Tuesday, October 5, 2010

ඕනෑම ආගමක් අදහන පුද්ගලයෙක් අධ්‍යාපනය ලබනා කාලය තුලදී අනිවාර්යෙන්ම යා යුතු තැනක් තමයි දහම් පාසල කියන්නේ. ඒත් අද කාලයේ ළමයින්ගෙන් කීයෙන් කී දෙනාටද දහම් පාසල් අධ්‍යාපනයක් ලබන්නට ඉඩක් කඩක් ලැබෙන්නේ. මේ ගැන සලකා බලන කොට ඉතින් බොහෝමයක් වෙලාවට දහම් පාසල් අධ්‍යාපනය ලබන්න තියෙන ලොකුම බාධකය ළමයින්ගේ ආගමට දහමට වැඩි රුචියක් නොතිබීමත්, උපකාරක පංති වල බලපෑමත් නිසාවෙන්. තව දෙයක් කියන්නට ඕනේ. දෙමාපියන්ටත් මේ සම්බන්ධයෙන් දෝශාරෝපණයක් එල්ල කරන්නට සිද්ධ වෙනවා. මොකද දරුවෙකුගේ ආධ්‍යාත්මික ගුණ වගාව වෙනුවෙන් කුඩා කළම ගත යුතු තීරණයක් විදියට දරුවෙක්ව දහම් පාසල් අධ්‍යාපනයට යොමු නොකිරීමත් තවත් හේතුවක් විදියට පෙන්වන්නට පුළුවන් හින්දා.

දහම් පාසල අදාළ වෙන්නේ බෞද්ධ දරුවන්ට විතරක්ම නෙවෙයි. මම දන්න හැටියට මුස්ලිම් දහමේත්, පල්ලි මගින් ඉරිදා දින වලදී දහම් පාසල් පවත්වනවා. ඒවා සමහර විට ගුරුවරුන් නිවෙස් වලටම ගිහින් කරනා ධර්මය ඉගැන්වීමක්, ඒ වගේම කුරාණය කියවන්නට හුරු කිරීමක් ද වෙනවා.

මේ ලිපිය ලියැවෙන්නේ අපේ දහම් පාසල් ගැනයි. ඒ කියන්නේ සමාජයේ වැඩිපුරම දකින්නට ලැබෙන බෞද්ධ දහම් පාසල් ක්‍රමය ගැනයි. ඉරිදා දින වලදී පැවැත්වෙන මේවාට බොහෝ සිසු දරුවන් පිරිසක් සහභාගී වෙනවා දකින්නටත් පුළුවන්. නමුත් මේ දහම් පාසල් වලට යාමෙන්ම දහම් පාසලකින් සිද්ධ වෙන්නට ඕනෑ කරන වැඩ කටයුතු සිද්ධ වෙනවාද කියන එක ටිකක් සැක සහිතයි.

මමත් දහම් පාසල් අධ්‍යාපනය අවසාන කළ අයෙක්. ඒ දෙවෙනි ශ්‍රේණියෙන් ආරම්භ කරපු දහම් පාසල් අධ්‍යාපන ගමන අවසන් කරේ අවසාන ශ්‍රේණියේ දහම් පාසල් අවසාන විභාගයට මුහුණ දීමෙන් අනතුරුවයි. මේ විභාගය දහම් පාසල් ජීවිතයේදී නම් සාමාන්‍ය පෙළ විභාගය හා සමාන දෙයක්.

අද බොහෝමයක් දහම් පාසල් වල විශය අනුබද්ධ ඉගැන්වීම් වලට අමතරව බෙහෙවින්ම තියෙන්නේ විශය පරිබාහිර ක්‍රියාකාරකම් රාශියක්. මාසික සභා රැස්වීම්, කලා උළෙලවල්, ශිෂ්‍ය නායක දින, ත්‍යාග ප්‍රධානෝත්සව සහ වාර්ෂිකව පවත්වන තරඟ සහ විභාග. මේවායින් වාර විභාග කියන දේවල් හැරෙන්නට අනිත් සියළුම දේවල් ලෞකික තෘප්තිය වැඩි කරවන, නැටුම් ගැයුම් වැයුම් සහ හැල හැප්පීම් වලින් යුතු ක්‍රියාකාරකම්. ඇත්තෙන්ම දහම් පාසලකින් සිද්ධ විය යුතු ධර්මාවබෝධය ලබා දීම නිසි ආකාරයෙන්ම මේ හරහා සිද්ධ වෙනවාද කියන එක තමයි ලොකුම ගැටළුව.

