Monday, December 27, 2010

බෝඩිම් කිව්වම ඉතින් මේ ලිපි කියවන සමහර ඈයොත් බෝඩිම් වලම ඉඳගෙන මේ ලිපි කියවනවා, අන්තර්ජාලයේ සැරිසරනවා වෙන්නත් පුළුවන්නේ. අද කාලේ කොළඹට පිටින් ඇවිත් රැකියාවල් කරන කොයි තරම් නම් දෙනා සේවා ස්ථාන වල ඉන්නවද බෝඩිම් වල නැවතිලා වැඩට එන. ගැහැණු හෝ වේවා, පිරිමි හෝ වේවා, මේ බෝඩිම් වෙන් වෙන් විදියටයි සේවා සපයන්නේ ඒ ඒ කණ්ඩායම් වලට එක එක පරාස වල මිල මට්ටම් එක්ක. මේවායෙන් ලැබෙන පහසුකම් පවා විවිධාකාරයි කීවොත් වඩාත් නිවැරදියි. ඒ විවිධත්වයට අදාළව තමයි ගෙවන ගාණත් තීරණය වෙන්නේ.

මෙන්න මේ වගෙ බෝඩිම් නිවාස වල නැත්නම් කාමර වලට ලැබෙන එක පහසුකමක් තමයි නිදහසයි, පෞද්ගලිකත්වයයි, රහස්‍යභාවයයි කියන්නේ. සමහරු නම් මේවා නැති බෝඩිම් වල නතර වෙන්නත් අකැමැති තරම්. මෙන්න මේ පහසුකම හරි හැටියට ප්‍රයෝජනයට ගන්නේ කීයෙන් කී දෙනාද? මේ රහස්‍යභාවය තවත් පිරිසක් වැරදියටත් පාවිච්චියට ගන්නවා. සමහරු නම් කියාවි සල්ලි ගෙවනවා නම් මොනවා කර ගත්තාම මොකද කියලා. ඒත් ඉතින් ඕවා ගැන දැන තියා ගන්න එකත් නරක දෙයක් නෙවෙයි කියලායි මම නම් හිතන්නේ. මොකද අනාගතයේදී තමන්ගේ දුව හරි පුතා හරි බෝඩිම් නිවාස වල නවත්තන්න හිතනවා නම් මේ ගැනත් හිතන්න වෙන නිසා. දරු මල්ලො කෙසේ වෙතත් තම තමන්ටම සමහර විට මේ වගේ අත්දැකීම් වලට මුහුණ දෙන්න වෙන්න කලින් දැන ගෙන ඉඳීමවත් හොඳක්. අනිත් දේ තමයි මේ දේවල් අමුතුවෙන් කිව යුතු දේවලුත් නොවන බව. සමාජයේ සිද්ධ වෙන ප්‍රසිද්ධ රහස් වගේ දේවල් තමයි මේ දේවල්.

මේ කාරණාව මට සිද්ධ වුනු දෙයක් නෙවෙයි. මොකද මේ තාක් කාලයකට බෝඩිම් නිවාසයක හරි බෝඩිම් කාමරයක හරි මම වාසය කරලා නැති නිසා. මේ බාහිර අත්දැකීම් මගේම අත්දැකීම් වෙන්නේ කණට ඇහුණු දේවල් විදියටයි. ඒ, ආශ්‍රය කරන්නට ලැබුණු යහළු මිත්‍රාදීන් කියපු දේවල් නිසාවෙන් තමයි.

ඉතින් මේ බෝඩිම් නිවාසත් එක්ක බැඳුණු අර මම මුලින් කියපු නිදහස්කමයි, රහස්‍යභාවයයි නිසාවෙන් සමහර වෙලාවට මේ බෝඩිම් නිවාස වල ජීවත් වෙන පිරිමි ළමයින් නොයෙක් ආකාරයේ සමාජ විරෝධී විතරක් නෙවෙයි සමාජ අසම්මත වැරදි ක්‍රියාකාරකම් වලටත් පෙළඹෙනවා. කොටින්ම මේ වගේ බෝඩිම් කාමර හෝ වේවා, නිවාස හෝ වේවා සූදු පොළවල්, තැබෑරුම් තත්ත්වයටම පත් වෙන අවස්ථාවලුත් ඇති තරම් දකින්නට පුළුවන්. සමහර විට රැකියාවක් හොයාගෙන ගමෙන් කොළඹට එන කෙනෙක් නතර වෙන්න හොයා ගන්න තැන නිසා බේබද්දෙක් වෙන්නත් බැරි නෑ. එහෙම වෙලා තියෙන අවස්ථා ඔයාලගේ ජීවිත වල වුනත් ඇති පමණ හොයා ගන්න තියෙනවා වෙන්න පුළුවන්.

කොහොමින් කොහොම නමුත් මේ හැසිරීම් අහල පහල ගෙවල් වල ජීවත් වෙන උදවියටත් සමහර වෙලා වලට කරදරකාරී වෙන්න පුළුවන්. ඉතින් රාත්‍රී කාලයට වැඩ ඇරිලා මහන්සි වෙලා මෙහෙම බෝඩිම් වලට එන පිරිමි පාර්ශවය ඇඟේ පතේ අමාරුකම් දුරු කර ගන්නේ මධු විත පානය කරලා වගේම තව තවත් දේවල් පාවිච්චි කරලා. උදාහරණයක් විදියට කීවොත් ගංජා වගේ දේවල් පාවිච්චි කරලා. කොටින්ම කීවොත් සූදු පොළක, තැබෑරුමක හා සමාන කෑ මොර දීම් රණ්ඩු සරුවල් වගේ දේවලුත් සිද්ධ වෙනවා. බෝඩිමේ වාසය කරන අය වගේම බෝඩිමට පරිබාහිරින් සම්බන්ධ වුනු උදවිය පවා මේ තාවකාලික තැබෑරුමේ සාමාජිකයින් වෙනවා. මේ වගේ තැබෑරුම් ඇති තරම් හවස් වරුවට නිල නොලත් මට්ටමින් රට පුරාම දකින්නට පුළුවන්. ඒත් බොහෝමයක් තිබුනට හොයන්න ලේසි නෑ. ගෙහිමියන් හෝ බෝඩිම් අයිතිකරුවන් හෝ මේ සම්බන්ධව නිසි ක්‍රියාමාර්ග නොගන්න හේතුව ලැබෙන මුදල නිසාවෙන් හෝ බෝඩිම්කරුවන්ගේ බිය වැද්දීම් හේතුවෙන් වෙන්නට පුළුවනි.

මීට අමතරව කිව යුතු තවත් දෙයක් තමයි, බෝඩිම් කාමර ගණිකා මධ්‍යස්ථාන බවට පත් වෙන ආකාරය ගැන. සමහර අවස්ථාවන් වලදී බෝඩිම් වල වසන පිරිමි පාර්ශවයේ උදවිය තම තමන්ගේ පෙම්වතියන් බෝඩිම් සාමාජිකයන් කිසිවෙකු එහි නැති අවස්ථාවන් වලදී එම බෝඩිම් කාමර වලට ගෙන්වා ගෙන රති කෙළියේ යෙදෙන බව නොරහසක් බවත් කියන්නට ඕනේ. ඒ වගේම ඉන් සමහර අවස්ථාවල් වලදී බෝඩිමේ ඉන්නා සාමාජිකයන් සියළු දෙනා විසින්ම කැමැත්තෙන් වගේම සම්මාදමෙන් මුදල් එකතු කරලා ගණිකාවන් පවා ගෙන්වන අවස්ථා ගැනත් අහන්නට ලැබිලා තියෙනවා. ඒ වගේම ඒවා සිද්ධ වීමත් ඒ වගේ බෝඩිම් ස්ථාන වල දකින්නට ලැබෙන තවත් සුලබ දෙයක්.

මේ දේවල් සිද්ධ වෙන්නේ බොහෝ විට බෝඩිම් නිවාසය අයිතිකරුවන්ගේ අනු දැනීමක් නැතුව හොර රහසේයි. මේ එක්කම කියන්නට තියෙන තවත් දෙයක් තමයි, මේ බෝඩිම් වල වාසය කරන්නන් අසල්වාසී නිවෙස්වල කාන්තාවන් සමග අයතා සබඳකම් පවත්වන්නට පටන් ගැනීම. මේ දේ අවසානයේදී ඉවර වෙන්නේ මුලින් කීවාක් වගේ රති කෙළියේ යෙදීමෙන් අනතුරුව හෝ කලබගෑනියකින් අනතුරුවයි. ඒවාට උදව් කරනා ඒ ඒ කාන්තාවන් සමහර විට මීට ඉහත ලිපියක සඳහන් කෙරුණු තරුණ මොන්ටිසෝරි අම්මා කෙනෙක් වෙන්නත් පුළුවනි. එහෙමත් නැති නම් සාමාන්‍ය පෙළ, උසස් පෙළ කරනා දරුවන් සිටින මවක් වෙන්නත් පුළුවන්. ඒ වගේම තරුණ ගැහැණු දරුවන් වෙන්නත් පුළුවනි. එහෙමත් නැත් නම් මග තොටේදී, බස් රථයේදී හමු වෙන කාන්තාවක් වෙන්නත් පුළුවනි. මේ හැම ආකාරයකම අසම්මත, අනියම් රති සුව විඳීම් ගැන අහන්නට ලැබිලා තියෙන අත්දැකීම් ගැනයි ඒ විදියට මේ ලිපියෙන් පළ කරන්නට හිතුවේ. සමහර විට ඒ ඔයාලගේ සහෝදරියක්, නෑයෙක්, බිරිඳක් හෝ මවක් වෙන්නටත් පුළුවනි.

