහරණයක් වුනා. තමන්, අනිත් ශිෂ්‍යයන්ට නොලැබෙන සරසවි වරම් ලබා උපාධිය සම්පූර්ණ කර ගැනීම පිළිබඳව සතුටු වීම පැත්තක ලා නොලැබුනු විශේෂ උපාධි අවස්ථාව ගැන දුක් වීමට ඒ ඒ පුද්ගලයාගේ සමාජ, පවුල් පසුබිම සහ දෙමාපිය බලපෑමත් සමහර විටෙක බලපාන්නට පුළුවනි.

හිතන්නට පැති බොහෝමයක් තියෙනවා. ඒත් අපි අපේ ජීවිතයේදී ලැබිලා තියෙන දේවල් ගැන සතුටු වෙලා නොලැබුන දේවල් වලට දෙස් දෙවොල් නොතියා ඉන්නට පුරුදු වෙනවා නම් තමයි වඩාත් හොඳ.

Sunday, August 15, 2010

අපි හැමෝටම මිතුරු මිතුරියන් සිටිනවා. අඩු තරමින් එක්කෙනෙක් හරි ඇති. මේ ලිපියෙන් මම කියන්නට යන්නේ මගේ මිතුරන් ගැන නම් නෙවෙයි. මගේ මිතුරන් කිහිප දෙනෙකුන්ගේ වැඩ කීපයක් ගැන.

සිංහල බ්ලොග් අවකාශයට පිය නගපු මගේ මිතුරන් කීප දෙනෙක්ම සිටිනවා. ඔවුන් ලියනා හැම බ්ලොග් අඩවියක් හරහාම විවිධ මාතෘකාවන් යටතේ ලිපි පල වෙනවා. ඒවා වල වටිනාකම සමහර විටක කියා නිම කරන්නටත් නොහැකියි. විශේෂයෙන් නොදන්නා, දැක නැති දේවල් බොහෝමයක් පිළිබඳව කරුනු කාරණා රාශියක් මටත් මේ බ්ලොග් හරහා ඉගෙන ගන්නට දැක බලා ගන්නට අවස්ථාව උදා වුනා. මින් සමහර මිතුරන් මගේ කීම මතම බ්ලොග් කරණයට යොමු වුන අය. ඉනුත් සමහර අයගෙන් යම් යම් විෂය කරුණු පිළිබඳව ලිපි පල කරන්නට හෝ අළුතින් බ්ලොග් අඩවියක් ආරම්භ කරන්නය කියලා මම කරන ඉල්ලීම් අදටත් නතර වෙලා නෑ.

මේ කියන්නට යන බ්ලොග් අඩවිය නීති වෘත්තියේ යෙදී සිටිනා මාගේ මිතුරෙකුගේ නිර්මාණයක්. නීති වෘත්තියේ යෙදී ඉන්නා අතරේ නීතිය හරහා ජනතාවට දැනුම එක් කිරීමට ඔහු රචනා කරමින් පවතින මේ බ්ලොගය "නීතිය හා ඔබ" ලෙසින් ඔහු නම් කරනවා. නීතිමය උපදේශනයක් ලබා ගැනීමට වඩා නීතිය හැදෑරීමට ප්‍රියතාවක් දක්වන ඕනෑම අයෙකුට මේ ලිපි පෙළින් මනා අවබෝධයක් ලැබෙනු ඇතැයි මගේ විශ්වාසය. මේ බ්ලොග් අඩවියේ බැඳිය,
"http://neethiynyou.blogspot.com/" ලෙසින් වෙනවා.

මීලඟ බ්ලොග් අඩවියත් ඔහුගේම නිර්මාණයක්. ඉතාමත්ම හරවත් ලිපි පෙළකින් ඔහු ඔබව හමු වන්නේ බුදු දහම පිළිබඳව කරුනු කාරණා රාශියක් ඔබ හමුවේ තබමින්. වැඩිපුරම අප අසා නැති නමුත් ගැඹුරු ධර්ම කොටස් වල විඝ්‍රහයක් මේ බ්ලොග් අඩවිය තුලින් නිරූපණය වෙනවා. ඔහු මෙය "බුද්ධ රශ්මි" නමින් හඳුන්වනවා. බුදු දහමේ ඔබ නොදත් සහ ශ්‍රද්ධා ගුණය වැඩි කරවන කරුණු ඉගෙනීමට දැක බලා ගැනීමට ඔයාලටයි මේ ආරාධනය පහල බැඳියෙන් එයට පිවිසීමට.
"http://budurashmiya.blogspot.com/"

