කොහොම හරි මේ කියන්න යන්නේ මම පිරිතක් මතක තියා ගන්න අනුගමනය කරපු ක්‍රමයක් ගැන. මේක හැමෝටම උත්සාහ කරල බලන්නත් පුළුවන්. සමහර විට ඕනෙම සූත්‍රයකට යොදා ගන්නත් පුළුවන් වේවි. ඒ ගැන නම් මට විනිෂ්චයක් දෙන්න බැහැ. මොකද මම මේ ක්‍රමය පාවිච්චි කරේ එක පිරිතක් පාඩම් කරන්නයි. ඒ රතන සූත්‍රය. ඒත් මේ ක්‍රමය මට නම් තුන් සූත්‍රයේ තියෙන අනිත් සූත්‍රයන් දෙකත් මතක තියා ගන්නට ක්‍රමයක් විදියට යොදා ගන්නට පුළුවන් වුනා.
මහා මංගල සූත්‍රයත් එහෙන් මෙහෙන් අහලා, ඇහිලා ඒ වගේම දහම් පාසලේදිත් ඉගෙන ගත්තු නිසා යම් තාක් දුරකට මතක තිබුණා. කරණීය මෙත්ත සූත්‍රය නම් ගොඩක් දෙනා දැනටමත් දන්නවා ඇති. ඒ එම සූත්‍රය නිතර ඇහෙන නිසාවෙන්. ඒ වගේම වැඩිහිටියන්ගේ අනුදැනුමෙන් අපිත් සැරින් සැරේ කියලාම පුරුදු වෙලා තියෙන නිසාවෙන්. ඒත් රතන සූත්‍රය නම් මට මතක තියා ගන්නට පුළුවන් කමක් තිබුණේ නෑ. මොකද ඒ වෙනකොට මම ඒ සූත්‍රය කියවලාවත් නොතිබුණ නිසා.
කොහොම හරි ගෙදර බුදුන් වඳින වේලාවේදී මේ තුන් සූත්‍රය සජ්ඣායනය කරන්න පුරුද්දක් ඇති වුනා. අන්න ඒ නිසා රතන සූත්‍රය මතක තියා ගන්න පුළුවන් වුනා. ඒකට මම යොදා ගත්තු ක්‍රමයයි මේ කියන්න හදන්නේ. මේ ක්රමයම අනිත් සූත්‍ර දෙකටත් මම ඒ වගේම යොදා ගත්තා. මොකද අමතක වෙලා තිබුණ තැන් හරියටම මතකෙන් කියන්න වෙන නිසා පොතක්වත් නොබලා.
මම මුලින්ම කළේ රතන සූත්‍රය බලා ගත්තු පොතේ ඒ සූත්‍රය පිටු කීයක තියෙනවාද කියලා මතක තියා ගත්තා. හැබැයි මේ පොත වෙනස් කරේ නෑ දවසින් දවස. අපි පිටුවක් පෙරලද්දි කලින් පිටුවේ ගථා කොච්චර තිබුණද කියලා මතක තියා ගත්තා වගෙම ඊලඟ පිටුවේ කීයක් තියෙනවද කියලාත් මතක තියා ගත්තා. හැබැයි ඉලක්කමක් හැටියටම නෙවෙයි, නිකන් ඡායාවක් විදියට. මේක මතක තියා ගන්න පුළුවන් වුනේ මේ පිරිත දෙතුන් පාරක් කියවලා.
ඊට පස්සේ මතක තියා ගත්තා මේ සූත්‍රයට ගාථා ඛණ්ඩ කීයක් තියෙනවාද කියලා. මතක හැටියට දහ හතක්. මීලඟට මතක තියා ගත්තේ ඒ හැම ගාථාවකම කීය ගානෙ පේලි තියෙනවාද කියලයි. මේ හැම දෙයක්ම ඡායාවක් විදියට හිතේ මවා ගන්න පුරුදු කර ගත්තාම හරි ඉලක්කමක් විදියට නැතුව. ඉන් පස්සේ මම මතක තියා ගත්තේ මේ හැම ගාථාවේම මුල් වචනෙත් එක්ක මීලඟ වචනෙ.
රතන සූත්‍රයේ විශේෂත්වයක් තියෙනවා. ඒ හැම ගාථාවේම අගට "ඉදම්පි බුද්ධෙ / ධම්මෙ / සංඝෙ රතනං පණීතං ඒතේන සච්චේන සුවත්ථි හෝතු" කියලා පේලි දෙක බැගින් බුද්ධ, ධම්ම, හෝ සංඝ යන ගුණයන් ප්‍රකාශ වීමක්. මේ හැම ගාථාවකම අගින් මේ කියන පාඨයේ තේරුම තමයි "මේ කියන ලද ගුණයන් බුද්ධ රත්නයට අඩංගු බව හෝ ධම්ම රත්නයට හෝ සංඝ රත්නයට අඩංගු බව" යනාදී විදියට එක එක ගාථා වල තියෙනවා. මේ කොටස හැම ගාථාවකම තියෙන නිසා හරිම ලේසියෙන් මතක හිටිනවා.