ඉතින් බලාගෙන ගියාම රට පුරාම හැන්දෑ වරුව වෙද්දී පුංචි පුංචි සුරා සැල්, තැබෑරුම්, රති සුව මධ්‍යස්ථාන, සම්බාහන මධ්‍යස්ථාන, ගණිකා නිවාස බොහෝමයක් ආරම්භ වෙන බව කවුරුත් දන්න රහසක් වෙලා. මේ වගේ සමාජයීය අසම්මත, වැරදි, නොමනා හුරු වීම් හේතුවෙන් බෝඩිමක නතර වෙනවා කියන දේ, ඕනෑම කෙනෙක් හොඳින් සොයා බැලිය යුතු කාරණාවක් වෙලා තියෙනවා. මොකද මේ දේවල් අණ බෙර ගැසීමකින් තොරව, හොර රහසේ සිද්ධ වෙන දේවල් නිසාවෙන්. ආශ්‍රය කරන්නට සිද්ධ වෙන උදවියගේ වැරදි මග පෙන්වීම් වලට යටත් වෙන තරුණයින් මේ නිසා නාස්ති වෙන එක නම් පුදුමයක් නෙවෙයි. ඒ හේතුවෙන් ගැහැණු දරුවන් වගේම කාන්තාවන්, එවැනි අයගෙන් ප්‍රවෙසම් කර ගන්න අතරේ පුරුශ පාර්ශවයේ උදවියත් මේ වගේ දුරාචාරී බෝඩිම් ශිෂ්ඨාචාර වලින් ඈත්ව ජීවත් විය යුතු බවත් මතක් කරන්නට අවශ්‍ය දෙයක් වෙනවා.

Monday, December 20, 2010

එක ගෙදරක මළ බතක් ඉදෙද්දී තවත් ගෙදරක කිරි බතක් ඉදෙන බව ඔයාලා නිකමටවත් හිතුවද? නැහැ නේද? ඇත්තටම මේ ලෝකයෙ දුක සැප කියන අටලෝ දහමේ එන අංග දෙක සමබර වෙන්නේ මෙන්න මේ විදියතයි. මළ බතක් ගෙදරක ඉදෙන්නේ කෙනෙක් පරලොව ගියාමයි. ඒත් එක්කම ඒ පරලොව ගිය කෙනා අළුත් ජීවිතයක් ලබනවා තවත් ගෙදරක. ඒ තැම මනුස්ස වාසයක් නම් කිරිබතක් ඉදෙන එක සතුටුදායක දෙයක් වෙනවා. අපෙන් වෙන් වෙන හැමෝම අපෙන් වෙන් වෙන්නේ මිය යන නිසාම නෙවෙයි. අමනාපකම් නිසාත් අපෙන් සමහරු ඈත් වෙනවා. ඒ ඈත් වීමෙත් දුක සැප දෙකම අන්තර්ගත වෙලා තියෙනවා. හිතන්න ආදරේ කරන කෙනෙක්ට තමන්ව එපා වෙලා දාලා ගියා කියලා. ඒ කෙනා යන්නේ තනියම වුනත්, ටික කාලෙකින් ඒ තනිකම ඒ කෙනාට නැති වෙනවා. ඒ මොකද එයාගේ ජීවිතයට තවත් කෙනෙක් සම්බඳ වෙන නිසා. ඒත් අපි කරන්නේ, අපිව දාලා ගිය අය වෙනුවෙන් ජීවිත කාලෙම අඬ අඬා ඉන්න එක නේද? සමහර විට අපේ ජීවිතෙනුත් වන්දි ගෙවන්න සිධ්හ වෙන අවස්ථාවල් රූපවාහිනියේ ප්‍රවෘත්ති විකාශයක් නැරඹුවාම හොඳට දකින්න පුළුවන් වෙනවා. ඒ වගේම ටෙලි නාට්ය, චිත්‍රපට වලිනුත් ඒ බව දකින්නට පුළුවන්.

මේ හැම දෙයක්ම තාවකාලික වෙන් වීම් විතරයි. ඒ තාව කාලික වෙන් වීම් වලදී හිතට දැනෙන දුක සුළු මොහොතකින් වෙනස් වෙන්න පුළුවන්. සමහර විට ඒ සුළු මොහොත පැයක්, දවසක්, සතියක්, මාසයක් අවුරුද්දක් වෙන්නටත් පුළුවන්. වෑදගත්කම තියෙන්නේ ගත වෙන කාලයේ නෙවෙයි, තමන් කොයි තරම් දුරකත තමන්ගෙන් ඈත් වෙන දේ කෙරේ බැඳිලා තියෙනවාද කියන දේයි. මොකද බැඳීම වැඩි වෙන තරමත ගැලවීම අපහසු වෙන නිසා. හිතන්න මෙහෙම, අපි ගම් බෝතලයකින් ගන්න ගම් වලින් කොළ දෙකක් අලවනවාට වඩා වැඩි ඇලවීමේ හැකියාවක් තියෙන හාකොබොන්ඩ් වගේ දෙයකින් තමයි කැඩුනු බිඳුණු දෙයක් අලවන්නේ. ඒත් මේ කොයි ඇලවීමත් තාවකාලික විසඳුම් විතරයි.

අපි බැඳීම එක්ක එකතු වෙද්දී ජීවත් වෙනවා කියලා හිතුවට, බැඳීම් එක්කම අපිත් වයසට යන එකයි ඇත්තටම සිද්ධ වෙන්නේ. අපි උපන් දවසේ ඉඳලාම බැඳීම් ගොන්නකට දාවයි උපදින්නේ. මුලින්ම දෙමාපියන්ගේ බැඬීම, ඉන් පස්සේ සහෝදර සහෝදරියන්ගෙ, නෑයන්ගේ, අසල්වැසියන්ගේ, පෙම්වතුන් පෙම්වතියන්ගේ, දරුමල්ලන්ගේ ආදී වශයෙන් තමයි. මේ බැඳීම් වල්ට උපේක්ෂාවෙන් ඇලීමයි වඩාත් වැදගත් වෙන්නේ. මොකද බැඳීමේ තරමින් තමයි වියෝවේ දුක්මුසු බව තීරනය වෙන්නේ. ඔය මොන බැඬීම කොහොම සිද්ධ වුනත් අනිත්මටම සිද්ධ වෙන මරණය කියන වියෝවට ඕනෑම කෙනෙක්ට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. එදාට අපිත් එක්ක බැඳීම් ඇති කරගෙන ඉන්න, හිටපු කිසි කෙනෙක්ගේ සහය අපේ මීලඟ භවය සුභ හෝ අසුභ වෙන්නට උදව්වක් වෙන්නේ නම් නැති තරම්. මොකද තමන් හිසට තමන්ගේ අතම සෙවනැල්ලක් වෙන නිසාවෙන්.

මරණය ගැන ගොඩක් දෙනා දකින්නේ අසුභවාදී විදියටයි. ඒ මොකද තමන් ජීවිතේදී විඳපු සැප සම්පත් මරණය කියන සීමාව වෙනකන් විතරක් විඳින්නට සිද්ධ වෙන නිසාවෙන්. ඒ නිසා සමහරු හෙට මැරුණත් අද ජොලි කරලා කියලා සතුටු වෙන්නට පුළුවන්. ඒත් හෙට අපිව භාර ගන්න කොහේවත් කවුරුවත් නැති වෙන්නට පුළුවන්. කොටින්ම ඉපදෙන්නට මිනිස් කුසක්වත්. මනුසත් බව ලැබීම ලොකු පිණක්. ඒ විතරක් නෙවෙයි බුද්ධෝත්පාද සමයක මිනිසත්බව ලබාගෙන ඉපදෙන්නට ලැබීමත් ලොකු පිණක්. එයිනුත් බෞද්ධයෙකු වීම තවත් ලොකු පිණක්. මොකද මරණයේ සීමාව සැබෑම සීමාවක් විදියට පහු කරන්නට පුළුවන් එකම ධර්මය බුදු දහම නිසාවෙන්. ඒ කිව්වේ මරණයේ සීමාවෙන් ඔබ්බේ තියෙන ලෝකයක් නැති, ලෝකයේම අවසාන සීමාව වෙන නිර්වාණය කියන වැට කඩුල්ල පනින්නට උදව් වෙන එකම දහම බුදු දහම නිසාවෙන්.

බැඳීම හේතුවෙන් අපිට අවසානයෙදී ලැබුණු කිසිම දෙයක් නැති තරම්. මොකද ඒ හැම බැඳීමකම අවසානය කඳුළු විලක් විතරක් නිසා. එහෙව් කඳුළු වැගිරුමකින් තොර වුණු බැඳීම් ලිහිල් වුණු මරණයකට මුහුණ දෙන්න අපි කවුරුත් පුරුදු වෙන්නට ඕනේ. අපිට ලංව ඉන්න ගොඩක් දෙනා අන්තිම හුස්ම පිට කරන්න අවුරුදු ගාණක් තිබියදීම අපෙන් නොයෙක් හේතූන් නිසා ඈත් වෙන බව අමුතුවෙන් කිව යුතු දෙයක් නම් නෙවෙයි. ඒ හිත් අමනාපකමක් නිසා හරි, ආරවුලක් නිසා හරි, සමාජ විරෝධී වැදක් නිසා හරි වගේ කුමක් හෝ අතපසු වීමකින් හරි, වැරදි හැසිරීමකින් හරි නිසා වෙන්නට පුළුවනි. මේ හැම දෙයක්ම පන්සිල් බිඳීමට ගොනු කරන්න පුළුවන් කියලා කීවොත් වැරදෙන්නට ඇති ඉඩ කඩ බොහෝ අඩුය.

