Monday, September 6, 2010

දේවාශිර්වාදය ලබන්න මේ ලෝකේ කවුරුන්ද අකමැති. බෞද්ධ හෝ වේවා අබෞද්ධ හෝ වේවා ඕනෑම කෙනෙක් දෙවියන් දකින්නට වගේම දෙවියන්ගෙන් සැප සම්පත් බලාපොරොත්තු වෙන්නත්, දෙවියන්ගෙන් ආශිර්වාද ලබාගෙන අතුරු ආන්තරා වලින් ගැලවී සිටින්නටත් බෙහෙවින් කැමැත්තක් දක්වනවා. මේ ඉතින් අද ඊයේ ඉඳලා පැවතගෙන එන දෙයක් නෙවෙයි. මේ පුරුදු ඈත අතීතයේ ඉඳන්ම පැවතෙන විශ්වාසයන්.

ගෙදර බුදු පහන පත්තු නොවුනත් මිදුලේ දෙවියන්ට පහන් පත්තු කරන්නට අපේ මිනිසුන් බෝ විට උත්සුක වෙනවා. මොකද බුදු සරණට වඩා දෙවි පිහිට ගැන බෙහෙවින් ලොකු විශ්වාසයක් පවතින නිසාවෙන්. මේ දේවල් වැඩිපුරම කරන්නේ අපේම මෝඩ බෞද්ධ ජනතාව තමයි. මෝඩ නමින් හැඳින්වූවාට තරහ ගන්නට අවශ්‍ය නෑ. මොකද මෝඩ කියා කීමත් ඔවුනට කරන සුදුසු ආමන්ත්‍රණයක් නොවෙන නිසා. මෝඩ කියන වචනය පැහැදිලි කරන්නට පුළුවන් ඊටත් වඩා වචනයක් තියෙනවා නම් ඒ වචනය එවැන්නන් තවත් හොඳින් හඳුන්වන්නට සුදුසු බවින් යුක්ත බව කියන්නට ඕනේ.

මේ ලිපිය පටන් ගන්නට මත්තෙන් කියන්නට දෙයක් ඉතුරු වෙලා තියෙනවා. ඒ, මේවා කරන අය ඒ දේ තම කැමැත්ත පරිදි ඉදිරියටම කරගෙන යන ලෙසත්, නොකරන අය නොකර සිටින ලෙසත් වගේම, කරන අයගෙන් සීමාසහිත පිරිසකට හරි බුද්ධියක් සහ සිතීමේ හැකියාවක් තියෙනවා නම් ඒ වැරදි පුරුදු වලින් මිදී නිවැරදි ක්‍රමයන් අනුගමනය කරාවි යන සිතුවිල්ලෙන්.

අපි දෙවියන්ට පුද පූජා පවත්වන්නට නිවස තුලදී හෝ නිවසින් පිටතදී සකස් කර ඇති පහන් පැල ගැන හැමෝම දන්නවා ඇති කියලා හිතනවා. බලි තොවිල් ආදියට ගොක් කොළ වලින් සැරසිලි කරලා හදන පහන් පැලක් නොවුනට ලීයෙන් සකස් කර ගත්තු පෙට්ටියක දේව රූප තියලා තවත් ලීයක ආධාරයෙන් පොළොවේ සිටුවා ගත්තාම ඔය දේට ගෙදර තියෙන පහන් පැල කියන්න පුළුවනි. ඇත්තෙන්ම මේ පහන් පැලේ පත්තු කරන පහන් නිසා දෙවියන්ගේ බැල්ම අපිට ලැබෙනවද? නැත්නම් අපිට දෙවියන්ගෙන් සැප සම්පත් ඉල්ලලා ඒ පහනේ බලෙන් වාසි, ලාභ, ප්‍රයෝජන ලබන්නට පුළුවන්ද? මේකට උත්තරේ සමහරු දන්නේ නැතුව ඇති.

මම කලින් වතාවකදී පල කරපු ලිපියකදි කීවා දේවාශිර්වාදය ලබන්නේ කොහොමද කියලා. හැබැයි ඒ මේ වගේ පෙට්ටියක් තුල පහනක් දල්වලා නම් නෙවෙයි. ඒ තෙරුවන් සරණ ගිහින් දෙවියන්ට පින් අනුමෝදන් කිරීමෙන් දෙවියන් හා ඇති කර ගන්නා සුහදතාවකින්. ඒ සුහදතාව තමන්ගේ පිරිසිදු කම මත වගේම සිල්වත් කම මත රඳා පවතින දෙයක්.