මේ කියන්නට යන ලිපි පෙළ අඩංගු බ්ලොග් අඩවියත් ඔහුගේම නිර්මාණයක්. නමුත් මෙය ඉහත ආකාරයේ බ්ලොග් ගණයට වැටෙන්නක් නොවෙයි. එය නව කතාවක්. ඇත්තෙන්ම විද්‍යා ප්‍රබන්ධයක් කීවොත් නිවැරදියි. "සිහින කොදෙව්ව" ලෙසින් මෙය නම් කරන ඔහු එහි බැඳිය ලෙස,
"http://sihinakodewwa.blogspot.com/" ඔබට ලබා දෙනවා.

මීලඟ නිර්මාණ පෙළ ඔබට ගෙනෙන්නේ මගේ පාසල් මිතුරෙකු අතින්. ඔහු සිංහල බ්ලොග් අවකාශයට පැමිණෙන්නේ මාත් සමගම සමකාලීනවයි. නමුත් පාසලේ පැවති මිතුරු කම නිසාවෙන්ම ඔහුගේ මේ බ්ලොග් අඩවි කියවීමට මා ප්‍රිය කරනවා. ඔහු විසින් රචනා වෙමින් පවතින එක් බ්ලොග් අඩවියක් ඔහු විසින් ලබා ගත් නමුත් දුර්ලභ හා වටිනා ඡායාරූප එකතුවක්. මේ හැම ඡායාරූපයකටම බැඳි කතා වස්තුවකුත් එහිදී ඔහු දක්වන්නේ කියවන්නන් හට ප්‍රියතාවක් ඇති වන අයුරින්. "කැන්ඩිගේ ඇසින්" ලෙස එය නම් කරන්නට ඔහු සිතන්නේ ඔහු දුටු පාරිසරික අත්දැකීම අප වෙත "http://candyge-asin.blogspot.com/" නැමැති බැඳියෙන් ලබා දීමටයි.

මෙයත් ඔහුගේ නිර්මාණයක්. ඒ "කැන්ඩිගේ මතක සයුර" ලෙසින් පිළි ගැන්වෙන ඔහුගේම නිර්මාණශීලී කවි තතා මෙන්ම ඔහු සිත් ගත් එවැන්නන් පල කරනුවස් නිර්මිත බ්ලොග් අඩවියක්. කලාත්මක අදහස් රාශියක් මේ බ්ලොග් අඩවියෙන් ඔහු බ්ලොග් අවකාශයට මුදා හරින්නේ මේ පහත දැක්වෙන බැඳිය හරහායි. ඒ,
"http://chathurawind1.blogspot.com/" ගෙනි.

මීලඟ බ්ලොග් අඩවිය සිංහල බ්ලොග් අවකාශයෙන් බැහැර වුනු එකක්. මෙය ඉංග්‍රීසි භාශාවෙන් රචනා වෙන පෙර කී මිතුරාගේම කවි, නිසදැස් සහ කතා පෙළක්. "The Story of Candy" ලෙසින් එය නම් කරන ඔහු ඔබට එහි පිවිසුම් දොර ලබා දෙන්නේ මෙන්න මේ බැඳිය හරහායි. එනම්,
"http://chathurawind.blogspot.com/" ගෙන්.

මේ ලිපි පල වන සමහර බ්ලොග් අඩවි මේ වෙද්දීත් සින්ඩිකේටරයකට ඇතුලත් නොවූ ඒවා විය හැකියි. ඒ නිසා ඒවා කියවීමට ඔයාලට අවස්ථාවක් උදා වෙන්නේ කලාතුරකින් විය හැකියි. ඒ නිසා ඔවුන්ගේ හැකියාවනටත්, ඔවුනගේ නිර්මාණ වලටත් ඇගයීමක් ලබා දීමට මේ ගන්නා උත්සාහය මල් පල ගැන්වේවි කියා මා සිතනවා.

