Monday, May 14, 2012

ප්‍රාතිහාර්ය කියන්නේ හැමෝම ආස කරන දෙයක්. මොන රටක වුනත් ඕනෑම මනුස්සයෙක් කැමතිම දෙයක් තමයි ප්‍රාතිහාර්ය කියන්නේ. ප්‍රාතිහාර්ය දකින්නට කැමති පිරිස් තමයි සමාජයේ වැඩියෙන්ම දකින්න පුළුවන් වෙන්නේ. ඊට අමතරව ප්‍රාතිහාර්ය කරන්න පුළුවන් පිරිස් ඉන්නේ බොහෝම කලාතුරකින්. ඒ විතරක් නෙවේ. ප්‍රාතිහාර්ය ඉබේටම සිද්ධ වෙන අවස්ථාවලුත් තියෙනවා. ඒත් ඒවාත් අර මුලින් කියපු ප්‍රාතිහාර්ය කරන මිනිස්සු වගේම දුලබ දෙයක්. සාමාන්‍යයෙන් කෙනෙක්ට කරන්න බැරි දෙයක් සිද්ධ කලොත්, සිද්ධ වුනොත් ඒ වගේ දෙයක් ප්‍රාතිහාර්යයක් විදියට හඳුන්වන්න පුළුවන්. බොහෝ කාලයක් තිස්සේ කරන්නට බැරිව තිබූ දෙයක් යම් කෙනෙක් කලොත් ඒක ප්‍රාතිහාර්යයක් විදියට සමාජයේ ජීවත් වෙන මිනිසුන් තීරණය කරන්නට පෙළඹෙනවා. ඒක හරිම සාමාන්‍ය අර්ථ දැක්වීමක්. ඒත් විශ්වකර්ම ප්‍රාතිහාර්ය සිදු කරන මිනිස්සුත් සමාජෙ ඉන්නවා. හරියට දශක තුනක් තිස්සේ මේ රටේ තිබුණු යුද්ධෙ ඉවර වීම ප්‍රාතිහාර්යයක් විදියට සැලකීම.


නිකමට අපි මේ ප්‍රාතිහාර්ය ඉංග්‍රීසියට පරිවර්තනය කලොත් කියන්නේ "Miracle" (මිරකල්) කියලා. එහෙමත් නැත්නම් සමහර ප්‍රාතිහාර්ය "Magic" (මැජික්) කියලාත් කියන්න පුළුවන්. ඒත් ප්‍රශ්ණය නම් මිනිස්සු ඇයි ප්‍රාතිහාර්ය වලට මේ තරම් කැමති කියලා. මේ ප්‍රාතිහාර්ය දැකීමෙන් තමන්ට හරි අනුන්ට හරි සිද්ධ වෙන ඵ්හලය මොකද්ද කියලා තමයි ගැටළුව. පෙළක් වෙලාවට රටක ජනතාවට ප්‍රශ්ණ ගැටළු ඇති වෙලා තියෙන සමයක් වුනොත් රජයේ හරි සමහර පිරිස් හරි තමන්ගේ ජනප්‍රියතාව, ලාභ ප්‍රයෝජනය තකා රටවැසියන්ට ප්‍රාතිහාර්ය පෙන්වන්න උත්සාහ කරනවා. මේ කියන්නේ ක්‍රිකට් ක්‍රීඩා තරඟ පෙන්වීම ගැන නම් නෙවෙයි. හැබැයි කාලේ හැටියට ඒ වගේ තරඟයක් දින්නොත් නම් ප්‍රාතිහාර්යයක් වෙන්නත් පුළුවන්. කොහොම නමුත් මේ ලිපිය ලියැවෙන්නේ අපේ බෞද්ධ ජනතාව වෙනුවෙන්. මොකද ඔවුන් තරම් ප්‍රාතිහාර්ය පසු පස හඹා යන පිරිසක් මේ රටේ වෙනත් නැති තරම්. ලැබෙනා තැනකින් ඕනම කැප කිරීමක් කරලා ලබා ගන්න හැකි නම් අපේ බෞද්ධ ජනතාව ඕනෑම දෙයකින් රවටන්නට හරිම ලෙහෙසි පහසු පිරිසක් වෙලා දැන් බොහෝම කාලයක් ගත වෙලා.