බැඳීම අඩු තැන දුක නැති බව තේරුම් ගන්න පුළුවන් කමක් දැන් තියාම ඇති කර ගන්නට අවශ්‍ය වෙන්නේ තමන් හැරදා යන උදවිය තවත් අයෙක් සතුටු කරනා නිසාවෙනි. එවන් අය වෙනුවෙන් හඬා වැළපීමෙන් පලක් නැති තරම්ය. තමන්ගේ වෑයමින් අවසන් සීමාව පහු කරන්නට මේ පෝය දවසේදී තීරණය කරන්නට පුළුවන් නම් වඩා සුදුසු වෙනු ඇත. එවිට මළ බතත් කිරි බතක් වනු ඇත.
නාසා ආයතනය පවසන පරිදි නම් නෙවෙයි ආයෙමත් ලෝකෙට හඳ පායන්නේ නැත්තේ. ඇත්තටම හඳ නොපායා තිබුනොත් ලෝකය මොන වගේ වේවිද? දවල් කාලයේදී ඉරෙන් දෙන උණුසුම තුනී කරන්නේ රෑට පායන හඳෙන්. ඒත් මේ ලිපිය ලියන්නට ඇත්තම හේතුවට, වැදගත් කමට විශේෂ තැනක් අයිති වෙනවා මේ කාලය ඇතුලතදී.

දෙසැම්බර් මාසයේ දොළොස් වෙනිදා කියන්නේ බෞද්ධ අපි කාටත් අමතක නොවෙන විශේෂ දිනයක්. මේ විශේෂත්වය සතුටු වෙන්නට පුළුවන් විශේෂත්වයක් නම් නෙවෙයි. එදා තමයි අපිට පායපු හඳ, අපිට නොපෙනී ගියපු දවස. හරියටම කියනවා නම් ලංකාව උඩින් හැමදාමත් පායපු හඳ මින් ඉදිරියටත් නොපායන්න තීරණය වුනු දවස. මේ දවස මගේ ජීවිතේට තවත් වැදගත් දවසක් වෙනවා. සතුටු වෙන්න පුළුවන් දවසක් විදියට ඒ දවස උදා වුනත් අන්තිමට අවසාන කරන්න වුනේ හිතේ මේ නිසා දුකකුත් තියාගෙන. සතුටක් දැනුනා නම් ඒ, මගේ සාමාන්‍ය පෙළ විභාගයේ අවසාන දවස වීම හේතුවෙන්.

මෙහෙම කියන කොට කාට කාටත් තේරුම් ගන්නට පුළුවන් මේ ලිපිය මොන දෙයක් එක්ක සම්බන්ධද යන වග. ඇත්තෙන්ම එදා ආයෙත් නොපායන්නට ඉරණම තීරණය වුනු ඒ පුර හඳ ගංගොඩවිල සෝම ස්වාමීන්ද්‍රයන් වහන්සේයි. දශක තුනකට ආසන්න කාලයක් පුරාවටම ශ්‍රී ලාංකීය සිංහල බෞද්ධ ප්‍රජාව වෙනුවෙන් හඬ නැගූ මෑත භාගයේ හිටි එකම යතිවරයාණන් වහන්සේ හැටියට ගංගොඩවිල සෝම ස්වාමීන් වහන්සේ ගැන කියන්නට පුළුවන්. මොකද ජාතියේ නැගීම වෙනුවෙනුත් පරිහානියට පත් වෙමින් තිබුණු බුදු දහමේ විවිධ පැතිකඩ ගැන ඉබාගාතේ, මිත්‍යාදෘෂ්ඨීන් පස්සේ දුවන සිංහල බෞද්ධ ජනතාවගේ ඇස් පාදන්නට ලංකා ධරණි තලයට පහළ වුනු සිංහ නාදයක් වැනි උන්වහන්සේගේ දේශන කෞශල්‍යයේ නිහැඬියාව අද අපට තදින්ම දැනෙන කාරණාවක් වෙලා.

හදිසියේ අභිරහස් විදියට සිද්ධ වුන උන්වහන්සේගේ අපවත් වීම අද වෙද්දී හැම දෙනාටම පාහේ අමතක වෙලා ගිහින්. ඒත් ඒ ගැන පිහිටවපු කමිටුවෙන් යම් තාක් දුරකට ඒ සම්බන්ධව කරුණු හෙළිදරව් කරගෙන තියෙන බවත් කිව යුතු දෙයක්. මේ ලිපිය අවසානයේදී ඒ ගැන සොයා ගැනුනු වීඩියෝ පටයකුත් මම මේ ලිප්යෙන් ඔයාලට පෙන්වන්නටයි හිතුවේ. උන්වහන්සේ ආරම්භ කළ මාර්ගයේ ගිය බොහෝ තරුණ පිරිස්, උන්වහන්සේගෙන් අනතුරුව උන්වහන්සේගේ සිංහ නාදය තුරුම්පුවක් කරගෙන රට නගන්නට ඉදිරියට ආ අතලොස්සක් පමණ දෙනා ගැන අවධානය යොමාගෙන සිටියේ, මින් මතුවට රටේ බෞද්ධාගමේ චිරස්තිථිය වෙනුවෙන් ඒ අතලොස්සක් දෙනා කටයුතු කරාවි යන බලාපොරොත්තුවෙනුයි. ඒත් සිද්ධ වුනේ ඒ අනුගාමී අතලොස්සත් නරා වලකට ඇද වැටුනා හා සමාන දෙයක්.

කොහොම නමුත් අද සෝම ස්වාමීන් වහන්සේගේ හෙවනැල්ල ආයෙමත් මේ රටින් මැකිලා යන්නට පටන් අරගෙනයි තියෙන්නේ. සමහර සිවුරු පොරවාගත් ඉලන්දාරී, වෙළෙන්ඳන් නා නා ප්‍රකාරයේ දේවල් රටේ බෞද්ධ ජනතාවට හුරු පුරුදු කරමින් ඉන්න බව මාධ්‍ය වලින්ම පෙනෙන්නට තියෙන කාරණාවක්. ඉන් එකක් තමයි මහායාන දර්ශනයේ එන බෝධිසත්ත්ව වන්දනාවට මිනිසුන් හුරු කරවීම. මේ ගැනත් කලින් මට ලිපියක් පල කරන්නට අවස්ථාව උදා වුනා. ඒ වගේම සෝම හිමියන් තරයේ ප්‍රතික්ෂේප කරපු බුදු දහමට අලලපු හින්දු දේව ඇදහිල්ල වගේම හින්දු දේව විශ්වාසය, අද තවමත් ප්‍රසිද්ධ දේශකයාණන් වහන්සේලා විසින් ප්‍රතික්ෂේප කර නැති වීමත් මතක් කරන්නට ඕනේ දෙයක් වෙලා. මොකද උන්වහන්සේලා විසින් හැම බණක් අවසානයේදීම හින්දු දෙවි වරුන්ගේ නම් පවසමින් ඒ අයටත් පිං අනුමෝදන් කරවන්නට අමතක නොකිරීම හේතුවෙන්.

පන්සිල් රැකීමෙන් ආරම්භ වෙන ආර්ය මාර්ගයේ ගමන් කිරීමයි උන්වහන්සේ සිංහල බෞද්ධයන්ගෙන් බලාපොරොත්තු වුනේ. ඒ අතරේදී රට ජාතිය වෙනුවෙන් හඬක් නගන්නටද උන් වහන්සේ ගත් වෑයම සුළුපටු කර සලකන්නට කොහෙත්ම බැරි තරම්. ඒ බව උන්වහන්සේගේ ආදාහන පූජෝත්සවයේදී ඔයාලා හැමෝටම දකින්නට ලැබෙන්න ඇති රැස් වෙලා හිටි සෙනඟින් වගේම වැගිරුණු කඳුළු ගංගා වලින්ම.

සෝම හිමියන්ගේ හෙවනැල්ල අද ලංකා ධරණි තලයට නොවැටුණාට උන්වහන්සේගේ අඩි පාරේ යන ධර්මධර, විනයධර ස්වාමීන් වහන්සේලා රැසක් ඉන්නා බවත් මතක් කළ යුතුයි. කොටින්ම සෝම ස්වාමීන් වහන්සේගේ දේශන ශෛලියෙන්ම, ඒ හඬින්ම ධර්මය දේශණා කළ හැකි යතිවරයාණන් වහන්සේලා දෙනමක්ම දැනට වැඩ වාසය කරනවා. මටත් උන්වහන්සේලාගේ ධර්ම දේශනයන් අහන්නට ලැබිලා තියෙනවා. ඒ රූපවාහිනියෙන් වගේම ගුවන් විදුලියෙන් විකාශය වුණු ධර්ම දේශනා වලින්. කොහොම නමුත් කණට ඇහෙන ශබ්ධ රසයට වඩා මනසට වැටෙන ධර්ම රසයයි ධර්ම දේශනාවකින් ලැබිය යුත්තේ. ඒ නිසා සෝම සමිඳානන්ගේ මතකය මේ දෙසැම්බරයේ ආයෙමත් මතු කරන්නට මේ ලිපිය උදව්වක් වෙන්නට ඇතැයි මම හිතනවා.