Sunday, August 1, 2010

මාතෘකාවෙන් නම් හිතෙන්නේ ටිකක් ජුගුප්සාජනක ගතියක් තමයි. මොකද ටිකක් වැඩිහිටියන්ට පමණයි වගේ මාතෘකාවක් නේ තියෙන්නේ. කොහොමෙන් කොහොම හරි මේ කියන්න යන්නේ මේ ඊයේ පෙරේදා සිද්ධ වුණ දෙයක්. සුපුරුදු හැටියට මට වුණු දෙයක් නෙවෙයි. ඇත්තෙන්ම සිද්ධ වුන නෙවෙයි, සිද්ධ කරපු. මේ වගේ දේවල් ඉතින් අහම්බෙන් සිද්ධ වෙන්න විදියක් නැහැ නේ. මොකද මේක ඇඹල කතාවක් හින්දා.

ඔන්න ඉතින් මටත් ඔය කියන යාළුවාටත් අදත්, ඊයේ දිනේත් විභා
වලට ලියන්න සිද්ධ වුණා. ඒ වෙන විභාගයක් නෙවෙයි උපාධියේ අවසාන විභාගේ. මිනිහත් ලිව්වා. ඒක නෙවෙයි කියන්න තියෙන කතාව. මෙන්න මේකයි.

අපේ මේ අවසාන විභාගෙට අපේ ආයතනයෙන් සාමාන්‍යයෙන් නිවාඩු ඉල්ලා ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා විභාග වලට පාඩම් කරන්නය කියලා. ඕනෙ දවසක නෙවෙයි, විභාගයක් අත ලඟ නම් විතරයි. ඉතින් අපිට ලැබුණේ දවස් තුනක් විතරයි මෙහෙම පාඩම් කරන්නය කියලා. එයිනුත් එක දවසක් අපේ පින්තු සර්ගේ අවසාන කටයුතු වලට සහභාගී වීම නිසා දවසකින් භාගයක්ම පාඩම් කරන්න අවස්ථාවක් උදා වුණේ නෑ.

ඒක එහෙමයි කියමුකෝ. මගේ යාළුවා නම් උපරිම ප්‍රයෝජනේ අරගෙන තිබ්බා ඒ දවස් තුනෙන්. ඒ මෙන්න මෙහෙමයි. මිනිහා නැවතිලා ඉන්න බෝඩිම
අල්ලපු බෝඩිමේ හරි ගෙදර හරි සාමාන්‍ය පෙළ කරන වයසේ ගැහැණු ළමයෙක් ඉන්නවලු. ඔය නිවාඩු දවස් තුනේදී ඉතින් මිනිහා කොරලා තියෙන්නේ ඒ කෙල්ලත් එක්ක මුකුළු කර කර හාද වුන එකලු. පාඩුවකුත් නැහැනේ. ගෑණු ළමයෙක්නේ නේද? කොහොමෙන් කොහොම හරි මිනිහා කියන විදියට එයාට ආදරේ කරන්න නෙවෙයිලු ආශ්‍රය කරන්නේ. එයා කොහොමත් ගැහැණු ළමයින්ව හොයාගෙන ගිහින් යාළුවෝ ප්‍රමාය වැඩි කර ගන්න විතරලු ගැහැණු ළමයින්ව ආශ්‍රය කරන්නේ. ආදරේ කරන්නත් නෙවෙයි නම්, යාළුකමක් පවත්වන්න ඉතින්, පාඩමටත් වඩා වැදගත්කමක් තියෙන ඉතුරු වැඩේ මොකද්ද?

තමන්ට ඉන්න ගැහැණු යාළුවෝ ප්‍රමාණය ආශ්‍රය කරලා දැන හඳුන ගැනීම වරදක් නෙවෙයි. ඒත් ඉතින් කෙනෙක් අනන්ත අප්‍රමාණ විදියට ගැහැණු ළමයින් යාළුකමට විතරක් ආශ්‍රය කරන්නේ එක්කෝ හිතේ තියෙන ආශාවක් ඉශ්ට කර ගන්න වෙන්න ඕනි නැත්නම් මොළේ අමාරුවකට වෙන්න එපැයි. කොහොමත් ගෑණු දැක්කම ඇඟ නලියන, තොර තෝංචියක් නැතුව ගෑ
ණුන්ගේ අඟ පසඟ ගැන ලිංගිකාශ්වාදනීයව මෙනෙහි කිරීම ඔය වගේ ඇඹලයන්ගේ ගතියක් තමයි.