බෞද්ධ නීති වල සඳහන් එක් කරුණක් තමයි භික්ෂූණ්ට ජනයා තමන් කෙරෙහි පැහැදවීමට හෝ බුදු දහමට නැඹුරු කර ගැනීමට ප්‍රාතිහාර්ය පෑම තහනම් වීම. එය මනාව පෙනෙනා අවස්ථා විදියට බුදු රජාණන් වහන්සේ විසින් යමා මහ පෙළහර කීප විටක් පමණක් පෑම සඳන් කරන්න පුළුවන්. ඒවා පෑවේ අනුන් තමන් කෙරෙහි පහදවා ගැනීමට යැයි යමෙක් පවසනවා නම් ඊට හොඳම පිළිතුර වන්නේ උන්වහන්සේ එම ප්‍රාතිහාර්යය පෑවේ මානය බිඳිමට හෝ, නොදැමිණු පුද්ගලයින් දමනය කිරීමට යන්නයි. තවත් එක් උදාහරණයක් හැටියට ගඟකින් එතෙරවීමට භික්ෂු සංඝයා පිරිවරාගෙන සිටියදී බුදු රජාණන් වහන්සේට එක් භික්ෂුවක් සෘද්ධියෙන් ගඟ එතෙර නොවන්නේ මන්දැයි විමසූ විට තොටියාගෙන් ගඟ තරණයට වැය වන මුදල කොපමණදැයි විමසා ලැබුණු පිළිතුරෙන් එවන් සෘද්දියක වටිනාකම අද වටිනාකමෙන් නම් සත පහක පමණ වටිනාකමක් බව පෙන්වා දෙන්නට යෙදුනා. මෙයින් පැහැදිළි වෙන්නේ බුදු රජාණන් වහන්සේ ප්‍රාතිහාර්ය පෑම පිළිබඳව දරා ඇති අදහසයි.

එහෙම නම් බෞද්ධයා ප්‍රාතිහාර්ය, විජ්ජා රස විඳීමට පුරුදු වුනේ කෙසේ ද? ඒවා පසුපස දුවන්නට හුරු වූයේ කෙසේ ද? පළමු හේතුව නම් අන්‍යාගම් පසුපස උදව් ඉල්ලා, බලාපොරොත්තු ඉටු කර ගැනීමට, නැති වූ දේවල් ලබා ගැනීමට, ලාභ සත්කාර ලැබීමට යාමයි. අනෙක් හේතුව විවිධ පුද්ගලයන්ගේ කටකතා, ප්‍රකශ හිස් මුදුණින් පිළිගෙන ඒවාට අනුගත වෙමින් මේවා දැකීමට ප්‍රිය කිරීම. විශේෂයෙන් ජ්‍යෝතිෂවේදීන් නින්දෙන් අවධිව ලෝකයටම කියා පාන ඔවුන් නින්දේ දී දකිනා මනෝ විකාරී සිහින වලට අනුව කරනා ප්‍රකාශ. මෑතකදී ද එවන් අවස්ථාවක් උදා වුනේ බුදු පිළිම වලින් රැස් විහිදෙන බවක් කියූ හෙයින්. වරක ද අපේ බෞද්ධ බැතිමත්, ශ්‍රද්ධාවන්ත ජනතාව වැස්සකටවත් ගොඩ නොවදින ගමේ පන්සලට දිව ගියේ එසේ බුදු පිළිම වලින් විහිදෙන බුදු රැස් දැකීමටය. නිතර බණ අසනා එවන් බොදු ජනතාවක් ඇත්තේ මෙරට පමණක් කියා සිතීම ද දුක්බර තත්ත්වයකි.

එසේ නම් කළ යුත්තේ කුමක් ද? ඇත්තෙන්ම ආශ්චර්‍ය, ප්‍රාතිහාර්ය දකින්නට අවශ්‍ය නම්, තමන් ඉවැරදිව ජීවත් වීම ම බෙහෙවින් ප්‍රමාණවත්. පන්සිල් රැකීම ම ඒ සඳහා ප්‍රමාණවත්. වචනයෙන් පිළිමයක් ඉදිරියේ සමාදන් නොවුනත්, තමන් තමන්ටම බොරුවක් වංචාවක් නොකර හිතෙන් එම පන්සිල් රැකීමට සිතා ගෙන ඒවා පිළිපැදීම ම බෙහෙවින් වටිනා දෙයක්. ඊට හේතුව ප්‍රාතිහාර්යය දකින්න ලැබෙන්නේ වෙන අන් යමෙකු හරහා හෝ අජීවී වස්තුවක් හරහා නොවීමත් ඒ තමන් තුලින් ම වීමත්. සායි බාබා පරළෝසැපැත් වූ විට හඬා වැළපුණු, දෙවියන්ගෙන් දරුවන් ලැබීමට, හොරු සෙවීමට, වශී බන්ධන කර ගැනීමට, පැතුම් ඉටු කර ගැනීමට දේවාල වලට ගොස් වැඳ වැටුනු ශ්‍රී ලාංකික බෞද්ධයිනි, බුදු රජාණන් වහන්සේ අනුව යමින් වෙන අන් අයගේ ආශ්චර්ය වලට ලොබ බැඳ ඔවුන්ගේ සරණ පතාගෙන ගිය ඔබ සැවොම බුදු දහමටත් බුදු රජාණන් වහන්සේටත් ප්‍රසිද්ධියේම අපහාස කළ ඇත්තෝ බව වටහා ගැනීම වැදගත් බව මතක තියා ගන්න.