සෝම ස්වාමීන් වහන්සේගේ රුසියාවේදී සිදුවූ අබිරහස් අපවත්වීම පිළිබඳව කරුණු සෙවීමට පත් කළ කමිටුවෙන් ඉදිරිපත් කළ වීඩියෝ පටය.


පෙර පාසල් යන ළමුන් අරන් යන අම්මලා සම්බන්ධ ලිපියක් මම කලින් වතාවකුත් පල කරා මතක ඇති. ඒකෙන් නම් කියවුනේ අවිදින්න පුළුවන් ළමයි වඩාගෙන බස් වලට නැගිලා කරදරයක් නැතුවම ආසනයක වාඩි වෙන්නට අවස්ථාව උදා කර ගැනීම ගැන නේ. මේ ලියන්නට යන කරුණ මීට හාත්පසින්ම වෙනස් දෙයක්. ඇත්තෙන්ම මම ලබපු අත්දැකීමක් නම් නෙවෙයි. එහෙම අත්දැකීමක් ලබපු අයගෙන් අහන්නට ලැබුණු දෙයක් කීවොත් වඩාත් නිවැරදියි.

මේ ලිපිය වැදගත් වෙන්නේ පෙර පාසල් යන අම්මලාටත් වඩා එයාලගේ ස්වාමි පුරුශයන්ටයි. මොකද මේ දේ ඔයාලටත් සිද්ධ වෙලා තියෙන්නට පුළුවනි. ඒ වගේම සිද්ධ වෙන්න තියෙනවා වෙන්නට පුළුවනි. ඒත් මේ දේ තවත් කෙනෙක්ගේ උවමනාවක් නිසා සිද්ධ වෙන දෙයක් කීවොත් වඩාත් නිවැරදියි. මොකද තනි අතකින් අත්පුඩි ගහන්නට බැරුවාක් වාගේම මේ දේටත් දෙන්නෙක්ගේ කැමැත්ත තියෙන්නම වෙනවා. එක අතකට පෙළඹවීමක් කියලාත් කියන්නට පුළුවන්.

මේ දේ ගැන දැන ගන්නට ලැබුනේ මීට අවුරුදු තුනකට විතර කලින් තියාමයි. ඒත් එතකොට බ්ලොග්කරණයට ඇවිල්ලාවත් හිටියේ නැතිනිසා, ඒ දේ අදටත් සමාජයේ සිද්ධ වෙන නිසාත් මේ ගැන දැන් හරි ඔයාලට කියන්නටයි මේ ලිපියෙන් බලාපොරොත්තු වෙන්නේ. ඇත්තෙන්ම කියනවා නම් මේ දේ අදාළ වෙන්නේ අලුත විවාහ පත් වුනු තරුණ වියේ ඉන්නා කාන්තාවන්ට, එහෙමත් නැතිනම් පෙර පාසල් දරුවන් රැගෙන යන තරුණ අම්මලාටයි.

ඇත්තෙන්ම මම තොරතුරු තාක්ෂණය සම්බන්ධ ඩිප්ලෝමාවක් හදාරද්දී ඒ පංතියේ හිටපු පිරිමි ළමයින් අතින් තමයි මේ දේ සිද්ධ වෙලා තියෙන්නේ. නම් ගම් කියන්න හොඳ නැති නිසා ඒ ගැන සඳහනක් නොකර සිටීම වඩා හොඳ කියලායි මට හිතෙන්නේ. ඉතින් මේ පංතිය ආසන්නයේම පෙර පාසලකුත් තිබුණා. බොහෝ වෙලාවට මේ පිරිමි ළමයින් පිරිස පංතියේ විවේක කාලයේදී මේ පෙර පාසල අසල ගැවසුන බව ඔවුන්ම කියා සිටියා. පංතියේ විවේක කාලයට තමයි බොහෝ වෙලාවට පෙර පාසල අවසන් වෙන්නේත්. ඉතින් මේ ගැවසීමෙන් ඒ අයට ඒ පෙර පාසලට දරුවන් රැගෙන ආ තරුණ කාන්තාවන් කීප දෙනෙක් එක්කම කාමුකව හැසිර රති සුව විඳින්නටත් අවස්ථාව උදා වෙලා තියෙනවා. නිතර ගැවසිලා ඒ කාන්තාවන් සමග කතා බහට වැටිලා එයින් ඇති කර ගන්නා සුහදතාවලින් ඇරඹෙන දෙයින් තමයි අවසානයේ මේ වගේ දෙයක් සිද්ධ වෙන්නේ.

මෙන්න මේ දේ තමයි සමහරක් තරුණ මව්වරුන් තම ස්වාමිපුරුශයන්ට රහසේ කරන, කරන්නට සිද්ධ වෙලා තියෙන සහ කරන්නට පෙළඹෙවෙන දෙය. මේකට ඒ ඒ තරුණියන්ටම විතරක් දෝෂාරෝපණය කරන්නට බෑ. නමුත් නොකරත් බෑ. විවාහ පත්ව දරු මල්ලන් ලබා සිටියදීත් වෙනත් අය සමග කාමුකව හැසිරීම අනුමත කළ නොහැකි දෙයක් නිසාවෙන් ඔවුන් සතුවද මීට දැඩි වරදක් පැටවෙනවා. ඒ වගේම මේ වරදට ඒ කාන්තාවන් පොළඹවා ගන්න තරුණයින් සතුවත් වරදක් සැමවිටම තිබෙනවා. ඒ ගැන මගේ කලින් ලිපි කීපයකම වගේ මම සඳහන් කරලාත් තියෙනවා. මේ දේවල් වලට ඇත්තම හේතුව සමහර විට ඒ කාන්තාවන් තරුණ වයසේ පසු වීම හෝ තම ස්වාමිපුරුශයන්ගෙන් නිසි සැලකිලි නොලැබීම වෙන්නත් පුළුවනි. ඒ වගේම තම ස්වාමිපුරුශයන්ගෙන් සතුටට පත් නොවීමත් වෙන්න පුළුවන්. කරුණු බොහෝමයක් මේත් එක්කම මතු වෙනවා. ඒත් ඒ ඒ කෙනාට බලපාන කරුණු එකිනෙකට වෙනස් වෙනවා.

ඉතින් ඒ නිසා මේ වගේ දේවල් වලින් විතරක් නෙවෙයි තවත් නා නා ප්‍රකාර ආකාර වලින් තම තමන්ගේ බිරින්දෑවරුන් ආරක්ෂා කර ගන්නට ස්වාමිපුරුශයන්ට සිද්ධ වෙලා තියෙනවා. ඒ වගේම වෙන්නත් පුළුවන්. තම බිරින්දෑවරු මේ වගේ අපචාර වලට කැමැත්තෙන්ම ලක් වෙන බව නොදන්නවා වෙන්නත් පුළුවන්. මේ එක සිද්ධියක් ගැන ලියවුනු ලිපියක් පමණක් වූවාට මින් එහා අපි නොදකින බොහෝ දෑ සම්බන්ධයෙන් නොලියවෙන ලිපි බොහෝ ප්‍රමාණයක් තියෙන්නටත් පුළුවනි.
මේ ලිපිය සම්බන්ධ වෙන්නේ මගේ රැකියා ස්ථානයත් එක්කයි. මෑතකදී රැකියා ස්ථානයේදී ලබපු අත්දැකීමකුයි මම මේ ලිපිය හරහා ඔයාලට කියන්නට හදන්නේ. මම සේවය කරන්නේ පෞද්ගලික ආයතනයක අන්තර්ජාල වෙබ් යෙදවුම් සංවර්ධක කෙනෙක් හැටියට නේ. කට්ටියට එහෙම කිව්වාම තේරුනේ නැතිනම් සිංහලෙන් කියනවා නම්, Internet Web Application Developer කෙනෙක් කිව්වාම දැන් තේරෙනවා ඇති කියලා මම හිතනවා. ඉතින් වැඩ කරන්නට තියෙන පරිඝණක භාශාව තමයි PHP කියන්නේ. ඒක පරිඝණක භාශාවක් කියනවාට වඩා වෙබ් අඩවි සංවර්ධනය කළ හැකි භාශාවක් කීවොත් වඩාත් නිවැරදියි.

මේ සිද්ධිය වුනේ මීට සතියකට හෝ දෙකකට උඩදී. අපේ ආයතනයට මේ දවස් වල අළුතින් පිරිස් බඳවා ගැනෙනවා. ඒකට ඉතින් එන හැමෝටම සම්මුඛ පරීක්ෂණයකුත් පවත්වලා විතරක් බඳවා ගන්නේ නෑ. සම්මුඛ පරීක්ෂණයට අමතරව පොඩි ක්‍රියාකාරකමකුත් කරන්න දෙනවා. අයදුම් කරලා තියෙන රැකියා අවස්ථාවට අදාළවයි ඒ ක්‍රියාකාරකම ලැබෙන්නේ. මේ අත්දැකීමට මමත් මුහුණ දුන්නා. ඒ නිසාවෙනුයි අද මම එම ආයතනයේ සේවකයෙක් වෙලා තියෙන්නේ.