ඒකම තමයි මගේ මේ ලිපියට එහෙම මාතෘකාවක් හිතලම දැම්මේ. ඔයත් ඒ වගේ ඇඹලයන්ගෙන් කෙනෙක්ද?

Thursday, July 15, 2010

මම ඔයාල හම්බ වෙන්න ටික දවසකින් මේ ආයෙත් එන්නේ. ඒත් තවත් අළුත් දෙයක් කියන්න හිතන්. ඇත්තෙන්ම අළුත්ම දෙයක් නෙවෙයි. කලින් කියපු දෙයක ඉතිරිය තමයි මේකෙන් කියන්න තියෙන්නේ. මොකද කලින් කතාව මතු සම්බන්ධ වෙන්නේ මේ ලිපියත් එක්ක කීවොත් වඩා නිවැරදියි.

මම ඔයාලට කලින් වතාවකදි ලිපියකින් කිව්වා මතකද මගේ හොඳම යාළුවෙක් කාලෙකට පස්සේ උත්සවයකදී සමහර විට මත්පැන් පානය කරන්න පුළුවන් කියලා. සමහර විට කරන්න ඉඩක් නොලැබෙන්නත් පුළුවන් අවස්ථාවෙ හැටියට. ඒත් ඉතින් කිසිම විශ්වාසයක් නැහැනේ. මොකද මම එතන ඉන්නෙ නැති නිසා.

ඔන්න ඉතින් ඒ දවස අද හෙටම උදා වෙනවා. යාළුවෙක්ව සිද්ධ වෙන්න යන වරදකින් ඈත් කරන්න තියෙන අවස්ථාවක් මට මග හැරෙන්නයි යන්නේ. ඒ මොකද යාළුවගේ තියෙන හිතුවක්කාර හැසිරීම ම තමයි.

ඕක ගැන මම ආයෙත් පැහැදිලි කරලා දෙන්න උත්සාහ කරා. ඒත් ආයෙමත් වැඩක් වුණේ නෑ. අන්තිමට මට ආයෙමත් කන පුරා අහ ගන්නත් වේවිදෝ මන්දා ඔය නිසා. ඇත්තෙන්ම මම ඉල්ලීම් කරනව ඒ දේ නොකර ඉන්න බැරි කමක් නෑ නේද කියලා. ඒත් ඒ ගැන කතා කරන එකටත් දැන් තහනම් නියෝග පනවලා. මොනා කරන්නද ඉතින්.

මිනිස්සුන්ගේ යහපත ගැන හොයන, මිනිස්සුන්ට හරි මාර්ගයක් පෙන්නන්න උත්සාහ කරන අපි වගේ අයට හොඳ පාඩම් මේවා. ඊටත් වඩා ඒ වගේ උත්සාහයක් අසාර්ථක වුණාම හිතට දැනෙන දුක නම් කියලා වැඩක් නෑ. ඔයාලත් උත්සාහ කරලා බලන්න ඔයාලගෙ ජීවිතේ හොඳම යාළුවෙක්ව වරදකින් ගලව ගන්න. බැරි වෙද්දී සතුටුද නැද්ද කියලත් තේරුම් යාවි.

මට තවමත් උත්තරයක් නොලැබුණු ප්‍රශ්ණ තමා බොන්නම ඕනෙද යාළුකම්, නම්බුව, තත්ත්වය, හොඳ නම පවත්වගෙන යන්න වගේම බිව්වොත් විතරමද කොල්ලෙක් වෙන්නෙ? කියලා. පුළුවන් නම් මේ ප්‍රශ්න වලට ඔයාලත උත්තර හොයන්න පුළුවන්. ඒ වගේම අර යාළුවාව බොන වරදින් ගලව ගන්න විදියකුත් යෝජනා කරන්න පුළුවන්.

