Monday, August 9, 2010

ඇයි අපි ජීවත් වෙන්නේ? අපි ජීවත් වෙන්නේ අපේ හීන සැබෑ කර ගන්න. අපේ දෙමව්පියෝ අපි ගැන තියලා තියෙන විශ්වාසය ඉදිරියටම ගෙනියන්න. අපේ දෙමව්පියන්ගේ හීන සැබෑ කරන්න. එයාලට තවදුරටත් ණයක් නොවෙන්න. හොඳ රැකියාවක් කරලා, විවාහයක් කරගෙන ජීවිතේ සතුටින් ගත කරන්න.

මේ දේවල් මේ විදියටම පිහිටන්නේ බොහෝම කිහිප දෙනෙකුට විතරයි. නමුත් මින් එහාට අපි දකින දේවලුත් තියෙනවා. සමහර විට ඒ දේවල් කරන්නේ අපි අපිම වෙන්න පුළුවන්. නැතිනම් අපේම සහෝදර සහෝදරියො වෙන්නත් පුළුවන්. එහෙමත් නැතිනම් අපේ යාළු මිත්‍රයෝ හෝ නෑදෑයන් වෙන්නත් පුළුවන්. ඒ සමහර දේවල් ගණයට වැටෙන ප්‍රධාන කරුණක් ගැන තමයි මේ ලිපියෙන් කියන්න හදන්නේ. ඒ කියන්නේ දෙමව්පියන්ගේ ධනය විනාශ කරමින් සතුට හොයන උදවිය ගැන.

සමාජයේදී අපට විවිධ පුද්ගලයන් මුණ ගැහෙනවා. ඒ අතර සමහරු බොහෝමත්ම උනන්දුවෙන් වගෙම කැපවීමෙන් තම ජීවිතේ සාර්ථකව ගෙනියනවා. තමන්ගේ ඉගෙනුම සම්පූර්ණ කර ගන්නට දරන උත්සාහය වගේම කරන කැප කිරීම් දිහා දකිද්දී ඕනෙම කෙනෙකුට හිතට ලොකු සතුටකුත් ඇති වෙනවා. ඒ වගේම කොතරම් හම්බ කලත් ඉගෙනීමක් නොකරන, තමන්ගේ ඉගෙනුමට වඩා සතුට වෙනුවෙන් මුදල් නාස්ති කරන දරුවොත් අපි පය ගහල ඉන්න මේ සමාජයේ අනේක වාරයක් අපිට දකින්න ලැබිලා තියෙනවා.

මගේ ජීවිතේදී මේ දෙපාර්ශවයේම පුද්ගලයින් මට මුණ ගැහිලා තියෙනවා. පිරිසක් හොඳින් ඉගෙන ගන්න වගේම ඉගෙනීමට මුදල් නැතුව දුක්ඛිත ජීවිතයක් ගත කරන හොඳ මිනිසුන් කොට්ඨාශයක්. අනිත් පිරිස තමයි කොච්චර සල්ලි තිබුණත් දුරාචාරයට වියදම් කරමින් දෙමව්පියන්ගේ ගෞරවය වගේම ධනයත් නැති නාස්ති කරන උදවිය.

මින් පළමු කොට්ඨාශයේ මිතුරන් කීප දෙනෙක් ගැන කියන්න වටිනවා. එක මිතුරෙක් තමන් කරන රැකියාවෙන් භාගයක්ම තමන්ගේ පවුලේ මාසික ආදායම විදියට දෙනවා. නමුත් ඒ කෙනා ඉතාමත්ම අඩු පඩියකට රැකියාවක නිරතවූ කාලයකුත් තිබුණා. ඒ කාලයේදී නිවසේ අග හිඟ කම් නිසා නිවසේ අයත් වේලක් දෙකක් නොකා නොබී සිටි දවස් ඇති තරම් තිබුණා. ඒ මුදල් නැති නිසාත්, පවුලේ වෙන කිසිම අයෙකුට වෙනත් ආදායමක් නොමැති වූ නිසාත්. ඒත් දැන්, ඒ කෙනා ඒ වගේ හතර ගුණයක වේතනයක් ලබන රැකියාවක නිරත වෙලා නිසා පවුලේ ප්‍රශ්න අඩු වෙලා. කිව යුතු වැදගත්ම කරුණ වෙන්නේ ඒ කෙනා කිසිම දුරාචාරයකට පුරුදු නොවී සිටීමයි. මත්පැන් බිඳක්වත් කටේ තියලා නැති අයෙක්. නමුත් උනන්දුව වගේම ඉගෙනීමට තියෙන දැඩි කැමැත්ත නිසාත්, කිසිම වරදක් සමාජයට හෝ තමන්ගේ දෙමාපියන්ට සිදු කරලා නැති නිසාත් ඔහුට අද හොඳ තැනකට එන්නට පුළුවන් කමක් ලැබිලා තියෙනවා.