මෙන්න මේ වගේ සම්මුඛ පරීක්ෂණයකට ආව කෙනෙක් ගැනයි මේ කතාව ලියන්නේ. ඇත්තෙන්ම සාමාන්‍යයෙන් පරිඝණක ක්‍රමලේඛ භාශාවක් ඉගෙන ගන්න ඕනෙම කෙනෙක් දන්නවා ඒකේ මුලින්ම කේතනය කරන කොට පටන් ගන්නේ මොන විදියෙන්ද කියලා. අපි උදාහරනෙකට කියමුකෝ ජාවා (Java) කියන ක්‍රමලේඛ භාශාව. මම මේක තෝරා ගන්නට හේතුව වෙන්නේ විෂුවල් බේසික් (Visual Basic) වගේ භාශාවකට මේක අදාල කර ගන්න බැරි නිසා. ඉතින් ජාවා වගේ එකක මුලින්ම අපි කේත ලියන්න හුරු පුරුදු වෙන්නේ එක්කෝ නෝට්පෑඩ් හරි නැත්නම් ඒ වගේ මෘදුකාංගයක පිහිටෙන් නේ? ඉතින් PHP කියන ක්‍රමලේඛ භාශාවටත් ඔය ටික බලපානවා. මුලින්ම අපි අතින් කේත කරනවා නෝට්පෑඩ් වල. නැත්නම් කවදාවත්ම ඉගෙන ගන්න බැහැනේ නියම අර්ථය.

ඉතින් මේ වගේ ක්‍රමලේඛ භාශාවක් ඉගෙන ගනිත්දී අනිවාර්යෙන්ම ඉගෙන ගන්න පියවරක් තමයි දත්ත ගබඩාවකට එහෙමත් නැත්නම් ඩේටාබේස් (Database) එකක් සම්බන්ධ කරගෙන මෘදුකාංග කේතනය කිරීම. මේ දේත් අපි මුලින්ම අතින්ම කේත ලියලා කරන්නයි ඉගෙන ගන්නේ. පස්සේ තමයි අපි වෙනත් මෘදුකාංග හරහා මේ කේත ඉබේ ලියවෙන්නට තාක්ෂණය උපයෝගී කරගෙන වැඩ ඉක්මන් වගේම පහසු කර ගන්නේ.

අපේ ආයතනයට පැමිණි එක අපේක්ෂකයෙකුටත් තමන්ගේ සම්මුඛ පරීක්ෂනයෙන් පස්සේ පොඩි ක්‍රියාකාරකමක් කරන්නට අවස්ථාව ලැබුණා. ඒ ක්‍රියාකාරකම කරන්නට තියෙන්නේ දත්ත ගබඩාවකට (database) සම්බන්ධ කරලා. බොහෝ විට PHP ක්ෂේත්‍රයේදී අතින් කේත කිරීම තමයි වඩාත් දකින්න ලැබෙන්නේ. ඒ වෙනුවට වෙනත් මෘදුකාංග භාවිතාවෙන් කේත ඉබේ ලියවෙන අවස්ථාවන් දකින්නට ලැබෙන්නේ අඩුවෙන් වෙන්න පුළුවන්. මොකද අවශ්‍ය හැම දේටම අදාල කේත ස්වයංක්‍රීයව ලියවන්න ක්‍රමයක් ඒ හැම මෘදුකාංගයකම අඩංගු වෙන්නේ නැති නිසා. වෙබ් සංවර්ධක කේත කරන්නට හොඳම ගණයේ මෘදුකාංග අතරින් ඩ්‍රීම්වීවර් (Dreamweaver) කියන මෘදුකාංගය විශේෂ තැනක් ගන්නවා. මෙයිනුත් කේත ස්වයංක්‍රීයකරණය කරන්නට පුළුවන් හැකියාව තියෙනවා. කොටින්ම දත්ත ගබඩාවක් සම්බන්ධ කර ගැනීමට අවශ්‍ය කේත අපිට යතුරු පුවරුවට අතවත් නොතියා ගොඩ නගා ගන්නට පුළුවන්.

ඉතින් මේ කියන අපේක්ෂකයාත් දත්ත ගබඩාවට යෙදුම (application) සම්බන්ධ කරන්නට තෝරා ගත්තේ ස්වයංක්‍රීය ක්‍රමයයි. ඒත් එතැනදි පොඩි ප්‍රශ්නයක් මතු වුනා. ඒ තමයි අදාල දත්ත ගබඩාවට පරිගණක මෘදුකාංගයක් හරහා සම්බන්ධ වෙන්නට, ඇති පමණ අනුමැතියක් (permissions and privileges) ඒ දත්ත ගබඩාව අඩංගු පරිඝනකයේ නොතිබීම. ඉතින් මේ කෙනාට ඒ දත්ත ගබඩාවට සම්බන්ධ වෙන්න ක්‍රමයක් තිබුනේම නෑ. පස්සේ අපි ඉල්ලීමක් කරා දත්ත ගබඩාවට සම්බන්ධ වෙන පේළි දෙක තුනක විතර කේතනය අතින් කේතනය කරන්න කියලා. ඒත් ඒ වෙලාවෙදි ඔහු එයට අසමත් වුනා විතරක් නෙවෙයි ස්වයංක්‍රීය ක්‍රමයෙන් සම්බන්ධ නොකලොත් දත්ත හුවමාරු කර ගන්නටත් බැරි බව විස්තරාත්මකව අපට කියා සිටියා. ඒත් ඒ ක්‍රමයෙන් බැහැර වෙලා අතින්ම කේතනය කරන අනිත් හැම දෙනාම දන්න කරුණක් තමයි ඔහු කියූ දෙය සැබෑවක් නොවන බව. ඉතින් අවසානයේදී මේ අපේක්ෂකයාම ඒ සම්මුඛ පරීක්ෂණයෙන් ඉවත් වෙලා ගියා.

ඔන්න ඔය දේ නිසා තමයි මේ ලිපියේ මාතෘකාවට එහෙම දැම්මේ. මොකද ඉගෙන ගන්න දෙය සුළු පටු විදියට දකින්න හොඳ නැති නිසා. ඒ වගේම ඉගෙන ගන්න දෙය මුලින්ම ඉගෙන ගත යුත්තේ යාන්ත්‍රිකව නොවෙන බව. හරය නිසි වීදියට ඉගෙන ගත්තොත්, යාන්ත්‍රීකරණයට පිය නගින එක සුදුසු දෙයක් විදියටයි මගේ අදහස. ඒ නිසා ඔයාලා හැමෝටමත් පරිඝණක ආශ්‍රිත ඉගෙනීම් කටුයුතු වලදී හරයන් දැන ගැනීම වඩා ප්‍රයෝජනවත් බවත් මතක් කළ යුතුයි.

Sunday, December 5, 2010

මීට කලින් පළ වුනු ලිපියේ සඳහන් වුනේ මෑතකදී නිකුත් වුනු චිත්‍රපටයක් ගැන නේ. ඉතින් ඒ ලිපියේ අග භාගයේදී හිතන්නට යමක් ඉතුරු වුනා නම්, ඒ හා සම්බන්ධව යමක් පවසලා තියෙනවා නම් ඒ ගැන කතා කරන්නටයි මේ ලිපියෙන් අදහස් කරන්නේ. ඒ ලිපිය ඔයාලා කියෙව්වා නම් ඒකේ සඳහන් කරලා තියෙනවා බුදු රජාණන්වහන්සේ ගැනත්. මේ ලිපියේ මාතෘකාව ගැන කියද්දී නම් අවතාර පිළිබඳව කියන, අදෘශ්‍යමාන බලවේග හා සම්බන්ධ දෙයක් ලිපියක් නොවෙන බව පහුගිය ලිපියෙන් දැන ගන්නට ඔයාලට පුළුවන් වේවි.

අවතාර්වරයෙකු කියන්නේ ආධ්‍යාත්මීය බලයෙන් භූත හතර නම්‍යකරණය කරන්නට පුළුවන්, එහෙමත් නැත්නම් දමනය කළ හැකි පුද්ගලයෙක් හැටියටයි පසුගිය ලිපියෙන් සඳහන් වුනු කතාවේ කියැවෙන්නේ. භූත ලෙසින් මෙහිදී හඳුන්වන්නේ බුදු දහමේ සඳහන් වෙන පඨවි, ආපෝ, තේජෝ සහ වායෝ කියන සතර මහා භූත රූපයනුයි. මා මුලින් සඳහන් කළ කතාවේ මේ සතරට ලැබී ඇති අර්ථයන් වඩාත් පැහැදිලි වන්නේ ඒවාට යොදා ඇති වචන වලින්. ඒ, භූමිය (Earth), ජලය හෝ දිය (Water), ගිනි හෙවත් අග්නි (Fire) සහ වායු (Air) වශයෙන්. මේ හතර බුදු දහමේත් මීට වඩා අර්ථ නිරූපණයන්ට බඳුන් වෙලා තියෙනවා. නමුත් බුදු දහමින් පෙන්වා දෙන අර්ථ දැක්වීම ඉතාමත්ම ගැඹුරුතාවකින් සහ හරයකින්ද යුක්තයි.

අවතාර්වරුන් පුනරුප්පත්තිය ලබන පිරිසක්. ඔවුන් පහළ වන්නේ සැලකිය හැකි කාල පරාසයක් ඇතුලතදීයි. එහෙමත් නැතිනම් ඔවුනගේ ක්‍රියාකාරීත්වය ආරම්භ වන්නේ වර්ෂ ශතකයක් තුලදී පමණ බවත් හිතන්නට පුළුවනි. බුදු කෙනෙකුන්ගේ පහළ වීමකට වඩා අවතාර්වරුන්ගේ පහළ වීම ඉතා ශීඝ්‍රයෙන් සිදුවන්නේ ඔවුන් පුනරුප්පත්තිය ලබනා නිසාවෙන් විය හැක. මන්දයත්, බුදු කෙනෙකුන් ලොවට පහළ වන්නට ගත වෙන කාල පරාසය වර්ෂ ශතකයක් නොව වර්ෂ අසංඛෙය්‍ය කල්ප ලක්ෂයක් තරම් දක්වා වත් දීර්ඝ වන නිසාවෙනි. ඊට හේතු වන්නේ බුදුවරුන් නිර්වාණයට පත් වීමයි.

