Wednesday, October 6, 2010

දරු සම්පත කියන්නේ ඕනෑම දෙමාපියෙක්ටම වටිනාම සම්පතක්. ඒකේ වටිනාකම කියා නිම කරන්නටත් බැරි තරම්. ඒක එහෙම වුනත් දරු සම්පත අසම්පතක් වෙන දෙමාපියනුත් සමාජයේ දකින්නට ලැබෙනවා. මේ ලෝකයේ උපත ලබන්නට බලා සිටින දරුවන් පවා ලෝකයෙන් තුරන් කරන දෙමාපියන් මේ ලෝකයේ අනන්ත අප්‍රමාණව සිටිනවා. වැඩි දුරක් ගැන හිතනවට වඩා මේ ලංකාවේම ඒ වගේ පිරිස් දකින්නට ලැබෙනවා. දුගී දුප්පත් කම නිසාවෙන් හෝ වේවා, අසරණ කම නිසා හෝ වේවා, ලැජ්ජාව නිසාවෙන් පුංචි දරුවන්ගේ ගෙල සිඳින්නට මව් පියවරු උත්සාහ ගන්නේ මොන තරම් නම් පාපිෂ්ඨ සිතුවිල්ලක් හිතැ'තිවද කියලා වෙලාවකට සිතෙනවා.

කාමය වරදවා හැසිරීම කියන සිල් පදය බිඳ හෙලීම මේ වගේ දරුවන්ගේ ජීවිතය නැති වන්නට එක් කාරණාවක් වෙනවා. කාන්තාවක් තම සැමියාගෙන් පරිබාහිරව වෙනත් පුරුෂයෙක් සමග සම්බන්ධ වීම හෝ පුරුෂයෙකු තම බිරිඳගෙන් පරිබාහිරව වෙනත් කාන්තාවක් සමග සම්බන්ධ වීම මේ කාමය වරදවා හැසිරීමට ගැනෙන ප්‍රධාන කාරණාවක්. යමෙක් ඒ විදියෙන් ලබන කායික තෘප්තිය ඒ මොහොතේදී පමණක් ලබනවා කියලා සිතන්නට අමාරුයි. මන්දයත් ඒ මානසිකත්වය ඉතාමත් දූෂිත සිතුවිලි සමුදායක් නිරන්තරයෙන් තමන්ගේ සිතට අරමුණු ඇති කරවීමයි. ඒ කොහොම වෙතත් ඉන් අනියමාකාරයෙන් ඇතිවන ප්‍රතිඵලය ජීවිතයත් මරණයත් අතර පොර බදින්නට සිදු වෙන දරුවෙකු විය හැකියි.

ඒ කරුණ පැත්තකින් තිබ්බොත් මේ මොන යම් හැසිරීමකින් හෝ උපත ලබන දරුවන්ගේ ජීවිත වලට වග කියනුයේත් ඒ ඒ කාන්තාවන් සහ පුරුෂයන් විසින්මයි. ඒත් දරුවෙකුට උපත ලබා දෙන එක මොන තරම් අපහසු කාරණාවක්ද කියලා නිකමටවත් හිතලා නැතිව ඇති.

සමහර දෙනෙක් දේව ඇදහීම් හෝ ආගම් විශ්වාස කරනවා වෙන්නට පුළුවනි. ඒ බොහෝමයක් ආගම් වල සර්ව බලධාරී දේව මූලික ඉගැන්වීමක් තමයි සිදු කෙරෙන්නේ. සියල්ල මැවූ සහ මවන එකම තැනැත්තා දෙවියන් බවයි ඒවායේ සඳහන් කෙරෙන්නේ. එහෙම නම්, දෙවියන් වහන්සේ ගැහැණියකගේ කුසෙහි දරුවෙකු ඇති කරනවා නම් ඒ දරුවා දෙවියන් විසින් මවන ලද්දක් විය යුතුයි. ඒත් අද සමාජයේ වාසය කරන එවන් කාන්තාවන් දෙවියන් වහන්සේ එසේ මැවූ දරුවන් කී දාහක් නම් තමන්ගේ කුසෙන් ඇද එළියට දානවාද කියලා හිතලා තියෙනවද? නැහැ නේද? දෙවියන් දුන් දෙයක් කුසෙන් ඇද විසික් කරන්නට පුළුවන් කමකුත් තියෙන්නට බෑ නේද? එහෙම නම් දෙවියන්ගේ මැවීම් විනාශ කරන අයෙකුට දෙවියන්ගේ දඬුවම් ලැබිය යුතුමයි නේද?

දෙවියන් වහන්සේ දරුවන් ලබා දෙනවා නම්, දෙමාපියන්ගේ එකතු වීමක් ඇත්තෙන්ම අවශ්‍ය වෙන්නේ නැති තරම්. ඒක එහෙම නම්, ඕනෑම කෙනෙකුට දරු සම්පතක් ලබන්න හැකියාවක් තියෙන්නට ඕනේ. එහෙම නම් අනිවාර්යෙන්ම දරුවෙක් ලබන්නට දෙමාපියන්ගේ එකතු වීමක් තිබිය යුතු බව පැහැදිලි කරුණක් වෙනවා. එකතු වීම විදියට අදහස් කරන්නේ ලිංගිකව එකතු වීමෙන් සිදු වෙන සංසිද්ධීන් හා අභ්‍යන්තරිකව ඉන් පසුව සිදු වෙන ක්‍රියාදාමයනුයි. ඒ එකතු වීමෙන් විතරක් ම දරුවෙකු ලබන්නට හැකියාවක් නෑ. මන්දයත් ඒ මව ඊට සුදුසු කාලයක සිටිය යුතු වීමයි. ඒ කරුණ සම්පූර්ණ වූවත් විඥ්ඥාණයක් මව් කුසේ ඇති නොවුනෝතින් අළුත් ජීවයක් එතන හට ගන්නේ නෑ. ඇත්තටම මොකද්ද මේ විඥ්ඥාණය කියන්නේ?

