Sunday, April 22, 2012

ආයෙත් වතාවක් ලස්සන ගීතයක අරුත කියන්න මේ ලිපිය ලියන්නට හිතුවා. මේ ගීතය ඉන්දියානු චිත්‍රපටයක පැමිණෙන ගීතයක්. චිත්‍රපටය තමයි "ලාක්ශ්යා". ශන්කර් එහෙසාන් ලෝයි විසින් සංගීතය මුසු වුන මේ ගීතය නම් වන්නේ "කිත්නී බාතේන්" යනුවෙන්. එක්තරා තරුණයෙක් යුධ හමුදාවට බැඳිලා මුණ ගැසුණු විටෙකදී ඔහු ඔහුගේ පෙම්වතිය සමග සිතෙන් කරනා කතා බහක් ලෙසිනුයි මේ ගීතය ගලා යන්නේ. ලස්සන අරුතක් තියෙන නිසා මේ ගීතයේ තේරුම පරිවර්තනය කරලා පල කරන්නට සිතුන නිසාවෙන් මේ ආකාරයෙන් පල කෙරෙනවා. අදාල ගීතයේ චිත්‍රපටයේ අඩංගු රූප රාමු මෙන්ම මේ අරුතට අදාල වචන සහිත ගීතයත් ගීතයේ සිංහල අරුතට පහතින් පල කෙරෙනවා. චිත්‍රපටයේ අඩංගු ගීතයේ වචන වල වෙනසක් තිබුනත් පහත අදහස චිත්‍රපටයේ ඇල්බමයේ එන ගීතයට අනුකූලවයි. රස විඳීම ඔබට භාරයි.

කෙතරම් දේවල් මතකයේ සිතුවම් වෙලා තියෙනවද කියා ගන්නට,
ඒවා මම කෙසේ අමතක කරන්න ද? හදවතට කුමක් කියන්න ද?

කෙතරම් දේවල් කියන්නට තිබුනත් ඒත් ඒවා දෙතොල් අගදී නිහඬයි
දවසක ඒවාට සවන් දෙන්න, ඇයි ඒ ගැන අවධානයක් නැත්තේ?

ඇයි මේ කතාව සම්පූර්ණ නොවුනේ?
මේ දුරස් බව ඇති වුනේ කොහොම ද?

දෙදෙනාගේ ම හදවත් වල අසාමාන්‍ය දුකක් සැඟවිලා,
එය අඩු වේදෝ? කාටද කියන්න පුළුවන්?

දෙදෙනා ම වරකදී මේ ජීවිතේ සංධිස්ථානයක් පහු කලා
ඒක මොන වගේ පාළුවක් ද? කාටද කියන්න පුළුවන්?
මේ මොහොත කෙතරම් හුදෙකලා වෙලා ද?
පිටවෙන සුසුමත් එක්ක ම දුමාරයක් මැකිලා යන්නා සේ මේ දුරස් බව ඇති වුනේ කෙසේද?

කෙතරම් දේවල් මතකයේ සිතුවම් වෙලා තියෙනවද කියා ගන්නට,
ඒවා මම කොහොම අමතක කරන්න ද?

අද ඔබ මුණ ගැසුනායින් පසු පෙර දා ගත කළ මොහොත හදවතට සිහි වී
දෙනෙතින් කඳුළු පැන්නේ ඇයි? ඒත් දැන් කුමක් කියන්න ද?

ඔබව ඒ අයුරෙන් දුටුවාම හිතේ බලාපොරොත්තුවක් ඇති වුනා,
ඔබේ ආදරය ලබන්න, ඒත් දැන් කුමක් කරන්න ද?
අප පැමිණියේ කොහේට ද දැන් ?
හදවතේ ගමන් රිය හැරී බලන්නේ මේ දුරස් බව කෙසේ ආවාදෝ කියායි

කෙතරම් දේවල් කියන්නට තිබුනත් ඒත් ඒවා දෙතොල් අගදී නිහඬයි
දවසක ඒවාට සවන් දෙන්න, ඇයි ඒ ගැන අවධානයක් නැත්තේ?

කොයි තරම් දේවල් සිතුවම් වෙලා තියෙනවා ද මතකයේ කියන්න,
ඒවා මම කෙසේ අමතක කරන්නද? හදවතට කුමක් කියන්න ද?






