Sunday, September 12, 2010

කටු ජාති එක එක විදියෙන් තියෙනවා. හැට්ට කටු, කොණ්ඩ කටු, වීදුරු කටු, බෝතල් කටු, එන්නත් කටු වගේ. මේ මොන කටුව වුනත් ඇඟේ ඇනුනොත් රිදෙනවා නේ. රිදෙනවා විතරක් නෙවෙයි සමහරු මරලතෝනි දෙනවා. විශේෂයෙන්ම එන්නත් දෙන කොට එහෙම ලොකු කුඩා භේදයකින් තොරව කෑ ගහන අවස්ථාත් දකින්නට තියෙනවනේ. මේ කියන්නට යන දේ ඔය කියපු කටු ගැන කියන කතාවක් නම් නෙවෙයි. ජීවිතේට අවදානමක් ලං කරන්න පුළුවන් දෙයක් ගැනයි. සමහර විට ඔයාලා මේ ගැන අහලාත් ඇති, දන්නවාත් ඇති.

මේක මාරාන්තික රෝගයක් ගැන කියන්න යන කතාවක්. කටුත් එක්ක සම්බන්ධ වෙන බොහෝ වෙලාවට අහලා තියෙන මාරාන්තික රෝගය තමයි ඉතින් ඒඩ්ස් රෝගය කියන්නේ. මොකද බෝ වෙන විදිය වෙන්න පුළුවන් එක විදියක් තමයි ආසාධිතයෙක්ගේ රුධිරය ඒ කියන්නේ ලේ නිරෝගී කෙනෙක්ගේ ශරීරයට යාම නිසාවෙන්. ඔය දේ නම් සිද්ධ වෙන්න පුළුවන් ආකාර ගොඩාක් තියෙන්න පුළුවන්. කටු වලින් විතරක් නෙවෙයි ඉතින්. බ්ලේඩ් තල වලිනුත් සිද්ධ වෙන්න පුළුවන්.

ඒත් මේ ලිපියේ මාතෘකාවට අදාල පස්ස පැත්තේ කටු ඇනීම ගැන නම් හැමෝම අවබෝධයක් ලද යුතුමයි. මොකද මේ දේ ගැන ගොඩක් දෙනා දන්නේ නැහැ. ඒ නිසාම අවාසනාවන්ත විදියට ජීවිතේ නැති කර ගන්නවා. වෙන මුකුත් නිසා නෙවෙයි, නොසැල්ලකිල්ලත්, මේ වගේ දේවල් සිද්ධ වෙන බව නොදන්නා කමත් නිසාවෙන්.

මේ කටු නිකන්ම කටු නෙවෙයි විෂ කටු. විෂ කටු කීවට ඒඩ්ස් ආසාදිතයන් ඔවුන් විසින්ම ඔවුන්ගේ ශරීරෙන් කටු වල තවරපු රුධිරය සහිත කටු. කොණ්ඩ කටු හරි ඇල්පෙනෙති වගේ දේවල් තමයි. මේ කටු තවත් කෙනෙක්ගේ ඇඟේ ඇනුනොත් හරි මේවායෙන් සීරුනොත් හරි තමයි ඒඩ්ස් රෝගය ආසාදනය වෙන්නේ. ඒ සිද්ධ වෙන්නේ මෙන්න මෙහෙම. කවදාවත් මේ දේ ගැන හිතලා තියෙනවද කියලා පොඩ්ඩක් හිතා බලන්නකෝ.

අපි චිත්‍රපට බලන්නට සිනමා ශාලා වලට ගියාම ඒවායේ මෙන්න මේ වගේ කටු තියෙනවා කියලා ඔයාලා දන්නවාද? සමහර විට නැතුව ඇති. ගොඩක් වෙලාවට මේවා තියෙන්නේ ඉඳ ගන්න පුටු වලට සම්බන්ධ කරලායි. ඒවා කරන්නේ ඒඩ්ස් ආසධිතයන් විසින්මයි. මොකද ඒ අයට අහිමි ජීවිතයට හොඳින් ඉන්න මිනිසුන්ගෙන් ඔවුනට පලි ගැනීමට ඔවුන්ගේ මානසිකත්වය වෙනස් වී ඇති නිසාවෙන්. සිනමා ශාලාවලට ගිය සමහර දෙනාට මේ වගේ අවාසනාවන්ත විදියට ඒඩ්ස් ආසාධිතයන් වෙන්නට සිද්ධ වුනු ආකාර ගැන මම පුවත් පතකින් කියෙව්වා. ඒ මේ ලංකාවේම ප්‍රසිද්ධ සිනමා ශාලා වල.