Friday, May 11, 2012

මාතෘකාව දුටු සැණින් බොහෝමයක් දෙනා මේ ලිපිය කියවන්නට හිතාගෙන මේ පැත්තට එන්නට පුළුවන්. එනමුත් මේ පිළිබඳව අවධානය යොමු කළ යුත්තේ ඔබත් මේ දෙවල් හා සම්බන්ධ අයෙක් නම්, මේ දේවල් පසුපස හඹා යන අයෙක් නම් පමණයි කියාත් කිව යුතුයි. මන්ද යත් මේවා අද පමණක් නොව ලෝකයේ පැරණි‍ යැයි කියනා රැකියාවේම ව්‍යාප්තියක් ලෙසට හඳුන්වන්නට පුළුවන් දේවල් නිසා. ඒ වාගේම අති විශාල ආකාරයෙන් කාලයක් තිස්සේ අද වෙන විට විශාල හිස එසවීමක් සිද්ධ වෙලා තියෙන දේවල් තමයි මේ. එසේ කීමට හේතුව, පසුගිය කාලයේ දී එවන් ප්‍රවෘත්ති බොහෝමයක් ජන මාධ්‍ය ඔස්සේ අසන්නට දකින්නට අප හැමෝටම ලැබුන නිසා.

ඒත් මේ ලිපියෙන් කියන්න යන්නේ මටත් මාගේ මිතුරෙකුටත් දකින්නට ලැබුනු, තවමත් දකින්නට ලැබෙන දේවල් කීපයක් ගැන පුංචි අවධාරණය කිරීමක්. සමහර විට ඔයාලාත් දැක තිබෙන සුලභ දසුනක් විය හැකියි. නමුත් මේ පිළිබඳව මීට පෙර කිසිවකු කතා කර තිබෙනවාද යන්න කිව නොහැකියි. සමහර විට සමහරෙක් මේ ගැන ප්‍රශ්ණ කරන්නටත් පුළුවන්, මේ දේවල් ඒ අදාළ පුද්ගලයන් හට ජීවිකාව ලෙස කරගත්තාට වරදක් නැති ලෙසත්. ඒත් මේවායෙන් සිදු වෙන සමාජයේ ගැටළු සහගත සිදුවීම්, අවස්ථා එන්න එන්නම වැඩි වීමයි ප්‍රධානම කරුණ.

මේ තාක් මේ ලිපිය කියවපු හැමෝටම තේරුම් යන්නට ඇති මේ කියන්න යන්නේ ගණිකා වෘත්තිය පිළිබඳව බව. සාමාන්‍යයෙන් අප දන්නා තරමට මේ වෘත්තිය ඈත අතීතයේ සිට ම පවත්වාගෙන පැමිණියේ කාන්තා පාර්ශවය විසිනි. නමුත් බොහෝ විදේශයන්ගේ නම් මේ තත්ත්වය මඳක් වෙනස්. ඒ මන්ද යත් මෙය කාන්තාවන්ට පමණක් සීමා නොවුන පුරුශයන් පවා වැළඳගත් වෘත්තියක් වී තිබීම. ඒත් ඒ ප්‍රවණතාව අප රටේ කුමන තත්ත්වයේ තියෙනවාද යන්න පිළිබඳව නම් සොයා බැලිය යුත්තක්. නමුත් දත යුතු කරුණ නම්, ඒ පාර්ශවයේ දායකත්වයත් යම්තාක් දුරකට මෙරට සිද්ධ වන බව.

පිටකොටුව වැනි තදාසන්න ප්‍රදේශ වල මේ වෘත්තිකයන් බහුලව දැක ගන්නට හැකි වුවත්, හොඳින් නිරීක්ෂණය කළ හොත් අනෙක් තදාසන්න නොවෙන ප්‍රදේශ වලත් දැක ගැනීමට හැකි වේවි. ඊට හේතුව නම්, මුලින් සඳහන් කළ ඇසින් දුටු අත්දැකීම. නගරබද ප්‍රදේශ වල කාන්තා සේවකයින් දැක ගැනීමට නිතර අවස්ථා උදා වනවා. ඒ බොහෝ වෙලාවට අඳුර වැටීගෙන එන අවස්ථා වලදී. එය සාමාන්‍ය දෙයක්. නමුත් වෙනස නම් මෙයයි. මුලින් සඳහන් කළ නුගේගොඩ නගරයේ කාන්තා මෙන්ම පුරුශ ලිංගික සේවකයන් පවා රාත්‍රී කාලයේදී තැන් තැන් වල රැඳී ඉන්නා බව දැක ගන්නට පුළුවන්. නමුත් මොවුන් කාන්තාවන් වෙනුවෙන් කැප වූවන් නොවීමත්, සමරිසි පුද්ගලයින් වීමත් තමයි මීළඟ වෙනස් කම. මන්ද යත් මෙම පුරුෂයින් කරා පැමිණෙන්නේ පුරුෂයින් ම පමණක් බැවින්.