ඊට පස්සේ මතක තියා ගත්තා කී වෙනි, කොයි කොයි ගථාද බුද්ධ රත්නයට අදාල, ධම්ම රත්නයට අදාල, සංඝ රත්නයට අදාල කියලා. ඔන්න ඔය ටික මතකයි කියන්නේ බොහෝ දුරට පිරිත ඉදිරියට ගෙනියන්න පුළුවන් කියලායි. මීලඟට ගථාවක මුල් පේළිය මතක තියා ගන්න. ඊට පස්සේ කලින් වගේම දෙවෙනි පේලියේ මුල් වචනය මතක තියා ගෙන ඉදිරියට කියන්න තියෙන වචන ටික මතක් කර ගන්න.
මේ ක්‍රමය සතියක් කරොත් රතන සූත්‍රය යම් තාක් දුරකට මතක තියා ගන්නට පුළුවන් වේවි. ගොඩක්ම වැදගත් වෙන්නේ හිතේ ඇඳ ගන්නා ඡායාවන්. වචනින් වචනෙ මතක තියා ගන්න මුලින්ම දඟලන්නේ නැතිව පිරිතක් ලේසියෙන් මතක තියා ගන්න මේවා තමයි අපිට උදව් වෙන්නේ. පිරිතේ ගාථා කීයක් තියෙනවද කියලා මතක තියා ගන්න එක මෙහෙම විදියකටත් උදව් වෙනවා. අපි ගාථාවෙන් ගාථාව කියද්දී කියන්නට තියෙන ගාථා ගණන එකින් එක අඩු වෙනවා. ඒ බව සිහියේ තියා ගෙන අඩු කර ගෙන යන්න. එතකොට හිතට සැහැල්ලුවක් එනවා වගෙම හිතෙනවා "හම්මෝ තව මෙච්චරයි නේ තියෙන්නේ..." කියලා.
මේ ක්‍රමය උත්සාහ කරලා බලන්න. මට නම් අනිත් සූත්‍ර දේශණා දෙකටත් මේ ක්‍රමය උදව් වුනා. මේ මගේ ක්‍රමයක්. හැමෝටම හරි නොයන්න පුළුවන්. ඒ නිසා උත්සාහ කරලා ප්‍රතිඵල මටත් කියන්න ඔයාලා.
8 පාඨක අදහස් | Comments:
බොහොම හොදා කරල බලන්නම්
බෞද්ධයෙක් වුනාම අඩුගානේ තුන් සූතරේ දැනගත්තම ඇද්ද? ඊට වඩා නරකද බ්ලොග් වල ගොන් කතා නොලිය ඉන්න එක.
බුදු හාමුදුරුවන්ගේ ප්‍රථම ධර්ම දේශණාව බලන්න කියලා මම කියන්නේ නෑ. මොකද ඒක දීර්ඝ සූත්‍ර දේශණාවක්. අපේ බෞද්ධයෝ ඒ සූත්‍රය දැකලත් නැතුව ඇති. මතක තියා ගන්න හිතන එකක්වත් නෑ.
ඒ නිසා නිතර ඇහෙන තුන් සූත්‍රයවත් අඩු ගණනේ දැන ගන්න එක හොඳයි කියලයි මට හිතෙන්නේ.
අනික මම ලියන්නේ ගොං කතා නම්, ඒවා ගොං බව තේරුම් යන්නේ ගොං භාසාව තේරුම් යන කෙනෙක්ම වෙන්න එපැයි නේද?
"බෞද්ධයෙක් හැටියට මේ පිරිත් තුන අඩුම තරමින් මතකයෙන් කියන්න හරි පුරුදු පුහුණු වෙන්නට ඕනෑ තේරුම දැන ගෙන නොහිටියත්"
මොනව කියන්නද? බුදු දහමේ අවසානය ලං වෙලා වගේ පේන්නේ. වටිනා ධර්මයක ගැඹුරු කරුනු නොතේරෙන මොඩයන් හිතන් ඉන්නේ ඹය හෑලි ටින කටපාඩම් කරලා බුදු පිළිමයක් ඉස්සර ඉඳගෙන කියෙව්වම පිං ලැබෙනව කියල.
මම ඒ නිසාම තමයි ඒකත් සඳහන් කරේ. ගාථාවක් කීමෙන් කිසිම සෙතක් වෙන්නේ නෑ කියන්නේ නෑ. තේරුම දැන ගත්තත් නැතත් යම් සෙතක් වෙනවා. ඒත් අද කාලේ කවුරුත් ගාථාවක තේරුමක් මතක තියා ගන්න උත්සාහ කරන්නේ නැහැනේ...