Tuesday, April 17, 2012

හැමෝටම සෞභාග්‍යමත් සුබ නව වසරකට ආසිරි පතන ගමන්ම සිංහල අලුත් අවුරුද්දෙන් පස්සේ මගේ මුල්ම ලිපිය ගොඩක් කාලෙකට පස්සේ මේ විදිහට ලියැවෙන්නයි යන්නේ. මේක ගොඩක් කාලීන අවශ්‍යතාවයක් කියලා දැනුන නිසයි මේ ලිපිය මේ මොහොතේදී ලියන්නට තීරණය කළේ. ඒත් ටිකක් පහු වෙලා. මොකද මේ කියන්න යන දේ මම ලියනවාට වඩා ඇසිය යුතු දෙයක්. විශේෂයෙන්ම සිංහල බෞද්ධයින්. විශේෂත්වය තමයි මේ සිංහල අලුත් අවුරුද්ද අපි උත්සවාකාරයෙන් සමරන සංස්කෘතිකමය විශේෂ උත්සවයක් නිසා. ඒ වගේම අපි සමරන බොහෝමයක් උත්සව ගැනත් මේ කියන්න යන දෙයෙහි ඇතුලත් වෙනවා. නිවැරදිව උත්සව සමරන්නේ මොන ආකාරයෙන්ද, ඒවා අර්ථවත්ව සැමරීම ඔවුනොවුන්ට වැදගත් වන්නේ මන්ද, සහ විවිධ දෘශ්ටි වලට යටත්ව බෞද්ධයින් දැඩිව එල්බ ගෙන සිටින නොයෙක් වැරදි ක්‍රමවේදයන් පිළිබඳව මෙහි අන්තර්ගත වෙනවා.

මේ ලිපියෙන් පල කරන්නේ මෑත ඉතිහාසයේ අප රටේ ඉහලින්ම වැජඹුණු ධර්ම කථිකයන් වහන්සේ නමක් විසින් පවත්වපු ධර්ම දේශණාවක් ගැනයි. ඒ අන් අයෙකු නොව ගංගොඩවිල සෝම ස්වාමීන්ද්‍රයන් වහන්සේයි. උන්වහන්සේ මීට වසර 15කට පමණ පෙර දේශණා කළ මේ ධර්ම දේශණාව අදටත් කෙතරම් අදාල වෙනවාද යන වග මේ පල කරන ධර්ම දේශණාවේ සඳහන් වෙන කරුණු මගින් හැම දෙනාටම අවබෝධ කර ගන්නට හැකියාවක් ලැබේවි. එම ධර්ම දේශණාවේ අඩංගු කරුණු වචනයෙන් ලිපියක් හරහා පල කරනවාට වඩා උන්වහන්සේගේම හඬින් ශ්‍රවණය කරනුවස් පහතින් එම දේශණාවේ ශ්‍රව්‍ය දෘශ්‍ය පටිගත කිරීමක් පල කරන්නට මම සිතුවා. විනාඩි 50කටත් අඩු එම දේශණාව අවසන් වන තුරු ශ්‍රවණය කරනා මෙන් මම මේ ලිපිය කියවන සියලුම සිංහල බෞද්ධයින්ගෙන් ඉල්ලා සිටිනවා. අවසානයේදී මේ සඳහන් වෙන කරුණු වලට එකඟ විය හැකි නම් තවත් ඔබ වැනිම සිංහල බෞද්ධයෙකු හට මෙය ශ්‍රවණය කිරීමට සලස්වන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිනවා.

 

Copyright 2010 tee දුටු ලොව.

මෙහි පළ වී ඇති සියළුම ලිපි වල හිමිකාරීත්වය "TeeRox" වන මා සතුව පවතින අතර, දැනුම් දීමකින් තොරව හෝ අවසරයක් නොමැතිව උපුටා ගැනීම හෝ වෙනත් කටයුතු සඳහා යොදා ගැනීම සපුරා තහනම් බවත්, ඒ සඳහා නීතිමය ක්‍රියාමාර්ග කරා යාමටද හැකියාව ඇති බවත් කරුණාවෙන් සලකන්න.