කාන්තා ස්වරූපයෙන් හැඳගත් විකෘති මානසිකත්ව ඇති පුරුශ-ලිංගික සේවකයිනුත් නොයෙක් අවස්ථා වලදී දැක ගනීමට අවස්ථාව ලැබෙනවා. නමුත් මෙවන් වෘත්තියක නොයෙදෙන එවන් පිරිස් ද සමාජයේ සිටිනවා. මොවුන්ගේ ක්‍රියාකාරකම් හොඳින් නිරීක්ෂණය කළහොත් බොහෝ දෑ හාස්‍යජනක සිදුවීම් සහ පිළිකුල් සහගත දෑ බව තේරුම් ගැනීමට හැකි වේවි. මන්ද යත් ඒවා මමත් , මිතුරාත් බොහෝ අවස්ථා වලදී දුරින් සිට නිරීක්ෂණය කොට හිනා වූ වාර බොහෝ සේ තිබූ බැවින්. බස් නැවතුම් අසල, අඳුරු ප්‍රදේශ වල මෙවන් පුද්ගලයින් දැකීමට හැකිය. නමුත් දුලභය. කාන්තාවන් ද එසේමය. ඔවුන්ගේ හැඩ රුව, විරූපී දේහ ලක්ශණ, හැසිරීම් සහ නිර්ලජ්ජි ක්‍රියා දැකීමෙන් හැඟී යන්නේ මොවුන්ට කිනම් ආකාරයේ සමාජ රෝගී තත්ත්වයන් වැළඳී ඇත්ද, මෙවන් අය සමග මිනිසුන් අසම්මත ලෙස හැසිරෙන්නට තරම් මන්ද මානසිකත්වයෙන් පෙළෙන්නේ මන්ද යනුවෙනුයි.

තම සහකරුවා හෝ සහකාරියගෙන් හෝ නිසි සතුටක් ලබන්නට බැරි බොහෝ දෙනා මෙවන් පහසු ක්‍රම වලින් මුදල් වැය කොට හෝ නොකොට තම ශාරීරික අවශ්‍යතා පිරිමහ ගැනීමට කිසිදු බියක් ඇති කර නොගැනීම ම පුදුමයට කරුණකි. මැදි වියේ පුද්ගලයින්, ත්‍රී රෝද රථ රියදුරන්, වාහන වලින් පැමිණෙන්නන් මෙලෙස පාරේ සිටින කාන්තා සහ පිරිමි ලිංගික සේවකයන් අසුරු කරන අයුරු දැකීම ම අප්‍රියජනක දසුනකි. ඔවුන් බිලි දෙන්නේ තමන්ගේ පතිවත හෝ පතිනිවත හෝ ජීවිතය හෝ විය හැකිය. නමුත් ඒ තාවකාලික සතුටක් වෙනුවෙනි. මෙය ඔවුනගේ ජීවිකාව විය හැකිය. නමුත් බිඳ වැටෙන්නේ බැඳීම් ය. එමෙන්ම මෙය එක් නගරයක් පිළිබඳව පමණක් විය හැකිය. නමුත් මෙවන් දෑ රටේ ඕනෑම ප්‍රදේශයක පවතින සාමාන්‍ය දේවල් බවට පත් වී හමාරය.
අදත් අළුත් ලිපියකින් මම ගෙන එන්නේ තවත් ගීතයක අරුතක්. ඒ බටහිර ඉංග්‍රීසි ගීයක්. 70 දශකයේ ජනප්‍රිය වූ ඇබා සංගීත කණ්ඩායම විසින් ගායනා කරන්නට යෙදුන මේ ගීතය හඳුන්වා ඇත්තේ "Our Last Summer" (ගෙවී ගිය ගිම්හාන කාලය) යනුවෙන්. ශ්‍රී ලාංකික ඇබා ලෝලීන්ට වුවද නිතර අසන්නට නොලැබුණු ගීතයක් ලෙසින් මෙය හැඳින්විය හැක. මෙය 2008 දී තිරගත වූ ඇබා සංගීත සහ ගීත ඛණ්ඩ යොදා නිර්මාණය වූ "Mamma Mia!" චිත්‍රපටයේද අඩංගු වූ මනරම් තනුවකින් හා ලස්සන අදහසකින් යුතු ගීතයක්. එය මෙසේ මා විසින් පරිවර්තනය කොට මෙම ලිපියෙන් ඉදිරිපත් කෙරෙනවා ඇති. මේ අරුතේ පහළින් පල කර ඇති ගීතයේ වීඩියෝ දසුන් ද රස විඳින්නට අමතක කරන්න කරන්න එපා.

The summer air was soft and warm
The feeling right, the Paris night
Did it's best to please us
And strolling down the Elysee
We had a drink in each cafe
And you
You talked of politics, philosophy and I
Smiled like Mona Lisa
We had our chance
It was a fine and true romance

ගිම්හාන කාලයේදී හමන සුමුදු උණුසුම් සුළඟ පැරීසියේ ගත කළ රාත්‍රියේදී අප බොහෝ හොඳින් පිනවූවා. එලිසීයේ ගමන් ගනිත්දී හැම ආපාන ශාලාවකදි ම අපි බීමක් ගන්න අමතක කළේ නෑ. ඒ අතරේදී ඔබ දේශපලනය, දර්ශනවාදය ගැන කතා කරද්දී මම මොනා ලීසා වගෙ හිනා වුනා. ඊට අපිට අවස්ථාවක් ලැබුනා. එය කදිම පෙම් කතාවක්.