Sunday, July 4, 2010

මට මුණ ගැහිල තියෙන, ආශ්‍රය කරන මගේම වයසේ තවත් හොඳ යාළුවෙක් ගැනයි මේ කතාව ලියන්නේ. මෙයාව මට මුණ ගැහුණේ මුහුණු පොතින්. දැනට දැන අඳුන ගෙන අවුරුද්දකටත් වැඩියි. ඒත් තවම මූණට මූණ කොහේදිවත් මුණ ගැහිලා නම් නෑ. ඒ වුණාට ගජ යාළුවෝ වගෙම සහෝදරයො වගෙයි අපි ඉන්නෙ.

මිනිහ දැනට කොළඹ විශ්ව විද්‍යාලයේ නීති පීඨයේ ඉගෙන ගන්න අනාගත නීතීඥවරයෙක්. හැබැයි ඉතින් කතා කරන නඩු නම් කීයෙන් කීයක් දිනයි ද, පැරදෙයි ද දන්නෙ නෑ... හික් හික්...

මම කලින් වතාවෙදි මේ මාතෘකාව යටතේ කීවා පිටරට යාළුවෙක් කරපු ලොකූ බොරුවක් වගෙම රැවටීමක් ගැන. ඒ විතරක් නෙවෙයි පොරොන්දු කඩ කිරීමක් ගැන. මගේ මේ යාළුවා නම් එහෙම කොහෙත්ම නැති කෙනෙක්. අපේ ඕනෙම ප්‍රශ්නයක් කතා කරන්න පුළුවන් කෙනෙක්. ඒත් ඉතින් කියපු කෙනාගේ අවසරය නැතිව වෙන කා
වත් ඒ ගැන කියන්නෙ නම් නෑ. අත්දැකීමෙන්මයි මම කියන්නෙ මේ.

ඒ නිසාම තමයි මම මුලින්ම කීවෙ එයා සහෝදරයෙක් වගේ කියලත්. සමහර වෙලාවට අපිව නිතර මුණ ගැහෙන යාළුවන්ට වඩා අපි මුණ ගැහිලත් නැති දුරින් ඉන්න යාළුවෝ අපේ හොඳම යාළුවන්ටත් වඩා හොඳ වෙන අවස්ථාවක් තමයි මේ. ඒත් දුරින් ඉන්න හැම යාළුවම හොඳත් නෑ, ලඟින් ඉන්න හැම යාළුවම නරකත් නෑ. නැතිනම් ඉතින් අපිට හැමදාම ආස්‍රය කරන්න වෙන්නෙ ඉතින් මුහුණු පොතෙන් හරි වෙනත් සමාජ සම්බන්ධතා වෙබ් අඩවියකින් මුණ ගැහුණු යාළුවෝ විතරමනෙ.

කොටින්ම කීවොත් මගේ දුක්ගන්නා රාළ වෙන්නෙ මිනිහ. ඒ වගේම හිත හැදෙන ගොඩක් උපදෙසුත් මට දෙනව. ඒව ගැන හිතල බැලුවම නම් ඉතින් ඒවා වල ලොකු අර්ථයකුත් තියෙනවා. ඒ විතරක් නෙවෙයි, එයාගෙ දුක, සතුට එහෙමත් වෙන කාටවත් කියනවට වඩා මා එක්ක කියනවා.

ඔන්න ඔහොමයි ඒ යාළුකම මේ තාක් කල් පැවතුනේ. මම හිතනවා මිනිහා සාධාරණ නීතීඥවරයෙක් වෙලා හැමෝටම සාධාරණයක් කරාවි කියලා සල්ලි පස්සේම නොදුවා. මොකද ඉතින් නීතීඥ රස්සාව ඉතින් අපායෙ යන්න වීසා අරන් දෙන මාර්ගයක් වගේ නේ.

Sunday, June 27, 2010

මේ කතාව මට මේ ඊයෙ පෙරේදා සිද්ධ වුණු වරදක් ගැන. ඇත්තටම රැවටීමක් කියලා කියන්නත් පුළුවන්. ඊටත් වඩා යාළුකමක් පළුදු වීමක්. ඒ වගේ දේවල් ඉතින් කාටද සිද්ධ වෙන්න බැරි නේද?