ඔය ගැන දැනන් හිටියත් කවදාවත් සිනමා ශාලාවකට ගියාම ඉඳ ගන්නට කලින් අත පත ගාලා ඉඳ ගන්න මතක් වෙලාවත් නැතුව ඇටි සමහර විට. ඒ වගේමයි චිත්‍රපටය නරඹන්න පරක්කු වෙලා ශාලාවට ඇතුල් වුනොත් හදිසිය නිසාම ලැබෙන අසුනක ඉඳ ගන්න කොටත් ටිකක් හොයා බලන්න පුරුදු වෙන්න වේවි. මොකද චිත්‍රපටයෙන් මග හැරෙන පුංචි කොටසකට වඩා ඒ සුළු වෙලාව ඇතුලතදී ජීවිතයෙන් ගෙවන්නට සිද්ධ වෙන වන්දිය කවදාවත් මකන්නට බැරි නිසාවෙන්.

"ඒඩ්ස් මාරයාගේ ලෝකයට ඔබව සාදරයෙන් පිළිගන්නවා" කියලා කොල කැබැල්ලක ලියපු කටුවක් එහෙම පොදු ස්ථානයකින් හම්බ වුනොත් ටිකක් පරිස්සම් වෙන්න වේවි. බස් වල, සිනමා ශාලා වල සහ පොදු ස්ථාන වලත් මේ වගේ දේවල් තියෙන්නට පුළුවන්. ඒ වගේම කොණ්ඩේ කපන්නට බාබර් සාප්පු වලට ගියාම දැලි පිහියකින් කෙස් කොට කපද්දී අනිවාර්යෙන්ම අළුත් බ්ලේඩ් තලයක් පාවිච්චි කරන්න කියන්නත් අමතක කරන්නට එපා. ඒක අපේ මානව අයිතිවාසිකමක්. මොකද බ්ලේඩ් තලේකින් කෙස් කොට කපද්දී බොහෝ විට හමත් තුවාල වෙන්න පුළුවන් නිසාවෙන් අපිට කලින් ඒ බ්ලේඩ් තලය පාවිච්චි කරපු පුද්ගලයා ඒඩ්ස් රෝගියෙක් වුනොත් ඒක අපේ ජීවිතේට අවදානමක් වෙන්න පුළුවන් නිසා.

ඒ වගේ කටු ඔයාලා කාගේවත් පස්සවල් වල කවමදාවත් ඇනෙන්නට එපාය කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඒ ප්‍රාර්ථනාව එහෙම වුනත් ඔයාලා මින් ඉදිරියට කොහේ ගියත් ඉඳ ගන්නට කලින් ආසනය අත පත ගාලා බලලා ඉඳ ගන්නට මතක තියා ගත්තොත් ජීවිතේ සතුටින් ඉදිරියටත් ගත කරන්නට පුළුවන් වේවි.

Tuesday, September 7, 2010

සීවලී මහ රහතන් වහන්සේ බුද්ධ ශාසනයේ ප්‍රත්‍යලාභීන් අතරින් අග තැන්පත් රහතන් වහන්සේ නමක් බව බොහෝමයක් දෙනා දන්නා කාරණාවක්. මේ හේතුව නිසාම බුද්ධ ප්‍රමුඛ මහා සංඝයා අතරේ උන් වහන්සේ වැඩ හිඳීමෙන් මුළු සංඝයා වහන්සේලාටම දාන මාන කටයුතු වලින් කිසිදු අඩුවක් සිදු වෙලා නෑ. මෙන්න මේ කාරණාව නිසා සීවලී මහ රහතන් වහන්සේ බෞද්ධයන් වශයෙන් බොහෝ දෙනාගේ ගෞරවයට පාත්‍ර වන භික්ෂුවක් බව අමුතුවෙන් සඳහන් කළ යුතු නෑ.

මේ අපි දන්නා ශාසන ඉතිහාසයේ එන උන්වහන්සේගේ ගුණ ප්‍රකාශ වෙන අවස්ථාවක්. නමුත් මේ ගුණය පෙරටු කරගෙන අද අපේ බෞද්ධ ජනතාව කරන්නේ කුමක්දෝ කියා සිතා ගන්නට අමාරුයි. මන්දයත් ආහාර පාන ලැබීමේ ආශාවෙන් හෝ භව භෝග නොඅඩුව ලැබීමේ බලාපොරොත්තුවෙන් සීවලී මහ රහතන් වහන්සේගේ රූපයට කරනා ගෞරව මානනයන් නිසාවෙන්. දේවාලයකට ගොස් දෙවියන්ගෙන් යමක් ඉල්ලා ගැනීම හා සමාන බලාපොරොත්තුවකුයි මේ දෙයිනුත් වක්‍රාකාරයෙන් සිද්ධ වෙන්නේ.