I can still recall our last summer
I still see it all
Walks along the Seine, laughing in the rain
Our last summer
Memories that remain

මට තවමත් මතකයි ඒ ගත වූ ගිම්හානය, ඒ හැම දෙයක් ම තවමත් දකිමි. මාදැල් දිගේ ඇවිදිමින් වැස්සේ හිනැහෙමින් ගත කළ ඒ ගිම්හානයේ මතකයන් තවමත් රැඳී තිබේ.

We made our way along the river
And we sat down in the grass
By the Eiffel tower
I was so happy we had met
It was the age of no regret
Oh yes

අප ගඟ දිගේ ඇවිද ගොස් අයිෆල් කුළුණ අසබඩ තණනිල්ලේ ඉඳන් හිටියා. අප පසුතැවිලි නොවූ ඒ සමයේ අපගේ හමු වීම මට බොහෝ සතුටුදායක කරුණක් වූවා. 

Those crazy years, that was the time
Of the flower-power
But underneath we had a fear of flying
Of getting old, a fear of slowly dying
We took the chance
Like we were dancing our last dance

ඒ උමතු වසරවල් අප ආදරෙන් ගත කළ කාලයයි. නමුත් හිත් ඇතුලෙන් අප ඉක්මණින් වයසට යාදෝයි බියක් වාගේම හෙමිහිට මරණයට ලං වේදෝයි බියක් පැවතිණි. අප ඒ ගැන සිතා ඉන් ප්‍රයෝජන ගත්තේ අපි අපේ අවසන් නැටුම නටන්නාක් මෙනි යන සිතුවිල්ලෙනි.

I can still recall our last summer
I still see it all
In the tourist jam, round the Notre Dame
Our last summer
Walking hand in hand

මට තවමත් මතකයි ඒ ගත වූ ගිම්හානය, ඒ හැම දෙයක් ම තවමත් දකිමි. නොටර්ඩෑම් වටා සංචාරකයින්ගේ තදබදය අස්සේ අතින් අත දෙමින් අපි ඒ ගතවූ ගිම්හානයේ දී ඇවිද ගිය හැටි තවමත් මතකයි.

Paris restaurants
Our last summer
Morning croissants
Living for the day, worries far away
Our last summer
We could laugh and play

පැරීසියේ ආපන ශාලා වල උදෑසන ආහාරයට ගත් බනිස් වලින් ඒ දිනය වෙනුවෙන් ජීවත් වූ, දොම්නස් ඉවතලා සිනහවෙන් කෙළිදෙලෙන් ඒ ගතවූ ගිම්හානය සිහිවේ.

And now you're working in a bank
The family man, the football fan
And your name is Harry
How dull it seems
Yet you're the hero of my dreams

බැංකුවක රැකියාව කරන, පවුලට ලැදි, පාපන්දු රසිකයෙක් වූ, හැරී නම් ලද ඔබ නීරස යැයි සිතෙතත් ඔබ තවමත් මගේ වීරයායි.

I can still recall our last summer...

මට තවමත් මතකයි ඒ ගත වූ ගිම්හානය, ඒ හැම දෙයක් ම තවමත් දකිමි. මාදැල් දිගේ ඇවිදිමින් වැස්සේ හිනැහෙමින් ගත කළ ඒ ගිම්හානයේ මතකයන් තවමත් රැඳී තිබේ.

මට තවමත් මතකයි ඒ ගත වූ ගිම්හානය, ඒ හැම දෙයක් ම තවමත් දකිමි. නොටර්ඩෑම් වටා සංචාරකයින්ගේ තදබදය අස්සේ අතින් අත දෙමින් අපි ඒ ගතවූ ගිම්හානයේ දී ඇවිද ගිය හැටි තවමත් මතකයි.

පැරීසියේ ආපන ශාලා වල උදෑසන ආහාරයට ගත් බනිස් වලින් ඒ දිනය වෙනුවෙන් ජීවත් වූ, දොම්නස් ඉවතලා සිනහවෙන් කෙළිදෙලෙන් ඒ ගතවූ ගිම්හානය සිහිවේ.




Sunday, May 6, 2012


වෙසක් පුන් පොහෝ දිනය ඊයේ දිනයේදී උදා වුණා. ඒ සමග ම ඔබ සැමට ම නිවණ කරා සිත යොමු වන, දුරාචාරී සිත් ඇති නොවෙන, නිරන්තරයෙන් සිතේ සතුට පිරී තිබෙන, නිරෝගී, සුවපත් වූ ශ්‍රී සුභ නව බුද්ධ වර්ෂයක් වේවා කියාත් ප්‍රාර්ථනා කරනවා.