අන්තර්ජාලයෙන් මුණ ගැහුණ මගේ හොඳම යාළුවෙක් හිටියා. හැබැයි කවදාවත් මූණට මූණ මුණ ගැහිලා තිබුනෙ නෑ. ඉතින් මිනිහාත් හරි හොඳ පුද්ගලයෙක් කියලයි මට තේරුණේ. මොකද හැමදාම බුදුන් වඳින, හරිම නිස්කලංක පුද්ගලයෙක්.

එයා පදිංචි වෙලා ඉන්නේ ලංකාවේ නම් නෙවෙයි. ඕස්ට්‍රේලියාවේ. කොහොමෙන් කොහොම හරි හොඳ යාළුවෝ වගේ හිටියාය කියමුකො. මෙයා මගේ තවත් යාළුවෙක්ගේ යාළුවෙක්. ඒත් ඉතින් කවුද දන්නේ පොරොන්දු කඩ කරන මනුස්සයෙක් කියලා?

අපි දෙන්නම ඉතින් කොල්ලෝ නිසාත්, යාළුකම නිසාත් මිනිහාට මගේ පුද්ගලික ප්‍රෂ්ණයක් ගැන කීවා. වෙන මුකුත් නෙවෙයි ආදර හුටපටයක් ගැන. හැබැයි කාටවත් නොකියන පොරොන්දුව පිට. හරි කිව්වාය කියලා හිතමුකෝ.

ඔන්න දවසකුත් ගත වුනා ඒ ගැන මිනිහාට කියලා. මෙන්න අර අනික් යාළුවා, ඒ කියන්නේ අර මා එක්කත් යාළු, අර ඕස්ට්‍රේලියාවේ ඉන්න යාළුවාත් අඳුනන යාළුවා මගෙන් හදිසියේම මුහුණුපොතේ චැට් එකෙන් අහනවා අර මම
ඕස්ට්‍රේලියාවේ යාළුවාට කීව දේ ගැන. මම තුෂ්නිම්භූත වුණා ඒක අහලා. ඒත් එක්කම මම අනිත් අතට කරපු වැඩේ තමයි සදාකාලික සමුදීමක් ගැන ලියලා අර ඕස්ට්‍රේලියාවේ යාළුවාට විද්‍යුත් ලිපියක් යැව්ව එක.

කව්රු
කව්රුත් පරිස්සම් වෙන්න ඕනෙ ඔය හොඳ මූණු, හොඳ චර්යාවන් පෙන්නලා අන්තර්ජාලෙන් අපිත් එක්ක යාළු වෙන අය ගැන. එයාලා එක එක විදියේ කතා කියලා මිනිස්සුන්ගේ හිත දිනා ගෙන යාළු කමින් අයුතු ප්‍රයෝජන එහෙමත් ගන්න තාක් කල් අපි දන්නේ නෑ අපිට එහෙමත් දෙයක් වුනාවත්ද කියලා. ඒ නිසා ඔන්න පරිස්සමින්...

Monday, June 7, 2010

මම කලින් වතාවෙ ලිපියෙදි කියන්න ඇති මට හිටෛ යාළුවෝ සහ ඉන්න යාළුවෝ මොන විදියේ අයද කියලා. ඒ අය නරක වුණත් හොඳ වුනත් මට ඒ දෙගොල්ලො එක්කම සාමකාමීව සුහදව ඉන්න පුළුවන් වෙලා තියෙනවා කියලා නම් මම දන්නවා. මොකද එකම පංති වල ඉගෙන ගත්තු අය නිසා ඒකේ වැඩි වෙනසක් නොදැනෙන හින්දා.

කොහොමෙන් කොහොම හරි මට මුණ ගැහුණු යාළුවෝ හැම කෙනෙක්ම මට ගොඩක් සමීප වෙනවා. ඒ වගේම මගෙත් එක්ක ලේසියෙන් තරහ වෙන්නෙත් නෑ. හැබැයි තරහ වුනත් එක දිගට එහෙම ඉන්නෙත් නෑ. ආයෙ ආයෙ ඕනෙ වෙනවා. හැබැයි කියන්න ඕනෙ දේ තමා, මම නම් කෙනෙක් එක්ක තරහා වුණොත් ආයෙ කවදාවත් යාළු වෙන්නෙ නැති බව. නැවතීමේ ලකුණ වචනයේ පරිසමාප්ථාර්තයෙන්ම තිත ම තමයි. හැබැයි මේ තාක් කාලෙකට මට කා එක්කවත් තරහ වෙන්න සිද්ධ වෙලා නෑ.