මාසික සභා රැස්වීම් වලදී පැවැත්වෙන ගී ගැ‍යීම්, නර්තන ඉදිරිපත් කිර්‍රිම් වගේම නාට්‍ය පෙන්වීම ඇත්තෙන්ම දහම් පාසලකට අදාළ නොවන කාරණා කීපයක්. මහා සභා රැස්වීමකින් සිදුවිය යුත්තේ ගැටළු නිරාකරණය කර ගැනීම් වැනි දේ වුනත් අද ඒ දේ සිද්ධ වෙන්නේ රැස්වීමක අමතර අංගයක් හා සමානවයි. කාලයෙන් කාලයට පැවැත්වෙන තරඟ තවත් එක්තරා අනවශ්‍ය දෙයක්. පාසල් ජීවිතයේදී දරුවන් මුහුණ දෙන තරඟකාරී ලෝකය දහම් පාසල් ජීවිතයේදීත් විඳින්නට සිද්ධ වීමෙන් එකිනෙකා අතර ඇති වෙන ගැටීම්, වෛරය සංසිඳවන, ගැටුම් වළකන දහම් පාසල නැමැති ස්ථානයේත් ඇති වෙලා තියෙනවා. මේ දේවල් වලට බොහොම දීර්ඝ ඉතිහාසයකුත් තියෙනවා.

මේ සියළු විකාර වලින් තොරව ගැඹුරු දහම් කරුණු මෙන්ම විශයානුබද්ධව සහ විශය නිර්දේශයට අනුකූල වෙමින් ඉගැන්වීම් කටයුතු සිද්ධ කෙරෙන එකම දහම් පාසලක් ගැන මට අසන්නට ලැබිලා තියෙනවා. ඒ දහම් පාසල සිසු දරු දැරියන් අති විශාල ප්‍රමාණයක් දහම් දැනුමෙන් ස්වයංපෝෂිත කරනා මහරගම ප්‍රදේශයේ සිරි වජිරඥාණ ධර්මායතනයේ පැවැත්වෙන දහම් පාසලයි. මේ වගේම තවත් දහම් පාසල් සමාජයේ පවතින්නට පුළුවන්. නමුත් සොයා ගන්නට, නැතිනම් හඳුනා ගැනීමට අපහසුයි. මම තවමත් කණගාටු වෙන එක දෙයක් තමයි ඒ දහම් පාසලෙන් ධර්මය ඉගෙනීමට හැකියාවක් නොලැබී යාම. ඒ පිළිබඳව දැන ගන්නට පවා ලැබුනේ අවසාන විභාගයෙන් අනතුරුව වීම තවත් දෙයක්.

බුදු දහම පිළිබඳව පාසලෙන් බෞද්ධ දරුවෙකුට ලැබෙන දැනුමෙන් එහා ගිය අති විශාල දැනුම් සම්භාරයක් දහම් පාසලක් හරහා දරුවෙකුගේ ජීවිතයට එකතු වෙනවා. සමාජයේ පවතින විවිධ ගැටළු වලට බොහෝ විට කුඩා කාලයේ ඉඳලාම ලබන දහම් පාසල් අධ්‍යාපනය ඉතාමත් වැදගත් වෙනවා. නමුත් ඒ අධ්‍යාපනය හරවත් මෙන්ම ධර්මඥාණය වඩවන දෙයක් වෙනවා නම් සමාජයේ සදාචාර වර්ධනයටත්, බොහෝ විට දුරාචාර උපුටා දැමීමටත් හේතු වෙන්නට පුළුවන්. ඒ නිසා මින් මතුවටවත් අපේ මතු පරම්පරාවේ පුරුක් නිවැරදි, විකාර වලින් තොර වුනු හරවත් දහම් පාසලක් වෙත යොමු කරනවා නම් මතු පරම්පරාවේ අනාගත දර්ශනය මීට වඩා යහපත් වෙනවා නො අනුමානයි.

0 පාඨක අදහස් | Comments:

Post a Comment

 

Copyright 2010 tee දුටු ලොව.

මෙහි පළ වී ඇති සියළුම ලිපි වල හිමිකාරීත්වය "TeeRox" වන මා සතුව පවතින අතර, දැනුම් දීමකින් තොරව හෝ අවසරයක් නොමැතිව උපුටා ගැනීම හෝ වෙනත් කටයුතු සඳහා යොදා ගැනීම සපුරා තහනම් බවත්, ඒ සඳහා නීතිමය ක්‍රියාමාර්ග කරා යාමටද හැකියාව ඇති බවත් කරුණාවෙන් සලකන්න.