ඒ නිමිත්තෙන් මෙසේ පලවන ලිපිය ලිවීමට හේතු වන්නේ එක්තරා ආරවුලකට හේතු පාදක වුනු දේවල් කිහිපයක් නිසාවෙන්. ඒ බුදු දහම ආශ්‍රිතව සිදු වූ එක්තරා අනවශ්‍ය ආරවුලක්. මන්දයත් බුදු දහම යනු එක්තරා සීමාවකට යටත්ව තමන් දන්නා කරුණු පමණක් පදනම් කරගෙන බුදු දහම වැරදි ලෙසින් ග්‍රහණයට ගෙන සිටිනා අයද මේ සමාජයේ සිටිනා බැවින්. එහෙයින් මේ ලිපිය එවන් අයගේ මානසික මට්ටම් පිළිබඳව සිදු කෙරෙනා විචාරයක් ලෙසින් මෙසේ ලියැවෙන වගයි. මේ ලිපිය ලියන මා පාරිශුද්ධ බෞද්ධයෙකු නොවේ. නමුත් එවන් තත්ත්වයකට පැමිණීමට උත්සාහ කරන්නෙකු පමණි. ධර්මය ගැන දන්නා මනාව හසුරවන යම් යම් පුද්ගලයන් ඇසුරෙන් ලද දැනුම් සම්භාරයන් හේතුවෙන් සහ යම් වටිනා බෞද්ධ පොත් පත් කියවීම හේතුවෙන් ලද දැනුම මත මෙවන් ලිපියක් පල කිරීමේ අවශ්‍යතාවද මත ලියැවෙන්නකි මේ.

බුදු දහම තමන් වටහා ගන්නා, තමන්ට ඇසෙනා, තමන් දන්නා අයුරින් වැරදි කොණින් අල්ලා ගෙන අනුන්ගේ වැරදි හොයනා මිනිසුන් උන්මත්තකයන් මෙන් බොහෝ විට සමාජයේ හැසිරෙයි, බැණ වදියි. නිර්මල බුදු දහම යනු අනුන් ගැන, අනුන්ගේ වැරදි නොසොයා තමන් ගැන පමණක් සෙවීමට උපදෙස් දෙන දහමකි. ඒ මන්ද යත්, තමා කරනා දෙයෙහි පල තමාට මිස අන් අයෙකුට විඳීමට සිදු නොවෙන බැවින්. තමන් කරන්නේ යමක්ද, ඊට ප්‍රතිවිරුද්ධව ක්‍රියා කරන්නන් කෙරෙහි ද්වේශ සහගතව හැසිරෙන බොහෝ අය මානසික ලෙඩුන් නොම වේ නම්, පාරිශුද්ධ බෞද්ධයන් විය නොහැක. දිනපතා බුදුන් වන්දනා කළ ද බද්ධ වෛරයන්, අනුන්ගෙන් සිදු වූ වැරදි, අතපසු වීම්, සිතා මතා කළ වැරදි හෝ දිනෙන් දින මතකයේ තබා ගන්නේ නම්, දිනකට තෙවරක් බුදුන් වන්දනා කළ ද ඉන් තමන්ට හෝ අනුන්ට සිදු වන යහපත ඒ ආකාරයෙන්ම සිදු නොවන්නේය. මන්දයත් කෙතරම් පිංකම් කළද, ද්වේශ සහගතව ක්‍රියා කරන්නන් වෛරය පතුරනවා විනා මෛත්‍රීය නොපතුරවන හෙයිනි. යම් පිංකමක් කළ යුත්තේ තමාගේත් අනුන්ගේත් සිත් තුල අවෛරී සිතුවිලි ඇති කරවමින් මිස, තමාගේ උතුම් බව සිතා අනුන් ද ඊට අනුගතව, ඊට බයාදුව, ඊට ගරු කල යුතු යැයි සිතා හෝ අණ කිරීමකින්, බල කිරීමකින්, ඝර්ජනා කිරීම් වලින් නොවේ. එවන් බිය වැද්දීම්, අණ කිරීම් ඇත්තේ හුදෙක් අන්‍යාගම් වල පමණකි; බුදු දහම තුල නොවේ.

තමන් ධාර්මිකව, සැදැහැ සිතින් යමක් කරන්නේ ද ඉන් තමන්ට සහ අනුන්ට අත් වෙන යහපත ගැන පමණක් සිතිය යුතුය; තමන්ට ලැබෙනා ලාභ ප්‍රයෝජන පිළිබඳ බලාපොරොත්තු නොතැබිය යුතුය. යමෙක් බුදු දහම වැරදි ලෙසින් අර්ථ දක්වයි නම්, බුදු දහමේ නාමයෙන් අනුන්ගේ සිත් රිදවයි නම්, තමන් පමණක් නිවැරැද්දක් කරයි කියා සිතා අනුන්ට දොස් පවරයි නම්, එයින් ලද හැකි පල විපාකයන් අනුන් නොව, තමන් ම තනිව අත් විඳිය යුත්තේය. කිමද යත් තමන් වැපිරූ දෙයෙහි අස්වනු තමන් විසින්ම නෙළිය යුතු බැවින්.

