Sunday, June 27, 2010

මේ කතාව මට මේ ඊයෙ පෙරේදා සිද්ධ වුණු වරදක් ගැන. ඇත්තටම රැවටීමක් කියලා කියන්නත් පුළුවන්. ඊටත් වඩා යාළුකමක් පළුදු වීමක්. ඒ වගේ දේවල් ඉතින් කාටද සිද්ධ වෙන්න බැරි නේද?

අන්තර්ජාලයෙන් මුණ ගැහුණ මගේ හොඳම යාළුවෙක් හිටියා. හැබැයි කවදාවත් මූණට මූණ මුණ ගැහිලා තිබුනෙ නෑ. ඉතින් මිනිහාත් හරි හොඳ පුද්ගලයෙක් කියලයි මට තේරුණේ. මොකද හැමදාම බුදුන් වඳින, හරිම නිස්කලංක පුද්ගලයෙක්.

එයා පදිංචි වෙලා ඉන්නේ ලංකාවේ නම් නෙවෙයි. ඕස්ට්‍රේලියාවේ. කොහොමෙන් කොහොම හරි හොඳ යාළුවෝ වගේ හිටියාය කියමුකො. මෙයා මගේ තවත් යාළුවෙක්ගේ යාළුවෙක්. ඒත් ඉතින් කවුද දන්නේ පොරොන්දු කඩ කරන මනුස්සයෙක් කියලා?

අපි දෙන්නම ඉතින් කොල්ලෝ නිසාත්, යාළුකම නිසාත් මිනිහාට මගේ පුද්ගලික ප්‍රෂ්ණයක් ගැන කීවා. වෙන මුකුත් නෙවෙයි ආදර හුටපටයක් ගැන. හැබැයි කාටවත් නොකියන පොරොන්දුව පිට. හරි කිව්වාය කියලා හිතමුකෝ.

ඔන්න දවසකුත් ගත වුනා ඒ ගැන මිනිහාට කියලා. මෙන්න අර අනික් යාළුවා, ඒ කියන්නේ අර මා එක්කත් යාළු, අර ඕස්ට්‍රේලියාවේ ඉන්න යාළුවාත් අඳුනන යාළුවා මගෙන් හදිසියේම මුහුණුපොතේ චැට් එකෙන් අහනවා අර මම
ඕස්ට්‍රේලියාවේ යාළුවාට කීව දේ ගැන. මම තුෂ්නිම්භූත වුණා ඒක අහලා. ඒත් එක්කම මම අනිත් අතට කරපු වැඩේ තමයි සදාකාලික සමුදීමක් ගැන ලියලා අර ඕස්ට්‍රේලියාවේ යාළුවාට විද්‍යුත් ලිපියක් යැව්ව එක.

කව්රු
කව්රුත් පරිස්සම් වෙන්න ඕනෙ ඔය හොඳ මූණු, හොඳ චර්යාවන් පෙන්නලා අන්තර්ජාලෙන් අපිත් එක්ක යාළු වෙන අය ගැන. එයාලා එක එක විදියේ කතා කියලා මිනිස්සුන්ගේ හිත දිනා ගෙන යාළු කමින් අයුතු ප්‍රයෝජන එහෙමත් ගන්න තාක් කල් අපි දන්නේ නෑ අපිට එහෙමත් දෙයක් වුනාවත්ද කියලා. ඒ නිසා ඔන්න පරිස්සමින්...
මගේ හොඳම යාළුවාට සිද්ධ වුණු ඇබැද්දියක් ගැන තමයි මේ කියන්න යන්නේ. ඇත්තටම මේ වගේ අසාධාරණ කම් සිද්ධ වෙනවද කියලත් හිතෙනවා. ඒත් ඉතින් මේ විසි එක් වෙනි සියවස නේ. නොවී තිබුණොත් තමයි පුදුමෙ.

මෙන්න මේකයි කතාව. මගේ හොඳම යාළුවාගේ විශ්ව විද්‍යාලයේ එයාගේ අවසාන වාරයේ විභාග ළඟයි. ඉතින් පැමිණීම අනිවාර්යෙන් සියයට 80% ක් තියෙන්න ඕනෙලු. ඔන්න ඉතින් මගේ යාළුවා දවසක් දේශනයකට සහභාගී වෙලා එයාට අමතක වෙලා නම් ලයිස්තුවට අත්සන් කරන්න. මොකද මිනිහා දේශක කථිකාචාර්ය වරයත් එක්ක කතා කරද්දි තමයි මිනිහට ලයිස්තුව මග හැරිලා තියෙන්නේ. ඔය හේතුව නිසා මිනිහගෙ 80% පැනලා. ඒ හේතුවෙන් මිනිහාගේ අවසාන ව්‍යාපෘතියේ අධීක්ෂණ කටයුත්ත කරන අධීක්ෂක ගුරුවරිය මිනිහාට අවසාන පළමු වන විභාගේ ලියන්න අවසර දෙන්නේ නැතිලු. පව් වැඩේ. හොඳට ඉගෙන ගන්න පුළුවන් කෙනෙක්ට වල කපපු නිසා.

