Tuesday, January 31, 2012

"චතුරගේ මතක අහුර" බ්ලොග් අඩවියේ රචනා වුනු "ඇත්තටම උඹට යාළුවෝ ඔච්චර තිත්තද..?" යන ලිපිය වෙනුවෙන් මා විසින් පළ කරන ලද අදහසක් මෙසේ ලිපියක් ලෙසින් ගෙනහැර දවනු ලැබේ.

සමාජය ගැන තීරණය කරන්නට තමන්ගේ පවුලට හෝ ඥාතියෙකුට අනුන්ගෙන් සිද්ධ වුනු වැරදි, අඩු ලුහුඬු කම්, අතපසු වීම්, අත් වැරදීම් ආදිය යොදා ගැනීමෙන් සිද්ධ වෙන්නේ තමන්ට මෙන්ම අනුන්ටත් සමාජය පිළිබඳව වැරදි ආකල්පයක් ඇති වීම පමණයි. මක් නිසාදයත් සමාජය කියන්නේ තමන්ගේ පවුලට පමණක් සීමා නොවුනු තවත් පුළුල් පරාසයක පැතිරුණු දෙයක් නිසාවෙන්.

ඒ වගේම තමන්ගේ පවුලට හැරුණු කොට තමන්ට යමෙකුගෙන් හෝ තමන්ගේ මිතුරෙකුගෙන් හෝ සුළු හෝ වරදක් සිදු වීම නිසා වසර ගණනක මිතුරු කම කටු ගා දමන්නට හෝ මකා දමන්නට පෙළඹීම නිසාවෙන් තමන්ට යම් දිනයකදී කිසිම මිතුරෙකු හෝ මිතුරියෙකු ඉතුරු වේ යැයි කියන්නට පුළුවන් කමක් නැති තරම්. මිතුරන් නෑදෑයන් අතරේ නොයෙක් අවස්ථාවන් වලදී ප්‍රශ්ණ, ගැටළු, හැල හැප්පීම් ඇති වීම සාමාන්‍ය දෙයක්. නමුත් ඒවා දුර දිග නොගෙන ගොස් සබඳතා ඉදිරියටත් පවත්වා ගැනීමයි වඩා වැදගත් වන්නේ.

යමෙක්ට තම සහෝදර සහෝදරියන් සිටිනවා නම් මේ තාක් කාලයක් ඔවුන් සමග එකම නිවසක ජීවත් වීමේදී එකිනෙකා අතර අඩ දබර, ගැටුම්, හිත් අමනාපකම් අනන්ත වාරයක් සිදු වන්නට පුළුවන් බව අමුතුවෙන් කිව යුතු කාරණාවක් නම් නෙවෙයි. ඒත් ඒ අඩ දබර ඇති වූ පමණට ඔවුනොවුන්ව මග හරිමින්, ඔවුන්ගෙන් ඈත් වී සිටි බවක් මතකයට එනවාද කියන ප්‍රශ්ණයත් ඇසිය යුත්තක්. මන්දයත් තම සොයුරු සොයුරියන් සමග ඇති වන අමනාපකම් නිසා ඔවුනොවුන් ජීවිතයෙන් ඈත් කරගෙන එකට ජීවත් වෙන්නට හැකියාවක් නැති නිසා. නමුත් සමහර උදවිය තමන්ගේ දැඩි ප්‍රතිපත්තීන් හේතුවෙන් තමන්ගේම ලේ නෑයන්, හිතවතුන් සදහටම ජීවිතයෙන් ඈත් කරගෙන සතුටින් ඉන්නට පෙළඹෙන අවස්ථාද නැතුවාම නොවේ. නමුත් වටිනාම දේ නම්, ගැටළු නිසා එකිනෙකා අමතක නොකිරීමයි. සමහර විට දුරම හතුරා ලඟම මිතුරාට වඩා අනාගතයේදී තමන්ට වැදගත් වෙන්නටත් හැකියාවක් තියෙන නිසා.