නිර්මාංශව යමෙක් සිටී ද එය ඔවුනොවුනගේ අන් සත්ත්වයන් කෙරෙහි ඇති අවිහිංසාවාදී ප්‍රතිපදාව, දයානුකම්පාව සහ සිතුවිල්ල නිසා විය හැකිය. එසේ නැතහොත් වෙනයම් අයෙක් වෙනුවෙන් හෝ වෙනයම් අයෙක් දෙස බලා තමන් විසින් ඇති කරගත් කැප වීමක් හෝ ප්‍රතිපත්තීන් නිසා ද විය හැකිය. එසේ ද නැතහොත් තමන් නිර්මාංශී යැයි අණ බෙර ගසා හෝ තමා ම පිරිස් අතරේ කියා ගනිමින් ගරු නම්බු නාම ලැබීමේ හෝ විශේෂ ප්‍රතිචාර ලැබේ යැයි සිතා සිදු කර ගන්නා පෞර්ෂත්ව වෙනසක් හේතුවෙන් ද විය හැකිය. නමුත් මස් මාංශ අනුභව කරන්නන් හෙලා දකිමින් ඔවුනට නිගා කිරීම බෞද්ධයෙකු සතු විය යුතු ගුණංගයක් නොවේ. හෙලා දකින්නේ නම් ආහාර වෙනුවෙන් සතුන් මරණා ස්ථාන සහ පුද්ගලයින් එවන් හෙලා දැක්වීමකට ලක් විය යුත්තේය. නමුත් සිදු වන්නේ අනෙකකි. මන්ද යත්, බුදු රජාණන් වහන්සේ විසින් මස් මාංශ අනුභව නොකළ යුතු යැයි දේශනාවේ කොතැනකදීවත් සඳහන් කොට නැති හෙයින්. ගිහියන්ට කෙසේ වෙතත්, පැවිද්දන් උදෙසාවත් එවන් දෙයක් අකැප යැයි දේශණා කර නොමැති වීම සැලකිල්ලට ගත යුතු කාරණයක්. මීට හොඳම උදාහරණය ලෙස දෙව්දත් තෙරුන් විසින් සංඝ භේද ආනන්තරීය පාප කර්මය සිදුවීමෙහිලා සම්බන්ධ, බුදුන්ගෙන් කළ ඉල්ලීම් පහ අතර, 'භික්ෂූහූ නියත වශයෙන් ම නිර්මාංශික විය යුතු' යැයි කළ ඉල්ලීමට බුදු රජාණන් වහන්සේගෙන්, 'කැමති නම් පරිභෝජනය කිරීමටත්, අකැමති නම් නොකිරීමටත් හැකි' බව දේශණා කොට එම ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීම දැක්විය හැකිය. එහෙයින් එවන් නීතියක් පනවා නැති බැව් අමතක නොකළ යුතුය. තමාගේ ශරීර සෞඛ්‍යය ගැන සිතා හෝ, කැමැත්ත පරිදි ගැනීමට ඉඩකඩ ඇත. වළකින්නේ නම්, අන් සතුන්ගේ ජීවිය තමා වෙනුවෙන් කැප කරනා සතුන් පිළිබඳව සානුකම්පිතව සිතා වැළකීම වඩා යෝග්‍ය වේ.

සමහර පුද්ගලයින් දහම් පොත් පත් කියවද්දී ඒවායේ සඳහන් කරුණු තමන්ගේ ජීවිතයට අදාල කරගෙන කුසල් වැඩීමේ වීර්ය වර්ධනය කර ගැනීමෙහිලා යොදවනවා විනා, අන් අයගේ වැරදි මේ මේ යැයි කියා මෙනෙහි කරයි. ඒ ඒ ධර්ම කරුණු තමන් හඳුනන පුද්ගලයින් විසින් බිඳ දමනා ආකාරය ගැන මෙනෙහි කරයි, ඒවා ගැන සිතින් තර්ක කරයි. ඒ ඒ ධර්ම කරුණු අදාළ පුද්ගලයින් සමග කතා බහ කිරීමේ දී, ඔවුන් සමග තර්ක කිරීමේ දී ඔවුනගේ වැරදි හුවා දැක්වීමට යොදා ගනියි. නමුත් ඒ කාලය තමන්ගේ වර්ධනයක් සිදු කර ගැනීමට නොයොදවයි, ලියැවී ඇති දෙයෙහි නිවැරදි අර්ථය වටහා ගැනීමට උත්සාහ නොකරයි. එක දහම් පුස්ථකයක් ධර්මය ගැන නොදත් අයෙක්, ධර්මය මනාව උගත් අයෙක් සහ ධර්මය උඩින් පල්ලෙන් දත් අයෙක් යන පුද්ගලයින් තුන් දෙනෙකු විසින් වටහා ගෙන ක්‍රියාවෙහි නංවනා ආකාර තුන් විදියක් වේ. මඳ වශයෙන් දත ද, ධර්මය මනා ලෙස හසුරවන්නේ නම්, ක්‍රියාවේ යොදවන්නේ නම් ඔහු නියමාකාර බෞද්ධයෙකි. නමුත් ගැටළුව නම්, තමන් පිළිබඳව තමන් නියමාකාරයෙන් ඇගයීමක් නොකිරීම සහ එසේ කිරීමට දැනුමක් ද නොතිබීමයි. එහෙයින් අද සමාජයේ බොහෝ බුදුවරු පහල වී ඇත, මග ඵල ලබා ඇති බව ප්‍රකටව පල කරන්නන් පහල වී ඇත. එවන් අය පිළිබඳව අප අනුකම්පාවෙන් බැලිය යුතුය.