ඒ ටික කියෙව්වාම නම් කාටත් හිතේවි 80% ක පැමිණීම අඩු වුණ නිසාය විභාගෙ ලියන්න ඉඩ දුන්නේ නැත්තේ කියලා. ඒත් කතා කරලා හරි ඒ දේ වෙනස් කර ගන්න පුළුවන් කම තියෙනවා නේ. ඉතින් මගේ යාළුවා වෙනත් කථිකාචාරයවරුන්ගෙන් උදව් ඉල්ලලා තියෙනවා. එයාලා නම් ඉඩ දීලා තියෙනව ඒකට ලියන්න. ඒත් අර අධීක්ෂක තුමිය තමයි ඉඩක් දෙන්නේම නැත්තේ. හේතුව මෙන්න මේකයි.

මගේ යාළුවා ටිකක් ඇහැට කනට පේන කඩවසම් යාළුවෙක්. විශ්ව විද්‍යාලයේදී නම් කෙල්ලන්ගෙන් මෙයාට අඩුවක් නම් නෑ. ඒ වගේමයි මෙයා කෙල්ලො දෙතුන් දෙනෙක් එක්කම යාළුකම් තිබිලා තියෙනවා. ඒත් ඒවා ආදර සම්බන්ධතා එහෙම නෙවෙයි. නිකම් හොඳ ඇයි හොඳැයියක්. ඒ වගේමයි මගේ යාළුවා නිතර කතා බහ කරන්නේ වෙනත් කථිකාචාර්ය වරුන් එක්ක. ඒ අය එක්ක ගොඩක් සුහදයි මිනිහා. අර අධීක්ෂක තුමිය එක්ක වැඩිය කතා බහක් සිද්ධ වෙන්නේ කලාතුරකින්ලු ව්‍යාපෘතියේ වැඩට හැරුනම. යාළුවා කියන විදියට ඒ අධීක්ෂක තුමියට ඕනෙ ඉන්න ලස්සනම පිරිමි ළමයින් ටික එයත් එක්ක කතා කරනවටලු. ඒ වගේමයි වෙන ගෑනු ළමයින් එක්ක කතා කරනවට අකමැතියිලු. අනිත් දේ, එහෙම කතා කරන පිරිමි ළමයින්ට ලොකු ලොකු දඬුවම් එහෙමත් දෙනවලු. එහෙම පරන කතාවකුත් මිනිහා දැන ගෙන.

ඒ හොයා ගත්තු සිද්ධිය පීඨාධිපති තුමන්ට ලියුමකින් දැනුම් දෙන්න හැදුවාම අර අධීක්ෂක තුමිය පිංසෙන්ඩු වෙනවලු. හැබැයි මිනිහා ඒක දීලා නෑ තවමත්. මොකද තමන්ගේ ව්‍යාපෘතියේ අධීක්ෂකතුමිය නිසා. බැරි වෙලාවත් තරහට අසමත් කෙරෙව්වොත් හෙම? අර නිකන් කියමනක් තියෙන්නේ උණු නිසා බොන්න බෑ කිරි නිසා අහක දාන්නත් බෑ කියලා. අන්න ඒ වගේ.

ඔන්න ඔය හේතුව නිසා මිනිහට විභාගේ ලියන්න ලැබෙන්නේ නෑ. කොහොමෙන් කොහොම හරි පළමු පංතියේ උපාධියකට යන්න තිබුණු අවස්ථාව මග හැරෙයි කියලා මිනිහා බයෙන් ඉන්නේ. ඒත් ආයෙත් ලියන්න පුළුවන්ලු දෙවෙනි වතාවට.

මෙහෙමත් කලක් ගිහින් අද අපේ රටේ අධ්‍යාපනේට. බලන් ගියාම ගෑනු හපන් පිරිමින්ට වඩා.
 

Copyright 2010 tee දුටු ලොව.

මෙහි පළ වී ඇති සියළුම ලිපි වල හිමිකාරීත්වය "TeeRox" වන මා සතුව පවතින අතර, දැනුම් දීමකින් තොරව හෝ අවසරයක් නොමැතිව උපුටා ගැනීම හෝ වෙනත් කටයුතු සඳහා යොදා ගැනීම සපුරා තහනම් බවත්, ඒ සඳහා නීතිමය ක්‍රියාමාර්ග කරා යාමටද හැකියාව ඇති බවත් කරුණාවෙන් සලකන්න.