Thursday, September 23, 2010

ඔයාලා ලංකාවේ පය ගහලා ඉන්න අය නම් ඉතින් දන්නවා ඇති නේ පහුගිය දවසක කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශණය ආරම්භ වුනාය කියලා. පහුගිය දහ අට වෙනිදා හැම අවුරුද්දකම වගේම මේ අවුරුද්දෙදිත් සැප්තැම්බර් මාසයේදි මේ පොත් ප්‍රදර්ශණය ආරම්භ වුනා බණ්ඩාරණායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී. දේශීය වගේම විදේශීය කතුවරයන්ගේ වගේම පොත් අලෙවි සැල් මේ කාලයට මහ ජනතාවට මුණ ගැහෙන්නට ලැබෙනවා.

මේ වෙන කොට මට මේ පොත් ප්‍රදර්ශනයට අවස්ථා දෙකකදි යන්න ලැබුනා මේ වතාවෙදි. ඒ අවස්ථා දෙකේදිම පොත් සැලකිය යුතු ප්‍රමාණයක් මිල දීල ගන්නට පුළුවන් වුනා හරි අඩු මුදලකට. මම සාමාන්‍යයෙන් පොත් කියවන කෙනෙක් නොවෙන නිසා මේ වතාවේ ඉඳන් හොඳ ආරම්භයක් ගන්න හිතුනා. එහෙම කීවම හිතයි කවදාවත් පොත් කියවල නැතුව ඇති කියලා. අපෝ! එහෙම නම් නෑ. පොත් නම් කියවලා තියෙනවා, ඒත් ඒකට වෙලාවක් හොයා ගන්න එක තමයි ටිකක් අමාරු වෙලා තිබ්බේ. ඒත් ඉතින් ගත්තු පොත් වලින් එකක් මේ වෙද්දි කියවලා ඉවර කර ගත්තා ආසාවෙන්ම.

මම ගත්තු පොත් අතරින් වඩියෙන්ම ප්‍රමුඛතාවක් දුන්නේ චන්දන මෙන්ඩිස් පරිවර්තනය කරන සර් ආතර් කොනන් ඩොයිල් ගේ ෂර්ලොක් හෝම්ස් පොත් වලට. මම මේ පොත් කලින් කියවලා තිබුනේ නෑ. ඒත් නොකියවා තිබුණු එකේ අඩුපාඩුව දැන් තමයි තේරෙන්නේ. ඒ මොකද ඒ කතා ඒ තරමටම ලස්සනයි. ඔයාලට කියන්න තියෙනවා දෙයක්. මේ පොත් ලාබෙටම ගන්න පුළුවන් වැඩිම වට්ටම් මිලකට මේ පොත් ප්‍රදර්ශනයේදි. ප්‍රදර්ශනයක් කීවට මේක එකම සල්පිලක්. ශර්ලොක් හෝම්ස් පොත් සියයට තිහක වට්ටමකට ගන්න පුළුවන් වුනා මට තාරක ප්‍රකාශකයෝ කියන පොත් කුටියෙන්. මම ඒක කියුවේ කාටත් අඩුවට ඒ පොතක් ගන්න ලේසි වෙන්නයි ඔන්න. පුදුමෙ කියන්නෙ ඔච්චර ප්‍රසිද්ධ සරසවි පොත් හලේ කුටියට ගියේ නෑ මම. ඒත් වෙන වෙන තැන් වලින් පොත් ගන්න ලැබුනා.

මේ පොත් කියවන පුරුද්ද ඇති වුනේ මගේ වටේ ඉන්න යාළුවෝ නිසා. මම ඉතින් හැමෝගෙන්ම හොඳ පුරුදු එකතු කර ගන්න කැමති කෙනෙක් වගේම නරක පුරුදු දිහා බලන් ඉන්න කෙනෙක් නේ. හොඳ යාළුවෝ ඉන්න නිසා ඉතින් හොඳ පුරුදු හුරු වෙනවා. පොත් කියවන්න කැමැත්තක් නොතිබ්බ මට දැන් පොතක් කියවන්නත් ආසාවක් ඇති වුනේ යාළුවන්ට පිං සිද්ධ වෙන්න තමා. කොහොම හරි ඔයාලත් ලබන ඉරිදා ඒ කියන්නේ විසි හය වෙනිදාට කලින් ගිහිල්ලා පොත් ගන්න කියලා මම මතක් කරනවා. මොකද එන්න එන්නම පොත් ගන්න එන ප්‍රමාණය වැඩි වෙන නිසා. පොත් නොකියවන අය මේ වතාවේ ඉඳන්වත් පොතක් කියෙව්වොත් නරකද?

0 පාඨක අදහස් | Comments:

Post a Comment

 

Copyright 2010 tee දුටු ලොව.

මෙහි පළ වී ඇති සියළුම ලිපි වල හිමිකාරීත්වය "TeeRox" වන මා සතුව පවතින අතර, දැනුම් දීමකින් තොරව හෝ අවසරයක් නොමැතිව උපුටා ගැනීම හෝ වෙනත් කටයුතු සඳහා යොදා ගැනීම සපුරා තහනම් බවත්, ඒ සඳහා නීතිමය ක්‍රියාමාර්ග කරා යාමටද හැකියාව ඇති බවත් කරුණාවෙන් සලකන්න.