මගේ මේ යාළුවෝ අතරේ මට ගොඩක් උදව් කරපු යාළුවෝ වගේම මගේ වැරදි හදලා දුන්නු යාළුවොත් ඉන්නවා. ඉන් එක්කෙනෙක් තමයි මට සාමන්‍ය පෙළ පංතියේදී මගේ හොඳම මිතුරා වුණු මගේ යාළුවා. නම කියන්න උවමණාවක් නැහැයි කියලා මම හිතනවා. ඇත්තෙන්ම කියනවා නම් එයාගෙ දෙමව්පියෝ හොඳ උගත් අය වගේම වැදගත් රැකියා කරපු අය. ඒ ගුණාංග වගේම දැනුම් සම්භාරයකුත් එයාට උපතින්ම ලැබිලා තිබුණා කීවොත් වැරදි නෑ.

හොඳට ඉංග්‍රීසි පවා කතා කරන්න පුළුවන් කෙනෙක්. ඒත් කවදාවත් සිංහල කතා කරද්දි ඉංග්‍රීසි වචන මැද්දට දාල කතා නොකරපු කෙනෙක්. මම ඒ දවස් වල ඉංග්‍රීසි සම්බන්ධයෙන් විතරක් නෙවෙයි අනිත් විශයයන් වලදීත් එයාව අනුගමනය කරා වගේම අනුකරණයත් කරා. එයාගේ විදියටම අකුරුත් ලිව්වා. ඒ වගේමයි තරඟෙට ඉංග්‍රීසි ගුරුතුමියගේ වැඩ කරා කවුද වැඩිම පිටු ගාණක් ලියන්නේ බලන්නත්. ඒ කෝම වුණත් එයාගේ රචනාවක් මගේ එකකට වඩා කොහොම හරි ශාස්ත්‍රීය ගණයේ තිබුණා. මම අදටත් ගොඩක් ගරු කරන මගේ මිතුරෙක් එයා. හැබැයි දැන් නම් වැඩි කතා බහක් කරන්න ලැබෙන් නෑ මිනිහා ජ්'පුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ නිසා.

මම ඉංග්‍රීසි වචනයක් වැරදියට උච්චාරණය කරොත් ඒ දේවලුත් හිනා නොවී හැදුවා. ඉංග්‍රරිසි කතා කරන්න පෙළඹෙව්වා. ඒ වගේම පරිගනක තාක්ෂණය ගැන තොරතුරු, ක්‍රීඩා, මෘදුකාංග ගැනත් විස්තර කිව්වා. අපි දෙන්නටම ඉස්කෝලේ පරිගනක අංශයටත් බැඳෙන්න ලැබුණා. අදටත් මිනිහාට අපිව අමතක වෙලා නෑ. ලඟදී දවසකත් මගේ ජංගම දුරකතනෙට රිංග් කරලා තිබ්බා දැක්කා මම වෙන වැඩක ඉන්න වෙලාවක. ඉතින් මේ යාළුවා මගේ ජීවිතේ මුණ ගැහුන හොඳම කෙනෙක්. නිහතමානී වගේම කවදාවත් තමන්ට වඩා ඉහලින් ලකුණු ගත්තත් ඒ කෙනා ගැන නරකක් නොහ්හිතපු වැදගත් පවුලක කෙනෙක්. ඒ නිසා මට සතුටු වෙන්න පුළුවන් යාළුවෙක් ඉන්නවා අනාගතේදී දොස්තර මහත්මයෙක් වෙන.

