Monday, September 6, 2010

බණ කියන්නේ ඉතින් අපි අද ඊයේ අහපු දෙයක් නෙවෙයි නේ. ඇති තරම් මේ බෞද්ධ රටේ බණ අහන්න ලැබිලා තියෙනවා. ජාති ආගම් භේදයකින් තොරව බණ අහන්න ලැබිල තියෙනවා වගේම ඇහිලාත් තියෙනවා. මොකද ඇහුවට පවක් සිද්ධ වෙන්නේ නැති නිසා.

විවිධාකාරයේ බණත් තියෙනවා. එක එක තාලෙට කියන ඒවා. මේ අතරින් බණක අර්ථය වෙනස් වෙනස් ආකාර වලින් දනවන්නට ඒ ඒ ධර්ම දේශකයන්ට පුළුවන් හැකියාවකුත් තියෙනවා. ඒ හැකියාව මත තමයි ධර්ම දේශණාවක හොඳ නරක බව ශ්‍රාවකයන් තීරණය කරන්නේ.

මෙන්න මේ වගේ කියන බණ වර්ග අතරින් කවි බණට විශේෂ තැනක් හිමි වෙනව. ඒ ගීත රාවයක් හෝ කවියක තාලයෙන් සහ තනුවක් උපයෝගී කරගෙන දේශණා කරන නිසාවෙන් ඒ දේශනාව අසන්නට බොහෝ දෙනා ප්‍රියතාවක් දක්වන නිසා. දේශණයක් අහන් ඉන්නවාට වඩා ගීතයක් අහන එක හිතට වගේම ගතටත් වෙනසක් දනවන දෙයක් නේ.

ඒත් දන්නවාද දෙයක් ගැන? අද අපි කවි බණ දේශණා වලට සහභාගී වුනාට, දේශක වරු ලස්සනට සමාජ සිද්ධියක් හරි ජාතක කතවක් හරි කවි බණකින් තාලෙට සංගීතමය ස්වරූපයකින් කීවට බුදු හාමුදුරුවෝ මේ ගැන ධර්මයේ දේශණා කරලා තියෙන්නේ මොනවාද කියලා?

බුදු රජාණන් වහන්සේ ධර්මයේ, බුදු දහමේ පරිහානිය සිද්ධ වෙන ආකාරය සඳහන් කරද්දී මේ දේ ගැනත් සඳහනක් කරලා තියෙනවා. අනාගතයේදී ධර්මය ගීත ආකාරයෙන් කියන්නට පටන් ගන්න බවත්, මිනිසුන් අභිධර්මය වැනි දෑ ඉගෙනීමට දක්වන කැමැත්තට වඩා අර ගීතමය ස්වරූපයෙන් කියැවෙන බණ අසන්නට දැඩි කැමැත්තක් ඇති කර ගන්නා බව. ඒ වගේම කසාවත වෙනුවට සුදු සිවුරු හැඳගත් පිරිස් බුද්ධ ශාසනයේ ඇති වෙන බවත් ප්‍රකාශ කරලා තියෙනවා.

බුදු රජාණන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන් පිට වුනු කිසිම දෙයක් මේ තාක් කාලයකට වැරදීවත්, බොරු වෙලාවත් නැති නිසා මේ කියූ දෙයත් අද වෙන කොට සම්පූර්ණයෙන්ම සත්‍යයක් බවට පත් වෙලා හමාරයි නේද? සුදු පාට සිවුරු ඇඳගත් පිරිස් පවා අද ශාසනයේ ඉන්නා බව දැන ගන්නට ලැබී තිබෙනවා.

ඉතින් මේ කවි බණ කියන්නේ නිකන් වැදි බණ හා සමාන දෙයක් හැටියටයි සලකන්නට වන්නේ. සාමාන්‍යයෙන් උපසම්පදා ලද භික්ෂුවකට ගී රාවයකින් ධර්මය දේශණා කිරීම අකැප දෙයක් බවටයි සඳහන් වෙන්නේ. ඒ බව මට දැන ගන්නට ලැබුණේ මගේ මිතුරෙකුගෙන්.

