මේ හැම දෙයක්ම තාවකාලික වෙන් වීම් විතරයි. ඒ තාව කාලික වෙන් වීම් වලදී හිතට දැනෙන දුක සුළු මොහොතකින් වෙනස් වෙන්න පුළුවන්. සමහර විට ඒ සුළු මොහොත පැයක්, දවසක්, සතියක්, මාසයක් අවුරුද්දක් වෙන්නටත් පුළුවන්. වෑදගත්කම තියෙන්නේ ගත වෙන කාලයේ නෙවෙයි, තමන් කොයි තරම් දුරකත තමන්ගෙන් ඈත් වෙන දේ කෙරේ බැඳිලා තියෙනවාද කියන දේයි. මොකද බැඳීම වැඩි වෙන තරමත ගැලවීම අපහසු වෙන නිසා. හිතන්න මෙහෙම, අපි ගම් බෝතලයකින් ගන්න ගම් වලින් කොළ දෙකක් අලවනවාට වඩා වැඩි ඇලවීමේ හැකියාවක් තියෙන හාකොබොන්ඩ් වගේ දෙයකින් තමයි කැඩුනු බිඳුණු දෙයක් අලවන්නේ. ඒත් මේ කොයි ඇලවීමත් තාවකාලික විසඳුම් විතරයි.
අපි බැඳීම එක්ක එකතු වෙද්දී ජීවත් වෙනවා කියලා හිතුවට, බැඳීම් එක්කම අපිත් වයසට යන එකයි ඇත්තටම සිද්ධ වෙන්නේ. අපි උපන් දවසේ ඉඳලාම බැඳීම් ගොන්නකට දාවයි උපදින්නේ. මුලින්ම දෙමාපියන්ගේ බැඬීම, ඉන් පස්සේ සහෝදර සහෝදරියන්ගෙ, නෑයන්ගේ, අසල්වැසියන්ගේ, පෙම්වතුන් පෙම්වතියන්ගේ, දරුමල්ලන්ගේ ආදී වශයෙන් තමයි. මේ බැඳීම් වල්ට උපේක්ෂාවෙන් ඇලීමයි වඩාත් වැදගත් වෙන්නේ. මොකද බැඳීමේ තරමින් තමයි වියෝවේ දුක්මුසු බව තීරනය වෙන්නේ. ඔය මොන බැඬීම කොහොම සිද්ධ වුනත් අනිත්මටම සිද්ධ වෙන මරණය කියන වියෝවට ඕනෑම කෙනෙක්ට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. එදාට අපිත් එක්ක බැඳීම් ඇති කරගෙන ඉන්න, හිටපු කිසි කෙනෙක්ගේ සහය අපේ මීලඟ භවය සුභ හෝ අසුභ වෙන්නට උදව්වක් වෙන්නේ නම් නැති තරම්. මොකද තමන් හිසට තමන්ගේ අතම සෙවනැල්ලක් වෙන නිසාවෙන්.
මරණය ගැන ගොඩක් දෙනා දකින්නේ අසුභවාදී විදියටයි. ඒ මොකද තමන් ජීවිතේදී විඳපු සැප සම්පත් මරණය කියන සීමාව වෙනකන් විතරක් විඳින්නට සිද්ධ වෙන නිසාවෙන්. ඒ නිසා සමහරු හෙට මැරුණත් අද ජොලි කරලා කියලා සතුටු වෙන්නට පුළුවන්. ඒත් හෙට අපිව භාර ගන්න කොහේවත් කවුරුවත් නැති වෙන්නට පුළුවන්. කොටින්ම ඉපදෙන්නට මිනිස් කුසක්වත්. මනුසත් බව ලැබීම ලොකු පිණක්. ඒ විතරක් නෙවෙයි බුද්ධෝත්පාද සමයක මිනිසත්බව ලබාගෙන ඉපදෙන්නට ලැබීමත් ලොකු පිණක්. එයිනුත් බෞද්ධයෙකු වීම තවත් ලොකු පිණක්. මොකද මරණයේ සීමාව සැබෑම සීමාවක් විදියට පහු කරන්නට පුළුවන් එකම ධර්මය බුදු දහම නිසාවෙන්. ඒ කිව්වේ මරණයේ සීමාවෙන් ඔබ්බේ තියෙන ලෝකයක් නැති, ලෝකයේම අවසාන සීමාව වෙන නිර්වාණය කියන වැට කඩුල්ල පනින්නට උදව් වෙන එකම දහම බුදු දහම නිසාවෙන්.
බැඳීම හේතුවෙන් අපිට අවසානයෙදී ලැබුණු කිසිම දෙයක් නැති තරම්. මොකද ඒ හැම බැඳීමකම අවසානය කඳුළු විලක් විතරක් නිසා. එහෙව් කඳුළු වැගිරුමකින් තොර වුණු බැඳීම් ලිහිල් වුණු මරණයකට මුහුණ දෙන්න අපි කවුරුත් පුරුදු වෙන්නට ඕනේ. අපිට ලංව ඉන්න ගොඩක් දෙනා අන්තිම හුස්ම පිට කරන්න අවුරුදු ගාණක් තිබියදීම අපෙන් නොයෙක් හේතූන් නිසා ඈත් වෙන බව අමුතුවෙන් කිව යුතු දෙයක් නම් නෙවෙයි. ඒ හිත් අමනාපකමක් නිසා හරි, ආරවුලක් නිසා හරි, සමාජ විරෝධී වැදක් නිසා හරි වගේ කුමක් හෝ අතපසු වීමකින් හරි, වැරදි හැසිරීමකින් හරි නිසා වෙන්නට පුළුවනි. මේ හැම දෙයක්ම පන්සිල් බිඳීමට ගොනු කරන්න පුළුවන් කියලා කීවොත් වැරදෙන්නට ඇති ඉඩ කඩ බොහෝ අඩුය.
බැඳීම අඩු තැන දුක නැති බව තේරුම් ගන්න පුළුවන් කමක් දැන් තියාම ඇති කර ගන්නට අවශ්‍ය වෙන්නේ තමන් හැරදා යන උදවිය තවත් අයෙක් සතුටු කරනා නිසාවෙනි. එවන් අය වෙනුවෙන් හඬා වැළපීමෙන් පලක් නැති තරම්ය. තමන්ගේ වෑයමින් අවසන් සීමාව පහු කරන්නට මේ පෝය දවසේදී තීරණය කරන්නට පුළුවන් නම් වඩා සුදුසු වෙනු ඇත. එවිට මළ බතත් කිරි බතක් වනු ඇත.
0 පාඨක අදහස් | Comments:
Post a Comment