මේ වගේම දෙමාපියන් නැති පුද්ගලයෙකුත් ඉන්නවා ඉගෙනීමෙන් ඉහලට ගිහින් හොඳ රැකියාවකින් ජීවිතය සාර්ථක කර ගත්තු. මේ වගේ චරිත අපේ ජීවිත වල ඇති තරම් දකින්නට පුළුවන්. ඒත් ඒ චරිත ගැන නිතර නිතර මතක් කරමින් අපිට සතුටු වෙන්න පුළුවන් වාතාවරණයකුත් තියෙනවා.

මා සඳහන් කළ දෙවෙනි කොට්ඨාශය තමයි අර ධන හානිකාර දරුවෝ. කොටින්ම සමාජයට විතරක් නෙවෙයි පය ගහල ඉන්න පොළොවටත් බරක් වෙන උදවිය. ඉගෙන ගන්නා නියාවෙන් තම දෙමාපියන්ගේ මුදල් වලින්, තමාගේ කාමුක වගේම දුරාචාරී සන්තෘෂ්ටිය උදෙසා ජීවත් වෙන උදවියයි ඒ. රැකියා වල නිරත වුවත්, බීමත් කම නිසාත්, වෙනත් සමාජ විරෝධී දුරාචාර නිසාත් තම රැකියාවෙන් ලබන වැටුප පවා අහවර කරගෙන දෙමව්පියන් රවටා තව තවත් මුදල් කොල්ල කෑම ඒ උදවියගේ ඇට මස් ලේ නහර වලට හොඳින්ම කා වැදුනු දෙයක්. අවසානයේදී තම තමන්ගේ දෙමාපියන්ට විතරක් නෙවෙයි, මුළු ලෝකෙටම ණය කරුවන් වී සමාජයේ ජීවත් වෙන පව්කාර පිරිසකුයි ඒ කොට්ඨාශයට අයත් වෙන්නේ.

ඒ උදවියට දුකකදි, සතුටකදි, තරහවකදි සිහියට නැගෙන්නේ මැත් පැන් බෝතලයක් විතරමයි. එපමණක් නෙවෙයි, අවශ්‍යතාවයේ හැටියට කාන්තාවන් සමග ලිංගික සේවනයේ මනා දක්ෂතාවකුත් ඔවුන් සතුව තියෙනවා. ඇත්තෙන්ම සමාජයේ ජීවත් වෙන ලිංගිකාචාර්යවරුන්, දුරාචාර්යවරුන් ලෙසින් ඔවුන් නාමකරණය කළත් වරදක් නෑ. මේ මොන නම කීවත් නැතත් තම තමන්ගේ හෘද සාක්ශ්‍යය දන්නවා තමන් හරිද වැරදිද කියලා. මේ වගේ කෙනෙක් සමාජයේ ඉහලින්ම වැජඹුනොත් ඒ දුරාචාරයකින්ම පමණක් කියලායි මගේ අදහස. දියුණු වූවත් ඒ වැරදි ක්‍රමයකින් විය හැකියි.

මාස නවයක් මව් කුසේ හිටි ණයවත් ගෙවා ගන්න බැරුවාට තවත් අවුරුදු විස්සක් තිහක් යන තාක්ම දෙමව්පියන්ගේ රීරි මාංශය සූරන් කන උදවිය අපි අතරේම ඕනෙ තරම් සිටිනවා. ඔවුන් සිතන්නේ තම තමන්ගේ සතුට ගැන විතරමයි. ඉඩකඩම්, දේපල සහෝදරයන් අතරේ බෙදද්දී, මූලික වශයෙන්ම ආරවුල් ඇති කර ගන්න පිරිස අතරේ මුල් තැනක ඔය වගේ දරුවෝ සිටිය යුතුමයි. මන්දයත් ඔවුනට අවශ්‍ය මුදල් පමණක් නිසා. නමුත් අවසානයේ ඔවුන්ගේ පාදඩ සහ අශීලාචාර ක්‍රියාවන් නිසා දෝශාරෝපණයට ලක් වෙන්නේ ඔවුන්ගේ අහිංසක දෙමාපියන් පමණමයි.

