Monday, December 20, 2010

නාසා ආයතනය පවසන පරිදි නම් නෙවෙයි ආයෙමත් ලෝකෙට හඳ පායන්නේ නැත්තේ. ඇත්තටම හඳ නොපායා තිබුනොත් ලෝකය මොන වගේ වේවිද? දවල් කාලයේදී ඉරෙන් දෙන උණුසුම තුනී කරන්නේ රෑට පායන හඳෙන්. ඒත් මේ ලිපිය ලියන්නට ඇත්තම හේතුවට, වැදගත් කමට විශේෂ තැනක් අයිති වෙනවා මේ කාලය ඇතුලතදී.

දෙසැම්බර් මාසයේ දොළොස් වෙනිදා කියන්නේ බෞද්ධ අපි කාටත් අමතක නොවෙන විශේෂ දිනයක්. මේ විශේෂත්වය සතුටු වෙන්නට පුළුවන් විශේෂත්වයක් නම් නෙවෙයි. එදා තමයි අපිට පායපු හඳ, අපිට නොපෙනී ගියපු දවස. හරියටම කියනවා නම් ලංකාව උඩින් හැමදාමත් පායපු හඳ මින් ඉදිරියටත් නොපායන්න තීරණය වුනු දවස. මේ දවස මගේ ජීවිතේට තවත් වැදගත් දවසක් වෙනවා. සතුටු වෙන්න පුළුවන් දවසක් විදියට ඒ දවස උදා වුනත් අන්තිමට අවසාන කරන්න වුනේ හිතේ මේ නිසා දුකකුත් තියාගෙන. සතුටක් දැනුනා නම් ඒ, මගේ සාමාන්‍ය පෙළ විභාගයේ අවසාන දවස වීම හේතුවෙන්.

මෙහෙම කියන කොට කාට කාටත් තේරුම් ගන්නට පුළුවන් මේ ලිපිය මොන දෙයක් එක්ක සම්බන්ධද යන වග. ඇත්තෙන්ම එදා ආයෙත් නොපායන්නට ඉරණම තීරණය වුනු ඒ පුර හඳ ගංගොඩවිල සෝම ස්වාමීන්ද්‍රයන් වහන්සේයි. දශක තුනකට ආසන්න කාලයක් පුරාවටම ශ්‍රී ලාංකීය සිංහල බෞද්ධ ප්‍රජාව වෙනුවෙන් හඬ නැගූ මෑත භාගයේ හිටි එකම යතිවරයාණන් වහන්සේ හැටියට ගංගොඩවිල සෝම ස්වාමීන් වහන්සේ ගැන කියන්නට පුළුවන්. මොකද ජාතියේ නැගීම වෙනුවෙනුත් පරිහානියට පත් වෙමින් තිබුණු බුදු දහමේ විවිධ පැතිකඩ ගැන ඉබාගාතේ, මිත්‍යාදෘෂ්ඨීන් පස්සේ දුවන සිංහල බෞද්ධ ජනතාවගේ ඇස් පාදන්නට ලංකා ධරණි තලයට පහළ වුනු සිංහ නාදයක් වැනි උන්වහන්සේගේ දේශන කෞශල්‍යයේ නිහැඬියාව අද අපට තදින්ම දැනෙන කාරණාවක් වෙලා.

හදිසියේ අභිරහස් විදියට සිද්ධ වුන උන්වහන්සේගේ අපවත් වීම අද වෙද්දී හැම දෙනාටම පාහේ අමතක වෙලා ගිහින්. ඒත් ඒ ගැන පිහිටවපු කමිටුවෙන් යම් තාක් දුරකට ඒ සම්බන්ධව කරුණු හෙළිදරව් කරගෙන තියෙන බවත් කිව යුතු දෙයක්. මේ ලිපිය අවසානයේදී ඒ ගැන සොයා ගැනුනු වීඩියෝ පටයකුත් මම මේ ලිප්යෙන් ඔයාලට පෙන්වන්නටයි හිතුවේ. උන්වහන්සේ ආරම්භ කළ මාර්ගයේ ගිය බොහෝ තරුණ පිරිස්, උන්වහන්සේගෙන් අනතුරුව උන්වහන්සේගේ සිංහ නාදය තුරුම්පුවක් කරගෙන රට නගන්නට ඉදිරියට ආ අතලොස්සක් පමණ දෙනා ගැන අවධානය යොමාගෙන සිටියේ, මින් මතුවට රටේ බෞද්ධාගමේ චිරස්තිථිය වෙනුවෙන් ඒ අතලොස්සක් දෙනා කටයුතු කරාවි යන බලාපොරොත්තුවෙනුයි. ඒත් සිද්ධ වුනේ ඒ අනුගාමී අතලොස්සත් නරා වලකට ඇද වැටුනා හා සමාන දෙයක්.