බුදුවරයෙක් ලොවට පහළ වන්නේ ලෝකවාසීන්ට ධර්මය දේශණා කොට චතුරාර්‍ය සත්‍යය අවබෝධ කරවා ඔවුන්ව යහ මගට ගෙන ආර්ය ප්‍රතිපදාවේ පිහිටුවීමට උපකාර කිරීම සඳහායි. ඒ වගේම බුදු රජාණන් වහන්සේ නමක් සතුව අපරිමිත, සැසඳුමකට ලක් කළ නොහැකි අයුරේ ශක්ති ප්‍රමාණයක් සහ හැකියා කෞශල්‍යයක් අන්තර්ගතව පවතී. බුදු කෙනෙකුන්ගේ ගුණ සමුදාය පිළිබඳව කතා කර අවසන් කළ නොහැකි යැයි පවසන්නේද එනිසාවෙන්. එමෙන්ම ලෝකයේ අසරණ වන්නන් හටත්, යහමගට ගත හැකි යමෙක් වේ නම් ඔවුනටද පිහිට වීම බුද්ධ චරිතයේ එන තවත් වැදගත් ගුණාංගයක් වෙනවා. ඒ වගේම උදාහරණයක් ලෙසින් ගෙන හැර පෑවොත්, රෝහිණී ගංගාවේ ජලය වෙනුවෙන් පැවති සටන, චූලෝධර මහෝධර සටන සහ තවත් ආකාරයේ දෙකඩ වීම් ආදීය පවා උන්වහන්සේගේ ආශ්චර්යයෙන් මැඩ පැවැත්වීමටද උන්වහන්සේට හැකියාව තිබිණ.

අවතාර්වරුන්ද ලෝකයට පහල වන්නේ ලෝකයේ සමබරතාව රැකගෙන අසරණ පුද්ගලයන්ට පිහිට වී අසාධාරණයට විරුද්ධව නැගී සිට එය සමථයකට පත් කිරීම සඳහායි. නමුත් මොවුනගේ ශක්ති සම්පන්නභාව කිසි විටෙකත් බුදුවරුන්ගේ ගුණ සහ ශක්ති සම්පන්න භාවයට අංශු මාත්‍රයකින්වත් සම කළ හැකියාවක් නැති බවත් කියන්නට ඕනි. නමුත් මෙහිදී යොදාගෙන ඇති සංකල්ප වල සමතාවක් පැවතීම විශේෂත්වයක් ලෙසින් දකින්නට පුළුවන්. ඉහත සඳහන් කළ ආකාරයට ලෝකයේ යම් රාජධානියක් අභිභවා යමෙක් නැගී සිටීමට තැත් කිරීමේදී සිදු වන මිනිස් සහ දේපළ සංහාරයන් මැඩලීමට අවතාර්වරුන්ගේ සහය ලෝකවාසීන් බලාපොරොත්තු වෙයි.

බුදු රජාණන් වහන්සේලා හට ප්‍රාතිහාර්‍ය පෑමේ විශේෂ හැකියාවක් ඇති නමුදු එය අනවශ්‍යාකාරයෙන් ප්‍රයෝජන ලැබීමට යොදා නොගන්නා උත්තම කොට්ඨාශකයකි. එය නිවැරදි අවස්ථාවේදී, නිවැරදි ආකාරයට අවබෝධයෙන් යුතුව හසුරවීම ඔවුන් සතු හැකියාවක්ද වෙනවා. එවන් ප්‍රාතිහාර්‍ය පෑ අවස්ථා පිළිබඳව බුද්ධ චරිතයේ සඳහන් වනවා. මින් ප්‍රධානතම ප්‍රාතිහාර්‍ය ලෙසින් හඳුන්වන්නට හැකි වන්නේ බුදු රජුන් අහසට නැග යමා මහ පෙළහර පෑම නැමැති ප්‍රාතිහාර්‍ය සිදු කිරීමයි. මෙවන් ප්‍රාතිහාර්‍යයන් පෑමට හැකි ලොව එකම පුද්ගලයා බුදු කෙනෙකුන් පමණකි. මෙහිදී උන්වහන්සේ එකම අවස්ථාවකදී ශරීරයෙන් ගිනි සහ ජලය පිට වනවාක් මෙන් පෙන්වීම එම ප්‍රාතිහාර්‍යයයේ ස්වභාවයයි. මෙය සිදු වන්නේ චිත්ත ක්ෂණ එකකට පසු අනික වශයෙන් නොගිණිය හැකි කුඩා කාලයකදී ඇති කරමින් නැති කරමින් පවත්වා ගැනීමයි. වඩා හොඳින් පැහැදිලි කරනවා නම් එක් චිත්ත ක්ෂණයක් පවතින්නේ නොගිණිය හැකි තරම් කුඩා කාලයක් පමණක් වීමත්, එක් අවස්ථාවකදී ගින්දර පිට වීම හා අනෙක් අවස්ථාවේදී ජලය සිරුරෙන් පිට වෙන ලෙසින් විදහා පැම කෙටි කළකදී දිගින් දිගටම සිදු වීම හේතුවෙන් ජලයත් ගින්දරත් එකම මොහොතේ පිටවන්නාක් මෙන් දිස් වීම මෙම ප්‍රාතිහාර්‍යයේ ඇති සුවිශේෂී ලක්ෂණයයි. එමෙන්ම අහසට නැග සිටීම පවා ආධ්‍යාත්මික ශක්තියෙන් සහ අධිශ්ඨාණයෙන් යුතුව සිදු කිරීම බුදු වරුන් සතු ප්‍රාතිහාර්‍ය ගුණ ශක්ති හැකියාව නිරූපණය කරන්නක්.

අවතාර්වරුන් මේ ආකාරයේම නොවූවත් මීට වෙනස් අන්දමින් මේ පදාර්ථ හෙවත් භූත රූපයන් හසුරුවීම සිදු කරයි. නමුත් ඒ තමන්ගේ මෙන්ම අනුන්ගේද යහපත උදෙසා විය හැකියි. මොවුනට වාතය, ජලය, පස් හෝ භූමිය සහ ගින්දර අවශ්‍ය ආකාරයට හසුරුවමින් නොයෙකුත් වැඩ සිදු කිරීමට හැකි ආධ්‍යාත්මීය ශක්තියක් පවතී. නමුත් මේවා ප්‍රාතිහාර්‍යයන් ලෙසින් නොව සැබෑ වශයෙන් පදාර්ථයේ හැසිරවීමක් ලෙසින් දකින්නට පුළුවනි. නමුත් එම කතාවට අනුව එය මිත්‍යාවක් ලෙසින්ද සැලකිය හැකි වන්නේ එවන් පුද්ගලයන් ලොව නොමැති හෙයිනි. නමුත් මානසික ශක්තිය උපයෝගයෙන් යකඩ හැඳි නවනා පුද්ගලයින් අපට දකින්නට ලැබී තියෙනවා. ඒ සත්‍ය ලෝකයේදී මානසික ශක්තියෙන්ද, දෘශ්‍ය ප්‍රයෝගයන්ගෙන්ද යන්න පිළිබඳව තවමත් සැක සහිතයි.

ඉතින් මේ ලිපියෙන් සඳහන් වූයේ බුදුවරුන්ගේ ගුණ හැකියාවන් සංකල්පයක් ලෙසින් අවතාර්වරුන් නිර්මාණය සඳහා යොදා ගෙන ඇතිද කියන පුද්ගලික විමසීමක් මත පමණක් බවත් මතක් කරන්නට ඕනේ. මන්දයත් බුදුවරුන් හා සැසඳිය හැකි වන්නේ තවත් බුදුවරයෙක් පමණක්ම නිසාවෙනි.
මේ ලිපිය කියවන්න ගන්න කොටම භූත කිව්වාම බය වෙන්න දෙයක් නෑ. භූත දමනය කරන්නා කට්ටඩියා නම් මේක ඔවුන්ට පමණක් අදාළ ලිපියක් නෙවෙයි කියලාත් කියන්නට ඕනේ. මේ ලිපියෙන් කියන්නට යන්නේ හොල්මන් අවතාර ගැන නම් නෙවෙයි. භූත කියලා ලිපියේ මාතෘකාවේ සඳහන් වුනාට ඇත්තෙන්ම මේ අපේ පරිසරයත් අපිත් ගැන ලියැවෙන ලිපියක් කීවොත් වඩාත් නිවැරදියි. ඒත් එක්කම අද ලෝකයේ ජනප්‍රියත්වයේ පසුවන්නක් ගැනත් මේ ලිපියෙන් කියන්නට බලාපොරොත්තු වෙනවා.