ඇත්තෙන්ම මේ පහනේ බලයෙන් අපිට ආශිර්වාද කරන්නේ දෙවියන් නම් නෙවෙයි. මේ පහනක් දැල්වීම අපි විහින් අමාරුවේ වැටීමක් හා සමානයි. ඒකට හේතුවක් තියෙනවා. මේ වගේ පහන් පත්තු කරලා දෙවියන්ට වඳින ගාථා කීමෙන් ඊට ආකර්ශනය වන්නේ පාපතර අමනුශ්‍ය කොට්ඨාශ වීම. ඒ බව දැන ගන්නට ලැබෙන්නේ එක දිනක් හරි පහන දැල්වීමට නොහැකි වූ විටදීයි. මේ වගේ සිද්ධීන් අපට සමාජයෙන් අහන්නට ලැබිලා තියෙනවා. දෙවියන් කියන්නේත් අමනුශ්‍ය කොට්ඨාශයක් නිසා මෙහිදී පාපතර අමනුශ්‍ය කොට්ඨාශයක් කියලා හැඳින්වූයේ ප්‍රේතයන් වැනි අදෘශ්‍යමාන බලවේගයන්.

ඉතින් මේ පහන් පැල් වලට මේ වගේ අය අරක් ගන්නවා. ඒ වගේම තමන් වෙනුවෙන් පුද සත්කාර මිනිසුන්ගෙන් බලාපොරොත්තු වෙනවා. මෙහෙම එක දවසක් හරි කරන්නට බැරි වීමෙන් සිද්ධ වෙන්නේ අමුතුම ආකාරයේ සංසිද්ධීන් වලට මුහුණ දෙන්න. දන්නා තරමින් නිදා සිටින විට උන් තැනින් පහලට ඇද බිමට දැමීම වගේ කාරණා හරිම සුලභ සිදුවීම්. නරක හීන පෙනීම, නිතර පෙරේත ගඳ ලෙසින් හඳුන්වන දුගඳක් ඇති වීම වගේ බොහෝ අකරතැබ්බ වලට මුහුණ දෙන්නට වෙනවා. හරියට අහක යන යකෙක් පිටේ බැඳ ගත්තා වගේ දෙයක් මේක.

කණගාටුවට හේතුව නම් ඊට වඩා උතුම් දේව සංකල්පයක් බුදු දහමේ සඳහන්ව තිබියදී මේ වගේ අමනුස්සයන් පසුපස යන්නට බෞද්ධයන් පුරුදු වී සිටීමයි. තවමත් මේ දේවල් පුරුද්දක් වශයෙන් කරන අය සමාජයේ නැතුවාම නොවෙයි. ඒත් දැන් ඉස්සරට වඩා මේ දේවල් කිරීමේ ප්‍රවනතාව අඩු වෙලා ගිහින්. ඉතින් කල්පනා කරන්නට දෙයක් ඉතුරු වෙන්නේ මෙන්න මේ හේතු කාරණා නිසාවෙන්. අපි බුදුන් දෙසූ ධර්මය නිවැරදිව පිළිපැදලා සැප සම්පත් වැඩි කර ගන්නවාද, නැත්නම් අහක යන පෙරේතයෙක් කරේ එල්ල ගන්නවද කියලා.
විභාග. විභාග කියන්නේ අපි හැමෝම කරලා තියෙන දෙයක්. මම මේ විභාග ගැන කියවෙන චිත්‍රපටයක් ගැනත් කලින් ලිපියක් පල කරා. මේකත් විභාග වලින් ඉදිරියට යාම, නොයාම සම්බන්ධ ලිපියක්. නමුත් විභාග ගැනම නෙවෙයි සඳහන් කරන්නට යන්නේ.

අපිට අපේ අධ්‍යාපනික වැඩ කටයුතු ඉදිරියට කරගෙන යන්නට විභාග සමත් වීම වැදගත් වෙනවා. මොකද යම් කිසි මට්ටමකින් එහාට යන්නට තමන් සුදුසුද කියලා බලන ඇගයීමකුයි විභාගයක් කියන්නේ. ඒ ඇගයීම සමත් වුනොත් හරි අවශ්‍ය ලකුණු මට්ටම සම්පූර්ණ කර ගැනීමෙන් හරි අපිට ඒ අදාළ මට්ටමට එළඹෙන්නට පුළුවන් කම ලැබෙනවා. මේක සාමාන්‍ය පැහැදිලි කිරීමක්.

මේ කියන්න යන සිද්ධිය මට සිද්ධ වුනු දෙයක් නම් නෙවෙයි. ඒත් මගේ යාළුවෙක් මට කියපු දෙයක්. මම විශ්ව විද්‍යාලයකට ඇතුලත් වුනු ශිෂ්‍යයෙක් නම් නෙවෙයි. ඒ බව මම කලින් වතාවකදිත් සඳහන් කරලා ඇති. නමුත් බාහිර උපාධි පාඨමාලාවක් ඔස්සේ තොරතුරු තාක්ෂණ විශයයේ වැඩිදුර ඉගෙනීම් කටයුතු සිදු කරන්නට අවස්ථාවක් උදා වුනා. මම මේ කියන යාළුවා උසස් පෙළ දෙවෙනි වතාවෙදි සමත් වෙලා කොළඹ විශ්ව විද්‍යාලයට ඇතුලත් වුනු අයෙක්.