Friday, June 4, 2010

ඇත්තටම මට මුණ ගැහිල තියෙන යාළුවන්ගෙන් බොහෝමයක්ම හොඳ අය. ගොඩක් දෙනාට එහෙම අයව මුණ ගැහෙන්නේ හරිම කලාතුරකින්. මම කොල්ලෙක් වුණාට සාමාන්‍ය කෙළිලොල් ජීවිතයක් වෙනුවෙන් කාටවත් දුකක් දුන්නෙත් නෑ, අනවශ්‍ය විනෝදවීම් ලැබුවෙත් නෑ. අද කාලෙ කොල්ලො විතරක් නෙවෙයි කෙල්ලොන්වත් විශ්වාස කරන්න පුළුවන් කමක් නෑ නෙ. අද කාලෙ කෙල්ලෙක්ටත් වඩා කොල්ලෙක්ව පරිස්සම් කරන්න ඕනෙ කියන එක අනිවාර්ය දෙයක්.

කොහොමෙන් කොහොම වුණත් මට මුණ ගැහු
යාළුවෝ අතරින් හිත් ගත්තු යාළුවො බොහෝමයක් අදටත් මා එක්ක යාළුකම් පවත්වා ගෙන යනවා. ඉස්කෝලේ හත වසරේදී මුණ ගැහු හොඳම යාළුවෝ පවා අද විශ්ව විද්‍යාල වල ඉගෙන ගනිද්දී හිතට ලොකු සතුටකුත් දැනෙනවා. ඊටත් වඩා සතුටු අපිව තවමත් අමතක නැති එකයි. ඉස්කෝලෙන් අයින් වෙලා දැනට, ඒ කියන්නේ 2010 අවුරුද්ද වෙද්දි අවුරුදු හතරකුත් ගත වෙලා ගිහින්. මේ අවුරුද්දේ මුල බාගයෙදී නම් අපේ ඉස්කෝලෙ යාළුවෝ හැමෝම වගේ එකතු වෙලා විනෝද වුනා. ඒ වගේ අවස්ථාවල් නිතර ලැබෙනවා නම් හොඳයි කියලයි මට හිතෙන්නේ. මොකද ඉතින් දැන් හැමෝම වගේ කාර්ය බහුල ජීවිත නෙ ගත කරන්නේ.

මේ දේ නම් අනිවාර්යෙන්ම කියන්න ඕනෙ. මගේ හොඳම යාළුවො ගනේට වැටෙන යාළුවො හත් අට දෙනා නම් අද කාලෙ කොල්ලො කරන කිසිම වැරැද්දක් කරන්නේ නෑ. ඒ කීවේ මත්පැන් බොන්නේ වත්, සිගරට් පානය කරන්නේවත්, ලිංගික ආශ්වාදනයට කෙල්ලන්ගේ නම්බුව කෙලෙසන්නේ වත් නෑ. හැබැයි සමහරු නම් කියනවා ඒවා නොකරන කොල්ලො නපුංසකයි කියලා. ඇත්තෙන්ම ඒ ගැනත් කතා කල යුතුමයි. මොකද ඒ ගැන නොකීවොත් ලොකු අඩුපාඩුවක් නෙ. ඒවා කරන්නම ඕනෙද පිරිම කම පෙන්නන්න කියලා ප්‍රශ්නයකුත් ඒත් එක්කම මතු වෙනව නේද? දැනට ඒ ගැන පස්සට කතා කරන්න තියමු. මට අහන්න තියෙන්නේ, ඔයාලටත් එහෙම යාළුවෝ ආශ්‍රය කරන්න අවස්ථාවක් උදා වෙලා තියෙනවද? නැතිනම් ඇයි කියලා. ඒ ප්‍රශ්නෙට කාටද උත්තර දෙන්න පුළුවන්?
 

Copyright 2010 tee දුටු ලොව.

මෙහි පළ වී ඇති සියළුම ලිපි වල හිමිකාරීත්වය "TeeRox" වන මා සතුව පවතින අතර, දැනුම් දීමකින් තොරව හෝ අවසරයක් නොමැතිව උපුටා ගැනීම හෝ වෙනත් කටයුතු සඳහා යොදා ගැනීම සපුරා තහනම් බවත්, ඒ සඳහා නීතිමය ක්‍රියාමාර්ග කරා යාමටද හැකියාව ඇති බවත් කරුණාවෙන් සලකන්න.