මේ දවස් වල ප්‍රකට, ලෝක සිනමා ප්‍රේක්ෂකයන් වෙතට මුදා හැරුණු චිත්‍රපටයක් ගැනයි මේ විස්තරය. 2010 වසරේ ජූලි මාසයේදී නිකුත් වූ මේ චිත්‍රපටයේ අභ්‍යන්තරය ගැන නම් වචන කීපයක නොකීවොත් අඩුපාඩුවක් කියලායි හිතෙන්නේ. ඇත්තෙන්ම මෙය ළමා චිත්‍රපටයක්. නමින් "ද ලාස්ට් එයාබෙන්ඩර්" (The Last Airbender) කියලායි සඳහන් වෙන්නේ. නම නොතේරුනා නම් ඒකේ සිංහල අර්ථය වෙන්නේ අන්තිම වායු දමනකයා යනුයි. එනම්, ලෝකයේ ඉතිරිව ඇති අවසානම වායු හැසිරවිය හැකි අයෙකු වටා ගෙතුනු චිත්‍රපටයක්. දෘශ්‍ය ප්‍රයෝග රාශියක් මේ චිත්‍රපටයේත් දකින්නට ලැබෙනවා. ඒ වගේම මේ චිත්‍රපටයේ අධ්‍යක්ෂණය ඉන්දියානුවෙක්ගෙන්. ප්‍රධාන චරිතයන් කීපයකටම අන්තර්ජාතික මට්ටමේ සිටින ඉන්දියානුවන්ගේ දායකත්වය මේ චිත්‍රපටයේදී ලැබී තියෙනවා.

ඇත්තෙන්ම මේ චිත්‍රපටය මීට පළමුව ප්‍රචලිත වුනේ රූපවාහිණී කාටූන් මාලාවක් ලෙසයි. එයද ළමා පරපුර තුල දැඩිව ප්‍රචලිත වූවක් වුනා. එම කාටූන් මාලාවද මූලාශ්‍ර කර ගනු ලැබුවේ ග්‍රන්ථ තුනකුයි. එක් එක් පදාර්ථයන් වශයෙන් පදාර්ථ තුනක් සම්බන්ධවයි මේ පොත් තුනත් රචනා වෙලා තියෙන්නේ. ඒ වගේම කාටූන් මාලාව සහ චිත්‍රපටයත්. මෙහි සැබෑ නම, "ඇවටාර්" (Avatar) එහෙමත් නැත්නම් "අවතාර්" කියන සිංහල තේරුමින් යුත් වචනයත් එක්ක සම්බන්ධිත "ද ලාස්ට් එයාබෙන්ඩර්" යන්නයි.

ඇත්තෙන්ම අවතාර් කෙනෙක් කියන්නේ කවුද? වායු දමනකයෙක් කියන්නේ මොන වගේ කෙනෙක්ද? එහෙමත් නැත්නම් පදාර්ථයේ අවස්ථා තුනක් මේකට සම්බන්ධ වෙන්නේ කොහොමද? මෙන්න මේ වගේ ගැටළුත් ඔයාලට ඇති වෙන්න පුළුවන් මේ ගැන අවබෝධයක් නැති නම්.

ඇත්තෙන්ම දමනකයෙක් හැටියට මේහිදී හඳුන්වනු ලැබුවේ පදාර්ථය අවශ්‍ය ආකාරයට හසුරුවිය හැකි අයෙකුටයි. උදාහරණයක් වශයෙන් අපි මැටි භාණ්ඩ තනන්නෙක් ගත්තොත් ඔහු කරන්නේද පොළොවේ ඇති පස්, මැටි වශයෙන් අරගෙන අවශ්‍ය ආකාරයට එහෙ මෙහෙ කර මුට්ටියක්, වළඳක් වැනි මැටි භාණ්ඩයක් නිම කිරීමයි. නමුත් මේ චිත්‍රපටයේ සඳහන් වෙන්නේ නම් මැටි කරුවෙක් ගැන වත්, යන්ත්‍ර සූත්‍ර ආදියෙන් පදාර්ථයේ වෙනස්කම් කළ හැකි උදවිය ගැන වත් නොවේ. ඒ කියන්නේ මානසික ශක්තියෙන් සහ ආධ්‍යාත්මික ශක්තිය යොදාගෙන අවශ්‍ය ආකාරයට පදාර්ථය හැසිරවිය හැකි මිනිස් කොට්ඨාශ කීපයක් ගැනයි.

මේ චිත්‍රපටයේ සඳහන් වෙන ප්‍රධාන පදාර්ථයේ කොටස් හතරක් තියෙනවා. එනම්, වාතය, ජලය, භූමිය සහ ගින්දර වශයෙන්. අපි කවුරුත් මේ දේ අසා තියෙන්නේ පඨවි, ආපෝ, තේජෝ සහ වායු කියන නම් වලින්. ඒ වගේම ලෝකයද මේ එක් එක් පදාර්ථය හැසිරවිය හැකි ජන කොටස් අනුව ජනපද වශයෙන් වෙන් වෙලා තියෙනවා. ඒ කියන්නේ වාතය දමනය කළ හැකි පිරිස් ලෝකයේ වෙනම ප්‍රදේශයකත්, ජලය, භූමිය සහ ගින්දර යනාදී ඉතිරි පදාර්ථ හැසිරවිය හැකි, දමනය කළ හැක්කන් වෙන වෙනම ඊට අදාල ප්‍රදේශ වලත් රාජධානීන් ගොඩ නගා ගෙන තිබෙනවා. නමුත් මේ කථාවේ එන ප්‍රධානතම චරිතය වෙන අවතාර් නම් පුද්ගලයන් හට මේ පදාර්ථ සතරම පාලනය කළ හැකියාවක් තිබෙනවා. නමුත් මුලින් කී රාජධානීන් වල වැසියන්ගෙන් සමහරුන්ට දමනය කළ හැකි වන්නේ තමන්ගේ ජන කොට්ඨාශයට අදාළ පදාර්ථය පමණයි.

අවතාර්වරුන් බොහෝ දෙනා ලොව පහළ වී ඇති අතර මේ කතාවද ඉන් එක් අයෙකු පිළිබඳවයි. විශේෂත්වය නම්, ඔහු ලොව අවසාන වායු දමනකයා වීමයි. මොවුන්ගේ එකම කාර්යය වන්නේ ලෝකයේ සමබරතාවය රැකගෙන නරක කාලයන්හීදී ලෝකයට සාමය උදා කර දීමයි. ගින්දර හෙවත් අග්නි රාජධාණියේ රජුන් ලොව සම්පූර්ණ අධිපතීත්වය, අනෙක් රාජධාණීන් යටත් කොට ගෙන ලබා ගැනීමට දරණ ප්‍රයත්නයක් මේ කතාවට හේතු වෙන තවත් දෙයක්. ඔවුන් ඒ නිසා අවතාර් වරයකුගේ පහළ වීමට කැමැත්තක් නොදැක්වීමත් එවන් අයෙකු ලොව සිටී නම් ඔවුන් විනාශ කර දැමීමත් යන්න ඔවුනගේ අභිප්‍රාය වී ඇත. මන්දයත් අවතාර් වරුන් කිසිවෙකුටත් හිරිහැරයක් සිදු නොකරන, ලෝකයේ යහපත උදෙසා පහළ වූවන් මෙන්ම අසීමිත පදාර්ථ නම්‍යකරණ හැකියාවක් පැවතීම හේතුවෙන් එය බාධාවක් වන හෙයින්.

කෙසේ නමුදු අවතාර්වරයෙකු පුනරුප්පත්තිය ලබන්නේද අවතාර්වරයෙකු ලෙසින්ම වීමත් විශේෂත්වයක්. ඒ වගේම එවැන්නෙකුට තමන්ගේම පෙර භවයන්ගේ අවතාර්වරුන් සමග අදහස් හුවමාරු කළ හැකි අයෙක්ද වේ. අග්නි රාජධාණීන් වායු දමනකයන් අතරේ මීලඟ අවතාර් වරයා පහළ වන බව දැන වායු දමනකයන් සියල්ලම ලෝකයෙන් තුරන් කළද මේ අවතාර්වරයා වායු දමනකයන්ගේ අවසාන පුරුක ලෙසින් වසර සියයක කාලයක් සැඟවී සිට නැවත මතු වෙනවා. ඔහු සතු එකම ගැටළුව වන්නේ තමා ඉගෙන ඇත්තේ වායු දමනය කිරීමට පමණක් වීමයි. මේ කතා මාලාවේ ඇත්තේ ඔහු ඉතිරි පදාර්ථ තුන ඉගෙන ගන්නා ආකාරය පිළිබඳවයි. පොත් තුනක් ලෙසින්ද මෙය ඇත්තේ පළමු පොත ජලය, දෙවන පොත භූමිය සහ තෙවන පොත ගින්දර යනාදී වශයෙන් ඔහු දමනය කරන්නට ඉගෙන ගැනීමට ගුරුවරුන් සොයා යන වීර වික්‍රමයි. ඉන් පළමු පොත අනුසාරයෙනුයි මෙම වසරේ නිකුත් වූ මෙම චිත්‍රපටයද ගොඩ නැගී තියෙන්නේ.

මනෝරම්‍ය පසුබිම් සංගීතයකින්ද සමන්විත මේ චිත්‍රපටයේ බොහෝ ජවනිකා සඳහා මනා ලෙසින් ගැලපෙන දෘශ්‍ය ප්‍රයෝග සහ සංගීතය යොදා තිබීම මේ චිත්‍රපටය සිත් ඇද තබා ගන්නා තවත් කරුණක් වෙනවා. කෙනෙක්ට මේ චිත්‍රපටය බොරුව පදනම් කර ගත්තක් ලෙස හඳුන්වන්නට පුළුවන් වුවත්, මේ දේ ගැඹුරින් සිතා බැලුවොත් මෙහි අඩංගු වන සංකල්පය බොරුවක් නොවෙන බවත් සිතන්නට පුළුවනි. මන්දයත් ආධ්‍යාත්මීය ශක්තියෙන් මෙවන් දැ කළ හැකි උදවිය ලෝකයේ සිටිය හැකි නිසාවෙන්. අපට පෙනෙන ලෝකය වැලි අහුරක් හා සමාන වූවක් බව බුදු රජාණන් වහන්සේගේ දේශනයේත් අඩංගු වීම තවත් වැදගත් කරුණක් වෙනවා.