ඉතින් ඔහුගේ නියමිත ඉගෙනුම් කාලය අවසාන භාගයකට පැමිණිලාද කියලා නම් මම කියන්නට දන්නේ නෑ. ඒත් කියන්න ඕනේ කාරණයක් තමයි එම උපාධියේ විශේෂ උපාධිය කරන්නට ඔහුට වරම් ලැබිලා නැති බව. ඒ බව ඔහු මා සමග පැවසුවේ දැඩි කේන්තියකින් සහ එය ලබා නොදුන් යම් පුද්ගලයෙකුට ශාප කරමින් සහ ඔහුගේ දෙමාපියන් අති උත්තම පුරුශයෙන් වන්දනා කරමින්. ඒ කොහොමද යන්න ගැනත් මම කලින් ලිපියක් පල කරලා තියෙනවා.

ඔහු පැවසූ අන්දමට එම පුද්ගලයා හෝ ආචාර්‍යවරයා සිටිනා අංශය වෙනුවෙන් වැඩ නොකිරීම නිසාවෙන් ඔහුට විශේෂ උපාධියක් දක්වා යන්නට අවස්ථාවක් උදා නොවීම ඔහු විසින්ම උපකල්පනය කර ගත්තක්. ඒ උපකල්පනය මත රැඳිලා ඔහු එම පුද්ගලයා හට පෙර කියූ පරිද්දෙන් වන්දනා මාන, පුද පූජා පැවැත්වූයේ පුපුරලා ගියපු ගිනි කන්දක් වගෙයි.

ඒ ඔහු උපකල්පනය කර ගත්තක් විනා ඇත්තක් නොවෙන්නට පුළුවන්. තමන්ගේ දක්ෂතාවය මත හැරුනු කොට කෙනෙක් යම් අයෙකුට හෝ යම් අංශයකට කරන උදව් පදව් මත උපාධියකින් ඉදිරියට යෑම තරම් නිශ්ඵල දෙයක් තවත් නෑ. අද කාලයේ කිසිම වැදගැම්මකට නැති මිනිසුන්ට පවා ආචාර්‍ය උපාධි පිරි නමා තිබුනත් ඒවායේ නියම ස්වරූපය අපි හැමෝම අඳුරනවා. සමහර විට මම මේ කියූ මිතුරා මේ තාක් කලක් උපාධිය සම්පූර්ණ කර ගන්නට ඔහු සතු පන්දම් ඇල්ලීමේ හැකියාව බෙහෙවින් බලපාන්නටත් ඇති. එවැනි පන්දමක් අල්ලන්නට සිදුවූ නොහැකියාව නිසාවෙන් අද ඔහු ඒ ඒ පුද්ගලයන් හට බැන වදින්නේ තමාට අල්ලන්නට බැරි වුනු පන්දම කෙසේ වෙතත්, අසාධාරණය ගැන කියාපාමින්.

ඇත්තෙන්ම තමන්ගේ දක්ෂතාවය රඳා පැවතිය යුත්තේ තමන් අල්ලන පන්දමේ එළියෙන් නොවෙයි. තමන්ට දක්ෂතාවක් තියෙනවා නම් ඒ දක්ෂතාවෙන් ඉහළට යන ඕනෑම කෙනෙකුට කිසිම දිනකදී වැරදෙන්නේ නම් නෑ. මොකද කට පාඩමින් ඉදිරියට යන කෙනෙකුට වඩා බුද්ධියෙන් හිතා මතා තීරණ ගන්නා උදවිය සමාජයේ ගොඩක් ඉදිරියෙන් ඉන්නා නිසාවෙන්.

අපි අතර ඉන්නා සමහර පුද්ගලයන් හඳුනා ගන්නට මට නම් මේක හොඳ උදාහරණයක් වුනා. තමන්, අනිත් ශිෂ්‍යයන්ට නොලැබෙන සරසවි වරම් ලබා උපාධිය සම්පූර්ණ කර ගැනීම පිළිබඳව සතුටු වීම පැත්තක ලා නොලැබුනු විශේෂ උපාධි අවස්ථාව ගැන දුක් වීමට ඒ ඒ පුද්ගලයාගේ සමාජ, පවුල් පසුබිම සහ දෙමාපිය බලපෑමත් සමහර විටෙක බලපාන්නට පුළුවනි.

හිතන්නට පැති බොහෝමයක් තියෙනවා. ඒත් අපි අපේ ජීවිතයේදී ලැබිලා තියෙන දේවල් ගැන සතුටු වෙලා නොලැබුන දේවල් වලට දෙස් දෙවොල් නොතියා ඉන්නට පුරුදු වෙනවා නම් තමයි වඩාත් හොඳ.
 

Copyright 2010 tee දුටු ලොව.

මෙහි පළ වී ඇති සියළුම ලිපි වල හිමිකාරීත්වය "TeeRox" වන මා සතුව පවතින අතර, දැනුම් දීමකින් තොරව හෝ අවසරයක් නොමැතිව උපුටා ගැනීම හෝ වෙනත් කටයුතු සඳහා යොදා ගැනීම සපුරා තහනම් බවත්, ඒ සඳහා නීතිමය ක්‍රියාමාර්ග කරා යාමටද හැකියාව ඇති බවත් කරුණාවෙන් සලකන්න.