ඔයාලා කවුරුවත් දැකලා තියෙනවාද, නැතිනම් ඔයාලගේ නිවෙසක හරි දැකලා තියෙනවාද සීවලී පිංතූරයක් හැරුණු කොට සැරියුත් මහ රහතන් වහන්සේගේ රූපයක් හරි මුගලන් මහ රහතන් වහන්සේගේ රූපයක් එල්ලා තියෙනවා? මොකද සැරියුත් මහ රහතන් වහන්සේ ප්‍රඥාලාභීන්ගෙන් අගතැන්පත් භික්ෂුව නිසා විභාග වලට මුහුණ දෙන ඕනෑම කෙනෙක් මුන්වහන්සේගේ ආශිර්වාදය ලබන්නට එපැයි. ඒත් එහෙම නෑ නේද? අද ඒ වෙනුවට ගණ දෙවි රූපයට නේ නමස්කාර කරන්නේ. හරි අපි ඒ කතාව පැත්තකට දාමුකෝ.

ආනන්ද තෙරණුවන් බුද්ධ පරිනිර්වාණයෙන් පසුව නිර්වාණයෙහි පිහිටියත් උන්වහන්සේ ධර්ම භාණ්ඩාගාරික තනතුරේ තැබූ හෙයින් උන් වහන්සේගේ රූපයක් නිවසක දකින්නට ලැබිලා තියෙනවාද? නෑ නේද? අර වගේම විභාග ලියනා අයට මේ තෙරුන්ගේ ආශිර්වදයත් ලබන්නට හැකි වේවි රූපයක් එල්ලා තැබුවොත්.

මේ අපි නොහිතන දෙයක්. ලාභයක් ප්‍රයෝජනයක් රූපයක් එල්ලූ පලියට ලැබෙන්නේ නම් නෑ. බුද්ධ රූපයකට වුණත් ඒ හැඟීමෙන් කරන පුද සත්කාර වල කිසිදු ඵලයක් ලැබෙන දෙයක් නොවූවත් ශ්‍රද්ධාව නිසාවෙන් යම් තාක් දුරකට මිත්‍යාවෙන් මිදීමට උපකාරයක් වේවි.

ඇයි අපි සීවලී මහ රහත් තෙරුන්ට පමණක් විශේෂ සැලකිල්ලක් දක්වන්නේ? ඒක සමානාත්මතාවය බිඳ හෙලීමක් නේද? ඇයි අපිට සීවලී මහ රහත් තෙරුන්ගේ හෝ වේවා යම්කිසි භික්ෂු රුවක් තබාගෙන මුළු මහත් අරහත් භික්ෂූ පරපුරටම කරන නමස්කාරයක් විදියට එවැනි හැඟීමකින් නමස්කාර කරන්නට බැරි? ගෙදරට කෑම බීම ලැබෙනා නිසා සීවලී රහත් තෙරුන් හට නමස්කාර කරන්නේ නම්, දාඩිය මහන්සියෙන් දෙමාපියන් හෝ ඔබ හෝ හරි හම්බ කරනා දෙය නිශ්ඵල දෙයක් නේද?

දෙවියන් වහන්සේගේ කැමැත්ත අනුව අපිට ආහාර පාන භව භෝග ලැබීම හෝ හොඳ රැකියාවකින් හොඳ වැටුපක් ලැබීම කියන සංකල්පය මේකෙන් ඉස්මතු වෙනවා නේද? ඔව්, එක අතකට මේ දේ ඉස්මතු වෙනවා. නමුත් බෞද්ධයන් වශයෙන් අපි බුදු රජාණන් වහන්සේගේ ගුණයන්ටත්, මහා සංඝයාගේ ගුණයන්ටත් නමස්කාර, පුද පූජා, ගෞරව දැක්විය යුතු වෙන්නේ ආධ්‍යාත්මීය වශයෙන් අප තුල ඇති කර ගත යුතු ගුණ වර්ධනය කර ගැනීම සඳහා මිසක ලාභ ප්‍රයෝජන බලාපොරොත්තුවෙන් නොවෙන බව අනිවාර්යෙන්ම මතක තබා ගන්නවා නම් වඩාත් සුදුසු බවයි මගේ මතය නම්.
 

Copyright 2010 tee දුටු ලොව.

මෙහි පළ වී ඇති සියළුම ලිපි වල හිමිකාරීත්වය "TeeRox" වන මා සතුව පවතින අතර, දැනුම් දීමකින් තොරව හෝ අවසරයක් නොමැතිව උපුටා ගැනීම හෝ වෙනත් කටයුතු සඳහා යොදා ගැනීම සපුරා තහනම් බවත්, ඒ සඳහා නීතිමය ක්‍රියාමාර්ග කරා යාමටද හැකියාව ඇති බවත් කරුණාවෙන් සලකන්න.