ඒ නිසාදෝ මන්දා යාළුවන්ටත් ඒ මිම්මෙන්ම සමහරුන් සලකන්නේ. කෙනෙක්ගේ කළණ මිත්‍රයෝ කවුරු හරි අනිවාර්යෙන්ම කෙනෙක්ට එපා වෙන විදියට හැසිරුනහොත් අනිවාර්යෙන්ම ඒ කෙනා මිතුරන් අමතක කරන්න සූදානම් වෙන්නටත් ඉඩක් තිබෙනවා. මන්දයත් ඒ කෙනා ජීවිතේ සතුටින් ගත කරන්නට හිතමින් බැඳීම් අඩු කර ගන්නා ආකාරය ඒ තරම් සුභදායක නොවන නිසා. මිනිස්සු වැරදි කරන බව ඇත්තක්. නමුත් සමහර වැරදි අමතක කර දමනා තරමට හිතට සැහැල්ලුවක් දැනෙනවා. කෙනෙක් වරදක් කලාට අපිත් ඒ කෙනාට ඒ වරදම කරන එක හරිද? ඇයි අපි මිනිස්සුන්ට වෛර කරන්නේ? 

වෙනකෙකුගෙන් තමන්ට සිද්ධ වුනු වැරැද්දක් දැඩිව, මහා පරිමාණයෙන් හිතේ තියාගෙන දවස්, සති, මාස ගණන් හිටියට තමන්ගෙන් වෙනකෙකුට මොන වගේ වැරදි සිද්ධ වෙනවාද, වූවාද කියලා නිකමටවත් හිතා බලන්නට ඔයාලට මතක් වෙනවාද? හිතන්නට පුළුවන් නම් තමන් නිසා දුක් වුනු යාළුවෝ තමන්ගේ ජීවිතේදි ඉඳලා නැතිද කියලා? ඒකට ආගම්, ජාති, ස්ත්‍රී, පුරුෂ භේධයක් නැහැ. අපිට හැමදාම අපි කැමති අයුරේ කාවවත් ආෂ්‍රය කරන්න ලැබෙන්නේ හරිම කලාතුරකින්. අපි ලඟ තිබෙන දෙවල් පරිස්සම් කර ගන්නේ නැතුව අපි ලඟ කවදාවත් නොතිබුනු දෙයක් ගැන හීන මව මව ඉන්නවා නම් ඒකේ ඇති පලය මොකද්ද? 

මේ හිතන්නට ඉඩ කඩ බොහෝ සෙයින් තියෙන දෙයක්. මිනිසුන්ව ආශ්‍රය කළ යුතුයි. තමන්ගෙ ජීවිතේට තර්ජනයක් නම් හැරෙන්න අත නොහැරිය යුතුයි. මන්දයත් ලෝකය කියන්නේ ඉගෙන ගෙන නතර කරන්න පුළුවන් දෙයක් නොවීම. තනිකඩව ලෝකයේ ජීවත් වෙන්නට ගන්නා උත්සාහය වරදක්, නරකක් කියා නොකිය යුතුයි. නමුත් තනිකඩව ජීවත් වීම හිතූ තරම් ලේසි පහසු කටයුත්තක් නොවන බව තේරුම් ගත යුතුයි. කිසිම දවසක තමන් ගැන හිතන කිසි කෙනෙක්ගේ අතින් වැරදි වුනු පමණට ඒ අයගෙන් දුරස් වෙන්නවත්, නරක මිතුරෝ කියා හංවඩු ගහලා කොටු කරලා සලකන්නවත් පුරුදු නොවිය යුතුයි. අපි ජීවත් වෙන්නේ තවත් සුළු කාල පරිච්ඡේදයක්. ඒ කාලය ආතරතුරේදී ඔය දේවල් වලින් හිත පුරුව ගන්නවාට වඩා පුරවා ගන්නට බොහෝ දෑ ඇති බවත් ඔප්පු වී තිබෙනවා. තමන්ගේ වැරදි අඩු පාඩු හේතු කර ගනිමින් අනුන්ට දොස් පැවරීමත් නොකළ යුත්තක්. පුළුවන් හැම වෙලාවකදිම සතුරන්ටත් මෛත්‍රී කරන්න. එදාට මේක කියවන හැමෝම සමාජෙට අවශ්‍ය හොඳ මිනිසුන් වේවි. එසේ නොවුනහොත් රොබෝවන් වන් හැඟීම් දැනීම් නැති මිනිසුන් බිහි වේවි. සිතන්නට ඔබට බාරයි.