මේ විඥ්ඥාණය හැම සත්ත්වයෙක් සතුවම පවතින දෙයක්. එහෙම නම් අන්න ඒ විඥ්ඥාණය මව් කුසක ඇති වෙන්නට, තවත් සත්ත්වයෙක් මරණයට පත්ව රූපය අත් හැරිය යුතුයි. මේකෙන් කියන්නේ මෙහෙම දෙයක්. සත්ත්වයෙකු සතුව නාම සහ රූප යනුවෙන් කොටස් දෙකක් තියෙනවා. නාම යටතට ගැනෙන්නේ වේදනා, සංඥා, සංකාර සහ විඥ්ඥාණ කියන හතරයි. මේවා රූපයක් සමග බැඳී ඇති නිසා සත්ත්වයෙකු නිර්මාණය වෙනවා. රූපයෙන් නාමය වෙන් වූ කළ මරණය සිද්ධ වෙනවා. ඒ නාමයට අඩංගු විඥ්ඥාණය තමයි මරණ මොහෝතේදී හිතේ ඇති වුණු අරමුණු අනුව ඒ අරමුණු වලට ගැලපෙන මව් කුසක හට ගන්නේ.

හිතන්න යම් පුද්ගලයෙක් තමන්ගේ ජීවිත කාලය පුරාවටම ගොනෙකු මෙන් සිතන්නේ මතන්නේ නැතිව කටයුතු කරනවාය කියලා. ඔහු තමන්ගේ ජීවිතේදී කරන බොහෝමයක් වැඩ කරන්නේ ඒ සතාගේ ආකාරයටමයි. ඒ නිසා සිතේ ඇති වෙන අරමුණු සියල්ලම පාහේ ගොනෙකුගේ වාගෙයි සිද්ධ වෙන්නේ. ඔහු මිය යන්නේ යම් මොහොතකද, ඒ මොහොතේත් තමන් පුරුදු කළ ගොං පිළිවෙත් වලට අනුකූලව හිත අරමුණු වෙලා තියෙනා නිසාවෙන් මරණින් පසුව විඥ්ඥාණය එළදෙනෙකුගේ කුසේ එළ්බ ගැනීම සිද්ධ වෙනවා. ඒ නිසා වසු පටවෙකුගේ ප්‍රතිසන්ධිය එහෙමත් නැති නම් උප්පත්තිය සිද්ධ වෙනවා. තමන් පුරුදු පුහුණු කරනා යම් ආකාරයක් වෙනවා නම් ඒක මරණ මොහොතේදී මීළඟ භවය මොන ආකාරය ගත යුත්තක්ද කියන එක තීරණය වෙන්නට බෙහෙවින්ම උපකාරී වෙනවා. ඒ නිසා සිහියෙන් මිය යා යුතුයි.

ඔය හරිම සරල විදියට දරුවෙකුගේ උපත විස්තර කරන්න පුළුවන් විදියක්. බුදු දහමේදී ගැඹුරට යද්දී මීට වඩා සවිස්තරාත්මක පැහැදිලි කිරීම් හමු වේවි. කුස පිළිසිඳ ගන්නා දරුවෙකුගේ උප්පත්තිය දරුවෙකු කුසෙන් මරා එළියට විසි කරන්නාක් තරම් පහසු නොවෙන බවත් තේරුම් ගන්නට ඕනේ කාරණාවක්. දෙවියන් වහන්සේ විසින් මවන ලද්දක් ලෝකයේ තියෙනවා නම් මේ ලෝකයේ මව් පියන්ගේ අවශ්‍යතාවක් නැතිවම දරුවන් උපත ලබන්නට හැකියාවක් ඇති විය යුතු නමුත් මව්පියන් මේ ලෝකයේ හට ගෙන තිබීමෙන් පැහැදිලි වන්නේ දෙවියන්ටත් දරුවන් මැවීමට උදව් කරන්නේ මව්පියන් බවයි. දෙවියන්ටත් වඩා ඒ උතුම් මා පිය ගුණය රකින මව් පියවරු සමාජයේ තව තවත් ඇති විය යුතුයි.

0 පාඨක අදහස් | Comments:

Post a Comment

 

Copyright 2010 tee දුටු ලොව.

මෙහි පළ වී ඇති සියළුම ලිපි වල හිමිකාරීත්වය "TeeRox" වන මා සතුව පවතින අතර, දැනුම් දීමකින් තොරව හෝ අවසරයක් නොමැතිව උපුටා ගැනීම හෝ වෙනත් කටයුතු සඳහා යොදා ගැනීම සපුරා තහනම් බවත්, ඒ සඳහා නීතිමය ක්‍රියාමාර්ග කරා යාමටද හැකියාව ඇති බවත් කරුණාවෙන් සලකන්න.