මෙවන් පුද්ගලයන් හට ගැහැණු හෝ පිරිමි හෝ වේවා සමාජයේ හොඳ තැනක් හිමි වෙනවා. නමුත් සදාචාරාත්මකව ජිවත් වෙන හොඳ මිනිසුන් හට කිසිම සැලකීමක් ගෞරවයක් හිමි වන්නේ බොහෝමත්ම කලාතුරකින්. එයිනුත් බොහෝ දෙනෙක් මිය ගියාටත් පසුවයි. මුදල් නැතිව, කන්නට බොන්නට නැතිව මැරිලා යන එක, මව්පියන් සූරන් කමින් ලබන වින්දනයට වඩා කෝටියකින් සැප ඇති වින්දනයක් බව අප සිහියට නගා ගත යුතුය.

මේ ලිපිය කියවන එවැනි සූරන් කන්නන් සිටිනවා නම්, මේ ලිපිය පල කරන මගේ, දෙමව්පියන් ගැන "හු" යන්න පෙරට යොදා ආවර්ජණය කරනවා නම් ඒ මව්පිය ස්ථානයෙහි තමන්ගේත් මව්පියන් සිටින බව අමතක නොකරන්න. මන්දයත් මව්පිය පදවිය ලබන්නෝ තමන්ට කිට්ටුම බුදුවරුන් නිසා.
මාතෘකාව දැක්කම නම් කවුරුත් අනිවාර්යෙන්ම බලන්න පෙළඹෙන දෙයක් තමයි මේ ලිපිය. හැබැයි කියන්න යන්නේ ඇත්තක්. කවුරු කොහොම පිළිගත්තත් නැතත් මේ ලිපිය කියවන අය ඔය මාතෘකාව මටත් ආදේශ කරන්න බැරි කමක් නෑ. ඒත් වැඩක් වෙන්නේ නෑ නේ. මොකද ඇත්ත කියන දේ හංගන්න පුළුවන් කමක් නම් නෑ. හැබැයි හිතන්න දෙයකුයි කියන්න යන්නේ.

අපි උප්පත්තියෙන් නම් හරිම පිරිසිදු උදවිය. කිසිම නරක සිතුවිල්ලක් හිතට නො එන, මානසිකව පිරිසිදු පුංචි අත දරුවන් තමා උපන් මොහොතේ ඉඳලා යම් කාලයක් වෙන තුරුම. නමුත් අපි ජීවත් වෙන සමාජයේ, පරිසරයේ හෝ වටපිටාවේ බලපෑම් මත අපි දැන අඳුන ගන්න දේවල් බොහෝමයක් තියෙනවා. එක දෙයක් තමයි භාශාව. අපිට යම්කිසි භාශාවක් අපේ මව් භාශාව විදියට හුරු වෙන්නේ කාගේවත් ඉගැන්වීමකින් තොරව, අපිට ඇහෙන දෙයින් සහ ඇසින්. කාලයාගේ ඇවෑමෙන් ඒ ඉගෙනුම වැඩි දියුණු වෙන්නේ මොළේ සීඝ්‍ර වර්ධනයත් එක්කමයි. එතකොට තමයි අපි පෙර පාසලට ගිහිල්ලා ඉන් පස්සේ පාසලකට ඇතුලත් වෙන්නේ. ඔය හැම දෙයකින්ම අනතුරුව අපි සාමාන්‍ය පෙළ, උසස් පෙළ විභාග කරලා විශ්ව විද්‍යාල ප්‍රවේශය ලබනවා. ඉන් පස්සේ වැඩිදුර ඉගෙනුම ලබනවා හෝ විවාහ දිවියකට එළඹෙනවා රැකියාවකුත් සමගම. දරු මල්ලන් හදා වඩා ගෙන මැදි විය පසු කරන් මහළු වියේදී මුණුපුරු මිණිපිරියන් දැකලා මැරිලා යනවා. මේ තමයි අපේ මුළු ජීවිතයම කෙටි ඡේදයකින් කියනවා නම්. මේ කාලය තුල අපි නොයෙකුත් දේවල් බලෙන් වගේම ඉබේම
ත් ඉගෙන ගන්නවා. නමුත් අපිට වැඩිපුරම මතක හිටින්නේ ඉබේම ඉගෙන ගන්න දේවල්. විශේෂයෙන්ම කුණුහරුප.