සමහරෙක් පන්සල් වලට, භික්ෂූණ්ට දාන මානාදිය නිතිපතා කළ ද තම පවුල පිළිබඳව නොසිතයි, ඔවුනගේ සිත සතුටු කිරීමට උත්සාහ නොගනියි. දෙමාපියන්ට දොස් පවරයි, යහපත් චාරිත්‍ර මග හරියි, තමන්ගෙන් සිදු විය යුතු යුතුකම් පැහැර හරියි. එනමුත් දහම් පොත් පත් කියවයි, දානමානාදියට කැප වෙයි. මෙය ද ඔබ සතු විය හැකි තවත් ගුණාංගයක් විය හැක. නියමාකාර බෞද්ධයකු වන්නට මේ දෙපසේම යහපත් වූ වර්ධනයක් පැවතිය යුතුය. උගත් කම තිබුන ද, බුද්ධිමත්ව කටයුතු කළ නොහැක්කේ නම් එම පුද්ගලයා නිර්වස්ත්‍රව සමාජයේ සිටිනා පුද්ගලයෙක් වැනිය. එසේත් නැතහොත් බැළුමක් වැනිය. ඇතුලේ වාතයය, පිටත අලංකාර ආවරණයකි.

බෞද්ධයෙකු සතු එකම ඉලක්කය විය යුත්තේ හැකි තරම් මේ භවයේදීම සෝතාපත්තියට (සෝවාන් පලයට) ලඟා වීමට උත්සාහ ගැනීම පමණි. ඉන් මතු ඉදිරිය පිළිබඳව ඉන් පසුව සැකයක්, බියක් පවත්වා ගත යුතු නොවේ. අඩු තරමින් අනුන් ගැන වද නොවී තමන් පළමුව යහ මග යමින් අනුන් දෝශ දර්ශනයට ලක් නොකර ඒ මග අන් අයව ද කැටුව යාම පිළිබඳවත් අවධානය යොමු කිරීමයි වැදගත් වන්නේ. එසේ නම් මේ කියා ඇති දේවල් තමන් විසින් කෙතරම් සිදු කරන්නේ දැයි කියා වටහා ගෙන නිවැරදි ක්‍රියා පිළිවෙතක් අනුගමනය කිරීමට මේ ජීවිත කාලය තුල වීර්ය කිරීම, ජීවිතය සාර්ථක කර ගැනීමට උදව් කර ගත හැකිය.

එසේ නම් කළ යුතුව ඇත්තේ අනුන්ගේ වැරදි දකිමින් ඒවා තමන්ගේ ධර්මඥාණයෙන් පමණක් නිවැරදි කිරීමට උත්සාහ කොට තමන් පමණක් නිවැරදි යැයි කියා ගැනීම හෝ හුවා දැක්වීම නොව ධර්මය යථා අයුරින් ම, නිසි ආකාරයෙන් මනා ලෙස අවබෝධ කර ගැනීම හා අධ්‍යයනය කොට ක්‍රියාවේ නැංවීමයි. බුදු දහම අවිහිංසාවාදි දහමකි. එබැවින් ප්‍රකෝපකාරීව ගැටළු විසඳීම බෞද්ධයින් හට සුදුසු නොවේ. අද සමාජයේ ආගම් අතර පවතින ගැටළු නිරාකරණය කිරීමට බෞද්ධයින් විසින් ක්‍රියා කරනා ආවේගශීලී ප්‍රතිපත්තිය සහ ක්‍රමවේදය අසහනශීලී බවක් ගනී. තමන් උපේක්ශා සහගතව බලා සිට ඒවාට නුවණ හසුරවමින් අන්‍යන් කෙරෙහි අද්වේශ සහගතව කටයුතු කිරීමෙන් බොහෝ ගැටළු මුල් අවස්ථාවේදී ම නිරාකරණය කර ගැනීමට හේතු පාදක වේ. බුදු රජාණන් වහන්සේද කිසිදු ගැටළුවක දී නොසැළුනි, කලබල නොවුණි. සියළු අපවාද, ගැරහීම් සියල්ලන්ගේම සාධුකාර මැද මැකී ගියේය. එසේ නම් බෞද්ධ අප හට එයින් අංශු මාත්‍රීය ප්‍රමාණයක් හෝ ක්‍රියාවේ යොදවන්නට නොහැක්කේ මන්ද? මේ බව මසැසින් නොව මනැසින් වටහා ගැනීමට මේ තෙමගුල ඔබ සැමට නිසි මාර්ගය පෙන්වත්වා!
 

Copyright 2010 tee දුටු ලොව.

මෙහි පළ වී ඇති සියළුම ලිපි වල හිමිකාරීත්වය "TeeRox" වන මා සතුව පවතින අතර, දැනුම් දීමකින් තොරව හෝ අවසරයක් නොමැතිව උපුටා ගැනීම හෝ වෙනත් කටයුතු සඳහා යොදා ගැනීම සපුරා තහනම් බවත්, ඒ සඳහා නීතිමය ක්‍රියාමාර්ග කරා යාමටද හැකියාව ඇති බවත් කරුණාවෙන් සලකන්න.