කොහොම නමුත් අද සෝම ස්වාමීන් වහන්සේගේ හෙවනැල්ල ආයෙමත් මේ රටින් මැකිලා යන්නට පටන් අරගෙනයි තියෙන්නේ. සමහර සිවුරු පොරවාගත් ඉලන්දාරී, වෙළෙන්ඳන් නා නා ප්‍රකාරයේ දේවල් රටේ බෞද්ධ ජනතාවට හුරු පුරුදු කරමින් ඉන්න බව මාධ්‍ය වලින්ම පෙනෙන්නට තියෙන කාරණාවක්. ඉන් එකක් තමයි මහායාන දර්ශනයේ එන බෝධිසත්ත්ව වන්දනාවට මිනිසුන් හුරු කරවීම. මේ ගැනත් කලින් මට ලිපියක් පල කරන්නට අවස්ථාව උදා වුනා. ඒ වගේම සෝම හිමියන් තරයේ ප්‍රතික්ෂේප කරපු බුදු දහමට අලලපු හින්දු දේව ඇදහිල්ල වගේම හින්දු දේව විශ්වාසය, අද තවමත් ප්‍රසිද්ධ දේශකයාණන් වහන්සේලා විසින් ප්‍රතික්ෂේප කර නැති වීමත් මතක් කරන්නට ඕනේ දෙයක් වෙලා. මොකද උන්වහන්සේලා විසින් හැම බණක් අවසානයේදීම හින්දු දෙවි වරුන්ගේ නම් පවසමින් ඒ අයටත් පිං අනුමෝදන් කරවන්නට අමතක නොකිරීම හේතුවෙන්.

පන්සිල් රැකීමෙන් ආරම්භ වෙන ආර්ය මාර්ගයේ ගමන් කිරීමයි උන්වහන්සේ සිංහල බෞද්ධයන්ගෙන් බලාපොරොත්තු වුනේ. ඒ අතරේදී රට ජාතිය වෙනුවෙන් හඬක් නගන්නටද උන් වහන්සේ ගත් වෑයම සුළුපටු කර සලකන්නට කොහෙත්ම බැරි තරම්. ඒ බව උන්වහන්සේගේ ආදාහන පූජෝත්සවයේදී ඔයාලා හැමෝටම දකින්නට ලැබෙන්න ඇති රැස් වෙලා හිටි සෙනඟින් වගේම වැගිරුණු කඳුළු ගංගා වලින්ම.

සෝම හිමියන්ගේ හෙවනැල්ල අද ලංකා ධරණි තලයට නොවැටුණාට උන්වහන්සේගේ අඩි පාරේ යන ධර්මධර, විනයධර ස්වාමීන් වහන්සේලා රැසක් ඉන්නා බවත් මතක් කළ යුතුයි. කොටින්ම සෝම ස්වාමීන් වහන්සේගේ දේශන ශෛලියෙන්ම, ඒ හඬින්ම ධර්මය දේශණා කළ හැකි යතිවරයාණන් වහන්සේලා දෙනමක්ම දැනට වැඩ වාසය කරනවා. මටත් උන්වහන්සේලාගේ ධර්ම දේශනයන් අහන්නට ලැබිලා තියෙනවා. ඒ රූපවාහිනියෙන් වගේම ගුවන් විදුලියෙන් විකාශය වුණු ධර්ම දේශනා වලින්. කොහොම නමුත් කණට ඇහෙන ශබ්ධ රසයට වඩා මනසට වැටෙන ධර්ම රසයයි ධර්ම දේශනාවකින් ලැබිය යුත්තේ. ඒ නිසා සෝම සමිඳානන්ගේ මතකය මේ දෙසැම්බරයේ ආයෙමත් මතු කරන්නට මේ ලිපිය උදව්වක් වෙන්නට ඇතැයි මම හිතනවා.

සෝම ස්වාමීන් වහන්සේගේ රුසියාවේදී සිදුවූ අබිරහස් අපවත්වීම පිළිබඳව කරුණු සෙවීමට පත් කළ කමිටුවෙන් ඉදිරිපත් කළ වීඩියෝ පටය.


0 පාඨක අදහස් | Comments:

Post a Comment

 

Copyright 2010 tee දුටු ලොව.

මෙහි පළ වී ඇති සියළුම ලිපි වල හිමිකාරීත්වය "TeeRox" වන මා සතුව පවතින අතර, දැනුම් දීමකින් තොරව හෝ අවසරයක් නොමැතිව උපුටා ගැනීම හෝ වෙනත් කටයුතු සඳහා යොදා ගැනීම සපුරා තහනම් බවත්, ඒ සඳහා නීතිමය ක්‍රියාමාර්ග කරා යාමටද හැකියාව ඇති බවත් කරුණාවෙන් සලකන්න.