කවුරුත් බලෙන් හෝ මනා අධ්‍යාපනයක් ලබද්දී 'කුණුහරුප පාඩම' කියලා දෙයක් ඉගෙන ගන්නේ නම් නෑ. නමුත් කුණුහරුප නොදන්න කිසි කෙනෙක් මේ සමාජයේ හොයන්නත් බෑ. දෙමව්පියෝවත්, ගුරුවරුන්වත් නෙවෙයි මේවා උගන්වන්නේ; අපිට පරිබාහිර සමාජයයි.

කුණුහරුප කියන්නේ කෙනෙක්ට නම් දැඩි ආයුධයක්. මේ ආයුධෙන් පහර කන ඕනෑම කෙනෙක්ට ඊට ප්‍රතිචාර දැක්වීමේ ආවේගයන් පහල වෙනවා. මේ ආයුධෙන් පහර දෙද්දී අනිවාර්යෙන්ම මතකයට නංවන, සහ නැංවෙන දෙදෙනෙක් ඉන්නවා. ඒ ප්‍රතිවාදියාගේ දෙමව්පියෝ. එයිනුත් බොහෝ විට අම්මාවරුන්. අනුන්ගේ අම්මාවරුන් නැමදීමේ මේ අමුතුම විදිය සමාජෙට ආවේ මීට බොහෝම කාලයකට උඩදී. මේ විශේෂ ක්‍රමයෙන් වඳිද්දී මුල'කුරට යොදන්නේ "හු" යන්නෙන් ආරම්භ වෙන වචන වල විවිධ ප්‍රභේදයන්. මේ හැම වචනයක්ම අර කුණුහරුප ගණයට අයත් ශබ්ධකෝෂයේ අනිවාර්ය වගේම බලවත් වචන රාශියක්.

ඔය නමස්කාරය ලබන ප්‍රතිවාදියෙකුට එය ඉවසීම කල නොහැක්කක්. මොකද තමන්ගේ වරදකට තමන්ගේ දෙමාපියන් නින්දිත ලෙස ආමන්ත්‍රණයට බඳුන් වෙන නිසා.

ඇත්තෙන්ම කෙනෙකුගේ වරදකට අපිට ඒ කෙනාගේ නෑදෑයොන්වත්, ඒ කෙනාගේ මව්පියන්වත් මතක් කිරීම කල යුත්තක් ද? මව්පියන් හොඳ නමුත් දරුවන් වැරදි කරන අවස්ථා ඕනේ තරම් මේ සමාජයේ තියෙනවා. ඒත් ප්‍රශ්නේ නම් ඒ බව දැන දැනත් දෙමව්පියන්ට කුණුහරුපෙන් කතා කිරීම. ඒත් අනුන්ගේ දෙමව්පියන්ට. කෙනෙක් වරදක් කරනවා නම් ඊට මූලික හේතුව ඒ කෙනාගේ දෙමව්පියන් නෙවෙයි. එහෙම වෙන අවස්ථා බොහෝමත්ම කලාතුරකිනුයි දකින්නට ලැබෙන්නේ. නමුත් සමස්ථයක් වශයෙන් මව්පියන් වැරදි මාර්ග වල නොගියත්, දරුවන්ගේ වැරදි සහ දුරාචාර නිසා ඒ දරුවා අසන බැනුමකට වඩා ඒ කෙනාගේ මව්පියන් බැනුම් අහන එක අද සාමාන්‍ය දෙයක් වෙලා. ඇත්තෙන්ම ඒකෙන් බනින කෙනාට ලැබෙන වාසිය කුමක්ද? ඇති පලේ කුමක්ද? ඊට වඩා තම තමන්ගේම මව්පියෝ ගැන සිහි කර ගත්තා නම් මදිද? නෑ. එය එසේ විය යුතුත් නෑ. කෙනෙක්ගේ වරදකට ඔහුගේ හෝ ඇයගේ මව්පියන්ට තිත්ත කුණුහරුපෙන් ආමන්ත්‍රණය කිරීම බනින පුද්ගලයාගේ පහත් බව නොදැනුවත්වම හුවා දැක්වීමක් විදියටයි මම දකින්නේ.