වර්තමානයේදී ධර්ම දේශණයක අන්තර්ගත වෙන්නේ බොහෝ විට ජාතක කතාවක් හරි, සමාජයේ සංසිද්ධියක් හරි, සාමාන්‍ය බුද්ධ චරිතය අලලා සිදු වෙන කතාවක් පෙරටු කරගෙන සිද්ධ කෙරෙන දේශණාවක්. නමුත් අභිධර්ම කොටස් පැහැදිලිව දේශණා කරනා අවස්ථා බෙහෙවින් දුර්ලභයි. අද රටේ වැඩ වසනා භික්ෂූණ්ගෙන් ප්‍රසිද්ධ රැල්ලේ පසු වෙන භික්ෂූහූ බොහෝමයක් දෙනා දේශණාවට බඳුන් කරන්නේ ඔන්න ඔය ආකාරයේ මාතෘකා සහ කවි බණ ආදියයි. කවි බණ දේශණාවෙහි දක්ෂ දේශක වරුන් පවා ඇති තරම් ශාසනයේ සිටිනවා.

කාලයාගේ ඇවෑමෙන් බුද්ධ වචනය ඇත්තක් බවට පත් කරමින් අද කවියෙන් බණ කීමත්, ඒවා ඇසීමට ශ්‍රාවකයන් ප්‍රිය වීමත් ප්‍රවණතාවක් වෙලා තියෙනවා. නියම සද්ධර්මය බෞද්ධ ශ්‍රාවකයන්ගෙන් ඈත් වීගෙන යන්නට පටන් අරගෙන තියෙන්නේ ඔය දේවල් සමාජයට ආ දා ඉඳන්මයි. ඒ මීට වසර ගාණකට පෙරදීයි. කතා බහට ලක් කරන්නට දෙයක් මේ.

Thursday, September 2, 2010

මේ කියන්න යන කතාව විද්‍යුත් තැපෑල එහෙමත් නැත්නම් කවුරුත් දන්න බාසාවෙන්ම කියනවා නම් ඊමේල් පිළිබඳවයි. මෙහෙම කියද්දි හැමෝම දැන් ඊමේල් බලන්නට පටන් ගන්නත් බැරි නෑ. නෑ නෑ ඕනේ නෑ මේ වෙලාවේ බලන්න. මම මේ කියන දේ ගැන පොඩ්ඩක් අවධානය යොමු කළොත් හොඳටෝම ඇති. මට වගේම ඔයාලා හැමෝටමත් විද්‍යුත් තැපැල් පෙට්ටියක් ඇති. ඒ වගේ දෙයක් ඉතින් අද කාළයේ නැතුවම බැරි දෙයක් තරම් නේ. මේ කියන්නට යන්නේ මට ආපු, ඒ වගේම ඇවිත් තියෙන විද්‍ය්ත් ලිපියක් සහ ඒ විදියේම ලිපි කීපයක් ගැන.

මට මේ ළඟකදී ආවා ඊමේල් එකක් දේව රූපයක් අන්තර්ගත කරලා. මීට කලිනුත් එහෙම ඊමේල් ඇවිත් තියෙනවා බුදු හාමුදුරුවන්ගේ රූපයක් පවා අන්තර්ගත කරලා. ප්‍රශ්නය කියන්නේ මෙහෙම ආපු එක නෙවෙයි. එහෙම එන ලියුම් වල මෙන්න මෙහෙම ලියලා තිබීම තමයි සාකච්චාවට ගන්න ඕනේ දේ. ඒ තමයි "මේ රූපය බලගතු රූපයක්. ප්‍රාතිහාර්යමය වටිනාකමක් ඇති රූපයක්. මේ රූපය සමග පැමිණි මේ ඊමේල් පණිවිඩය ඔබගේ මිතුරන්ට යැවීමෙන් ඔබට සභදායී ප්‍රතිපල ලැබෙනවා මෙන්ම, මෙය අහක දැමීමෙන් හෝ විනාශ කිරීමෙන් ඔබට අයහපතක්ම සිදු වෙනු ඇත. පහල දැක්වෙන්නේ එවැනි සත්‍ය සිදුවීම් කීපයකි".

ඔන්න ඕකයි වැඩේ. ඔය වගේ ලියලා අපිට ලැබුණ ඊමේල් පණිවිඩ ගැන මට හොඳ මතකයක් තියෙන්නේ. විශේෂතම වැඩේ කියන්නේ අර කිව්වා වගේම පහලින් ලියලා තියෙන සත්‍ය සිදුවීම් තමයි. කොටින්ම මේ වගේ පණිවිඩ අහක දාපු හැමෝටම කිසි හොඳක් සිද්ධ වෙලා නෑ. එක්කෝ ඒ කෙනා ජීවිතක්ෂයට පත් වෙලා, නැත්නම් රැකියාව අහිමි වෙලා. මේක තවත් අයට යවපු අයට හැම සැප සම්පතක්ම ලැබිලා. එක්කෙනෙක්ට මිලියන ගානක මුදල් ලැබිලා හෝ ලොතරැයියක් ලැබිලා. එහෙමත් නැත්නම් මොන මොනවා හරි ලියලා පල ඇත්ත විදියට පල කරපු දෙයක්. කියවද්දී හිතට බයක් වගේම ලොකු ප්‍රීතියකුත් ඇටි වෙන තරමටම සාහිත්‍යමය වටිනාකමක් සහිත ඊමේල් පණිවිඩ ගණයකට පවා ඇතුලත් කිරීමේ හැකියාව මේ ඊමේල් සතුයි.