පවුලේ සැමට නැරඹිය හැකි හොඳ නිර්මාණයක් ලෙසටයි මම මේ ගැන දකින්නේ. ඒ වගේම ඔයාලටත් මේ ගැන කැමැත්තක් ඇති වෙන්නට ඒ සම්බන්ධ වීඩියෝ පට කීපයක් මේ ලිපියේ අවසානයේ පළ කරන්නටත් සිතුවා. ඒ වගේම කාටූන් මාලාව නරඹා නොමැති අයෙක් වේ නම් ඒවා නරඹන්නට අවස්ථාවක්ද මේ ලිපියෙන්ම ඉඩක් කර ගන්නවා.

චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටයක්


චිත්‍රපටයේ අවතාර්වරයාගේ චරිතය හසුරුවන ළමා නළුවාගේ රූගතකිරීම් අතරතුර සහ පුහුණුවීම් සම්බන්ධ වීඩියෝ පටයක්.


කාටූන් මාලාව ලබා ගැනීමට පහත සබැඳි වලට යා හැක.

කාටූන් මාලා තුනම ලබා ගැනීමට මේ සබැඳියට පිවිසෙන්න.
පළමු කාටූන් මාලාව ලබා ගැනීමට මේ සබැඳියට පිවිසෙන්න.
දෙවැනි කාටූන් මාලාව ලබා ගැනීමට මේ සබැඳියට පිවිසෙන්න.
තෙවැනි කාටූන් මාලාව ලබා ගැනීමට මේ සබැඳියට පිවිසෙන්න.

මාසෙක විතර ලොකු නිවාඩුවකින් පස්සෙ ඔන්න මම ආයෙමත් සැරයක් බ්ලොග් එකට අඩිය තිබ්බා අද දවසේ. පරිසරය නම් හරිම සෞම්‍යයි. හැබැයි දිගින් දිගටම වහින නිසා එළියට බහින්නවත් හිතෙන්නේ නෑ. හදිසි වැඩක් යෙදුනත් වැඩේට යන්න වෙන්නේ හොඳටම නා ගෙන නැත්නම් හෙම්බත් වෙලා. ඉතින් ඒ මේ කාලේ හැටි නොවැ. නත්තල් මාසයත් ඇවිල්ලා, ඒ විතරක් නෙවේ 2010 අවුරුද්දත් දන්නෙම නැතුව අවසානෙටම ඇවිල්ලා. තව දවස් කීපයකින් අලුත් අවුරුද්දකට පය තියනවා අපි හැමෝම. හරි හරි ඒ කතා පැත්තකින් තියමුකෝ. දැන් ඉතින් මාසෙක නිවාඩුවකින් පස්සේ මගේ මීලඟ ලිපිය ලියන්න හිතුවේ මේ මාතෘකාවේ සඳහන් වෙන දෙය ගැනයි.

අපි කවුරුත් දැකලා තියෙන දෙයක් තමයි පොදු ප්‍රවාහන රථ වලට ගොඩ වෙන බොහෝමයක් උදවිය අතරේ ඉන්න පාසල් ළමුන් එහෙමත් නැත්නම් මොන්ටිසෝරි ළමුන් එක්කන් යන දෙමාපියන්ව. ඇත්තෙන්ම මේ ළමයින් අත දරුවන්ද කියලා හිතන්නට බැරි තරමට උස් මහත් වෙලා ඉන්න අය. කොටින්ම පාසලේ පළමු වසරේ ඉන්න ළමයෙක් කියන්නේ තනිවම අවිදින්න පුළුවන් කෙනෙක් වෙන්නම එපැයි. ඒ වුනාට පාසල් හරි මොන්ටිසෝරි එහෙමත් නැත්නම් පෙර පාසල් අසලින් බස් වලට ගොඩ වෙන බොහෝමයක් දෙමව්පියන් බස් රථ වලට ගොඩ වෙන්නේ පුංචි දරුවනුත් අරගෙනයි. ඒ කියන්නේ අත දරුවන් නෙවෙයි, හොඳට දුවලා පැනලා ඇවිදින්න පුළුවන් ළමයිනුත් කරේ තියා ගෙන.

සාමාන්‍යයෙන් අපේ ඈයෝ දරුවෙක් වඩාගෙන බස් රථයකට කවුරු හරි ගොඩ වුනොත්, ඒ කෙනා ගැහැණුද පිරිමිද කියලා ලේබල් එකක් නොබලාම ඉන්න තැනකින් නැගිටලා ඒ ආසනේ පිරිනමන එක සිරිතක් වෙලා නේ. ඉතින් මේ විදියට, හරි නම් සිද්ධ විය යුත්තේ කිරි බොන වයසේ අත දරුවන් වඩාගෙන රථයට නගින කෙනෙක් වෙනුවෙන් තමයි. ඒත් ඉතින් ඔය කියන පාසල් ළමුන් හරි පෙර පාසල් ළමුන් හරි කර පින්නාගෙන ගොඩ වෙන දෙමාපියන් ගැනත් අනුකම්පා සහගත සිතුවිල්ලෙන් බලන බොහෝ දෙනා (මාත් ඇතුළුව කැමැත්තෙන් හෝ අකමැත්තෙන් හෝ (කොන්දොස්තර මහතාගේ මැසිවිල්ලෙන් හෝ) ආසනයක් පිරිනමනවා.

ඒ උදවිය බස් රථයකට ගොඩ වෙන්නට පෙරාතුව මොන ආකාරයකින් ඉන්නවාද කියලා අපිට දකින්නට ලැබෙන්නේ නම් නෑ. මොකද බස් රථයට ගොඩ වෙන්නේ දරුවාත් කරේ තියාගෙන නිසා. ඒත් අවසානයට ඔවුන් බස් රියෙන් බැස ගියාට පස්සේ අර කරේ සිටි අත දරුවාත් දෙමාපියන් සමගම යහමින් අවිදන් යන බව නම් දකින්නට ලැබිලා ඇති මට වගේම ඔයාලටත්. බලාගෙන ගියාම අනුකම්පාවෙන් ආසනයක් පිරිනැමුවේ ඇයිද කියලාත් හිතෙනවා. වෙලාවකට හිතෙනවා ඇයි මෙහෙම රවටන්නේ කියලාත්. අනෙක් කිව යුතු කාරණය තමයි මේ දරුවන් එක්ක ඒ දරුවන්ගේ පොත් මලු පවා දෙමාපියන් එල්ලා ගෙන සිටීම. දරුවා කෙසේ වෙතත් එහෙම ඉන්නා දෙමාපියන් වෙනුවෙන් නම් ආසනයක් පිරිනමන එක පිණක් හැටියටත් දකින්නට පුළුවන්.

මෑතකදී මේ වගේ සිද්ධියක් මටත් අත් විඳින්නට සිද්ධ වුනා. කීවාක් වගේම අම්මා කෙනෙක් පළමු වසරේ පමණ පෙනෙන ළමයෙකුත් වඩාගෙනයි බසයට ගොඩ වුනේ. ඒත් එක හොඳකට තිබුනේ පොත් මල්ල තිබුණේ ළමයාගේ කරේමයි. ඒත් ඉතින් පොත් මල්ලේ හැටි දැක්කම ඒක උස්සන් ඉන්න ළමයා ගැනයි, ළමයව වඩන් හිටි අම්මා ගැනයි කණගාටුවකුත් ඇති වෙනවා. මොකද වැඩි බර අම්මාට නිසා.

ඇත්තෙන්ම මේ ලිපියෙන් කියන්නට හැදුවේ එහෙම කවුරු හරි බස් රථයකට ගොඩ වුනාම ආසනයක් දෙන්න එපා කියලා නම් නෙවෙයි. ඒත් දරුවන්ට කුඩා කාලයේ සිටම දැඩි සැප ලබා දෙන්නට දෙමාපියන් වෙහෙසිය යුතු නැති බවයි මගේ හැඟීම. සාමාන්‍ය වචනෙන් කියනවා නම් හුරතල් කිරීම නරකට හිටින්නත් පුළුවන් වෙන නිසා. ඒ නිසා දරුවන්ට තමාගේ වැඩ තනියම කර ගන්නට කුඩා කාලයේදීම හුරු පුරුදු කරොත් හොඳ අනාගතයකුත් දරුවාගෙන් බලාපොරොත්තු වෙන්නට පුළුවන් වේවි.
 

Copyright 2010 tee දුටු ලොව.

මෙහි පළ වී ඇති සියළුම ලිපි වල හිමිකාරීත්වය "TeeRox" වන මා සතුව පවතින අතර, දැනුම් දීමකින් තොරව හෝ අවසරයක් නොමැතිව උපුටා ගැනීම හෝ වෙනත් කටයුතු සඳහා යොදා ගැනීම සපුරා තහනම් බවත්, ඒ සඳහා නීතිමය ක්‍රියාමාර්ග කරා යාමටද හැකියාව ඇති බවත් කරුණාවෙන් සලකන්න.