දෙමාපියන්ගේ ණය ගෙවිය නොහැකි බව අපේ බුදු රජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. ඒ බවට හොඳ උදාහරණත් පෙන්නලා දීලා තියෙනවා. ඒ වගේ තම තමන්ගේ ජීවිත වලට ජීවය දුන් අය වෙනුවෙන් කුණුහරුපෙන් නමස්කාර කිරීම කෙතරම් අශීලාචාරද කියලා හිතන්න පුළුවන් නේද? ඇයි අපි වෙනත් පුද්ගලයකුට ජීවය දුන්නු උත්තම දෙපලකට කුණුහරුප නමස්කාරය කරන්නේ? කෙනෙක්ගේ වරදකට දඬුවම් ලැබිය යුත්තේ හෝ දෝශාරෝපණයට ලක් විය යුත්තේ ඒ පුද්ගලයා මිසක ඔහු හෝ ඇයගේ මව්පියන්, නෑදෑයන් නෙවෙයි.

අපි මිනිසුන් වශයෙන් තරහක් පාලනය කර ගැනීමට ඉගෙන ගත යුතුයි. නැති නම් කටට එන හැම වචනෙකින්ම වෙනකෙකුට ප්‍රහාර එල්ල කිරීම අශෝභන වගේම තිරිසන් ගතියකුත් වෙනවා. මින් මතුවටවත් කෙනෙකුට බනිද්දී ඔවුනගේ මව්පියන් කුණුහරුපෙන් ආවර්ජණය නොකර සිටීමයි වඩාත් වැදගත්. ඉන් සිද්ධ වෙන්නේ දෙපාර්ශවයටම යහපතක්. කවදාකවත් කුණුහරුපයක් ආයුධයක් කර ගන්නට හිතන්න එපා. කෙනෙකුගේ කටින් කුණුහරුපයක් පිට වෙනවා නම් ඔහු හෝ ඇයගේ තත්ත්වය ගැන මිනුම් දණ්ඩක් මුළු සමාජයටම ඒ පුද්ගලයා විසින් එළි දැක්වීමකුයි සිද්ධ වෙන්නේ. තම තමන්ගේ තත්ත්වය, නම්බුව ගැන දෙවරක් සිතිය යුතු කාලයක් උදා වෙලා තියෙන්නේ ඔන්න ඔය නිසයි. කෙනෙක් සමාජයේ කොයි තරම් නම් ඉහල තලයක වැජඹුනත්, වචනින් ඔහුගේ ඒ තත්ත්වය බිඳ වැටෙන්න ගත වෙන්නේ හරිම සුළු මොහොතක් විතරයි. එයිනුත් අනුන්ගේ දෙමාපිය වර්ණනාවන් වලදී.

ඔය පිට වෙන හැම වචනයකටම වන්දි ගෙවන්න වෙන්නේ ලේසි පහසු විදියකට නම් නොවන බව මතකයේ තියා ගත යුතු වෙනවා. සතර නිරයන් සහ එහි අනු කොටස් වශයෙන් නිරයන් විදියට ශාකාවන් බෙදිලා තියෙන්නේ අපි වෙනුවෙන් සුපිරි ගණයේ සැලකිලි ලබා දෙන්නමයි.
 

Copyright 2010 tee දුටු ලොව.

මෙහි පළ වී ඇති සියළුම ලිපි වල හිමිකාරීත්වය "TeeRox" වන මා සතුව පවතින අතර, දැනුම් දීමකින් තොරව හෝ අවසරයක් නොමැතිව උපුටා ගැනීම හෝ වෙනත් කටයුතු සඳහා යොදා ගැනීම සපුරා තහනම් බවත්, ඒ සඳහා නීතිමය ක්‍රියාමාර්ග කරා යාමටද හැකියාව ඇති බවත් කරුණාවෙන් සලකන්න.