ඇත්තෙන්ම මේ ක්‍රියාව මොන තරම් බොළඳ දෙයක්ද යන්න ගැන ඉතින් කතා කරලා වැඩක් නෑ. දෙවි කෙනෙක් හෝ බුදු රදුන් හෝ සිටින්නේ කෙනෙක්ට ලාභ පාඩු නින්දා ප්‍රශංසා සැප දුක යස අයස ලබා දීමට නොවන බව අපි කවුරුත් දැන ගන්නට ඕනේ. ඕනෑම ආගම ධර්මයකින් මිනිස් වර්ගයාට සිද්ධ විය යුතු යුතුකම සහ බලපෑම වන්නේ තම තමන්ගේ සිත් පිරිසිදු කරගෙන තම ආගම ධර්මයේ සඳහන් උත්තරීතර තත්තවයට පත් විය හැකි ජීවන චර්යාවක් සහ හොඳ ගති පැවතුම් ඇති කර ගැනීමට මාර්ගෝපදේශයි. මේ ලෝකයේ එළිය දකින ඕනෑම මනුස්සයෙකුට ආගමකට බැඳීමක් ඇති වන්නේ ඒ හේතුව නිසා.

දෙවියන් හෝ බුදුන් හෝ මෙවැනි ලිපියක් කිසිම කෙනෙකුට අන්තර්ජාලය ඔස්සේ නම් යවන්නේ නෑ. ඒ වගේම කෙනෙකු බියට පත් කරලා වැඩක් කරවා ගැනීමේ චේතනාවක් කිසිම ආගම ධර්මයක නොපැවතිය යුතුයි. නමුත් බිය වැද්දවීමෙන් හෝ නීති රීතිමාලාවන් වලින් වැට කොටු බැඳලා මිනිසුන් තුල ස්වයං පාලනයක් ඇති කරන ආගම් පවා අද ලෝකයේ නැතුවාම නොවෙයි.

බුදු රජාණන් වහන්සේ කිසිම දවසක කිසිම වරදක් කළ අයෙකු නොවේ. එහෙනම් ඒ වගේ උතුම් අයෙක් ඊමේල් පණිවිඩයක් තවත් කීප දෙනෙකුන් හට නොයැවීම සම්බන්ධයෙන් තරහා ගැනීමක් සිදු කරන්නේ නෑ. දෙවියෙක්ට හෝ දෙවියන් වහන්සේට වුවත් මිනිසුන් හට ඊමේල් පණිවිඩ යවනවා හැරුණු කොට කරන්නට වෙන වැඩක් නැති නම් අපට ඔය පණිවිඩ යම්තාක් විශ්වාස කරන්නට හරි පුළුවන් වේවි.

නමුත් මේ වගේ නිෂ්ඵල වැඩ කරන්නේ ආගම් ප්‍රචාරණය සඳහා ඒ ඒ ආගම් වල නියුතු වූවන් සහ අනුගාමිකයන් විසින්. ඒ නිසාවෙන් කිසිම ආගමක් නිසා යම් අයෙකුට හිංසනයක් වෙනවා නම් එය ආගමක් නොවන බවත් ඒ පුද්ගලික මති මතාන්තර හුවා දැක්වීමට කරනා ක්‍රියා පිලිවෙතක් බවත් අප තේරුම් ගත යුතුය.
 

Copyright 2010 tee දුටු ලොව.

මෙහි පළ වී ඇති සියළුම ලිපි වල හිමිකාරීත්වය "TeeRox" වන මා සතුව පවතින අතර, දැනුම් දීමකින් තොරව හෝ අවසරයක් නොමැතිව උපුටා ගැනීම හෝ වෙනත් කටයුතු සඳහා යොදා ගැනීම සපුරා තහනම් බවත්, ඒ සඳහා නීතිමය ක්‍රියාමාර්ග කරා යාමටද හැකියාව ඇති බවත් කරුණාවෙන් සලකන්න.