ඒක හින්දයි මම කිව්වේ ඔය දේ මතකෙන් කියන්න හරි පුරුදු වෙන එක හොඳයි කියලා. ඒකට හේතුවක් තියෙනවා. මතකෙන් කියන්න පුරුදු වීම පළමු පියවර කියල හිතුවොත්, මීළඟ පියවර ඒකේ තේරුම මෙනෙහි කිරීම නිසා. තේරුම මෙනෙහි කරන්නත් ගාථාව මතකේ තියෙන්නෙ එපැයි. ඒ බවත් තේරුම් ගන්න.
"ඔය කෑලි ටික" කියලා ඔයා අදහස් කරේ තුන් සූත්‍රය නම් ඔය තරම් පිරිත් වල තේරුම් දන්න ඔයාත් සූත්‍ර ධර්ම වලට "ඔය කෑලි ටික" කියලා කරලා තියෙන්නේ ගර්හාවක් නේද?
1. "හැබැයි ඕනෑම දෙයක තේරුම දන්නේ නැතිව කට පාඩමින් කරන එකේ ප්‍රතිඵලයකුත් නෑ කියලා මතක තියා ගන්න වෙනවා." කියල තිබ්බ එක මම දැක්කෙ නෑ. ඒ ගැන සමාවෙන්න.
ඒ මොනව වුනත් මේ පාලි වලින් කියවන එක නවත්තල තේරෙන සිංහලෙන් කියවන්න කවුරුත් යොමු නොවෙන එක ගැන මම කනගාටු වෙනව. "මතකෙන් කියන්න පුරුදු වීම පළමු පියවර කියල හිතුවොත්, මීළඟ පියවර ඒකේ තේරුම මෙනෙහි කිරීම" -- මේ සමාජයේ එහෙම වෙන බවක් පෙන්ඩ නෑනේ.
2. හෑලි කියන එකෙන් අදහස් කරේ 'නොතේරෙන වචන' කියන එකයි. අනිත් එක සූත්‍ර ධර්ම වලට ගර්හා කරන්නෙ කොහොමද? ඒ පුද්ගලයෙක් නෙමෙයිනේ. ඒවා සත්‍ය පැහැදිලි කරන පද්‍ය පේලි පමණයි. එවැනි සත්‍ය පැහැදිලි කරන නිව්ටන්ගේ Laws of Motion වලටත් අපි කොච්චර දේවල් කියනවද!
එහෙම කියන්න එපා. පාලි කියන්නෙත් ඉගෙන ගන්න වටින බාසාවක්. දහම් පාසලේදී ඉගෙන ගත්ත නිසා ඔය සුළු සුළු ගාථා කීපයක තේරුම හිතා ගන්නට පුළුවන්. ඒත් පාලි කියන්නේ හෑලි නෙවෙයි. සූත්‍ර ධර්ම වලට අපහාස කරන්න හොඳ නැත්තේ ඒවා බුද්ධ භාශිත නිසා. ඒවායේ අන්තර්ගත වෙන්නේ තුන් කල්හිම අසත්‍ය නොවන දේවල්. එහෙම දේවල් මොන භාසාවකින් තිබුනත් ඒවාට ගරු කරන්න ඕනේ.
අපිට බටහිර ගායකයෙක් ගිරිය කඩන් කියන ඉංග්‍රීසි සින්දුවක කියන දේ කොයි තරම් තේරෙනවද? හින්දි සින්දුවක තේරුම කොයි තරම් තේරෙනවද? ඒත් අපි රසවිඳිනවා බැහැර නොකර.
තේරෙන සිංහලෙන් ඒවා අර්ථ ගන්වන්නට අද බොහෝ වැඩ පිළිවෙලවල් ඇති වෙලා තියෙනවා. ඒක හොඳ දෙයක්. එහෙමයි කියලා අපි පාලි භාශාවෙන් තියෙන සූත්‍ර කීම නැවතිය යුතුවත්, අත හරින්නවත් ඕනේ නෑ.ඒවායේ ශබ්ධ රසය නිසා ගුණයකුත් ඇති වෙනවා.
අයියේ ඇත්තටම සූත්‍රයක තේරුම දැන හෝ නොදැන හෝ අඩුම ගානේ හවසට බුදු ගේ ඉස්සරහ පහනක් පත්තු කරල පන්සිල් සමාදන් වෙන්නෙ කීයෙන් කී දෙනාද ??
මේ ගැන ලිපියක් ලියන්න මට කාලෙක ඉඳලම ආසවක් තිබ්බා...
මේ ගැන මම ලියලා අයියාටත් කියන්නම් ...
Post a Comment