Monday, January 30, 2012

1972 එනම් 70 දශකයේදී ලෝක සංගීත ක්ශේත්‍රයේ අති දැවැන්ත නාමයක් ලොව පුරා පතුරවමින් එකතු වුන ඇබා සංගීත කණ්ඩායමේ ගීතයක් ගැනයි අද මගේ ලිපියෙන් මම පල කරන්නට යන්නේ. අදටත් ජනප්‍රිය බොහෝ ගීත අතුරෙන් මේ පල කිරීමට යන්නේ කාටත් අසන්නට නොලැබුන ඔවුන්ගේ සිත් ඇද ගන්නා සුළු මනහර ගීතයක් සහ එහි මට සිතෙනා අන්දමින් මවිසින් පල කරනා සිංහල තේරුමයි. "Slipping through my fingers" යනුවෙන් නම් වුනු මෙම ගීතය ඇබා සංගීත කණ්ඩායම විසින් නිම කර ඇත්තේ 1981 දී එනම් 80 දශකයේදී ඔවුන් විසින් නිකුත් කරනු ලැබූ "The Visitors" යන ගීත ඇල්බමය වෙනුවෙනි.

මෙම ගීතයේ සඳහන් වෙන්නේ මවක් තම දියණිය වේගෙන් උස් මහත් වීමත්, ඇය පාසල් යෑම නිසා දෙදෙනාටම එකට ගත කරන්නට ලැබෙන කාලය මඳ වීම පිළිබඳ එම මවගේ සිතේ ඇති වෙන කණගාටුව ගැනයි.

Schoolbag in hand, she leaves home in the early morning
Waving goodbye with an absent-minded smile
I watch her go with a surge of that well-known sadness
And I have to sit down for a while

පාසල් බෑගය ද අතින් ගෙන උදෑසනින්ම නිවසින් පිටවෙන ඇය, අත වනන්නේ බොහෝ දෑ මග හැරුණු බව හඟවන සිනාවකිනි. ඇය යන දෙස මා බලා සිටින්නේ, රළ පහරක් සේ පැමිණෙන සුපුරුදු වූ දැඩි කණගාටුවෙනි.

The feeling that I'm losing her forever - And without really entering her world
I'm glad whenever I can share her laughter - That funny little girl

ඇගේ ලෝකයට නොගොස් ඇයව සදහටම අහිමි වන්නා සේ දැනේ. ඒ හුරතල් කෙල්ලගේ සිනහව බෙදා ගන්නටවත් හැකි හැම විටකදිම ලැබීමත් එක්තරා සතුටකි.

Slipping through my fingers all the time - I try to capture every minute
The feeling in it - Slipping through my fingers all the time

මගේ දෑඟිලි වලින් ගිලිහෙන ඒ හැම මොහොතක්ම අල්ලා ගන්නට වෑයම් කරන්නේ, හැම මොහොතෙම මගේ දෑඟිලි වලින් ඇය දුරස් වෙන බව දනිමින්.

Do I really see what's in her mind - Each time I think I'm close to knowing
She keeps on growing - Slipping through my fingers all the time

ඇගේ හිත තුල ඇත්තේ කුමක්දැයි මා දැන ගන්නට ලං වෙතත්, ඇය මගේ දෑඟිලි වලින් නිතරම ගිලිහෙමින් උස් මහත් වෙමින් වැඩේ.

Sleep in our eyes, her and me at the breakfast table - Barely awake, I let precious time go by
Then when she's gone there's that odd melancholy feeling - And a sense of guilt I can't deny

නිදිබර දෑසින් අවදිව ඇයත් මාත් උදෑසන මේසය මතදී ගතවූ කාලය යන්නට ඉඩ දුන්නද, ඇය නිකම යාමෙන් අනතුරුව ඇත්තේ දුක්මුසු ස්වභාවයකුත් මා අතින් වරදක් වූවා දෝ යන හැඟීමකි.

What happened to the wonderful adventures - The places I had planned for us to go
Well, some of that we did but most we didn't - And why I just don't know

මා නුඹ හා යන්නට සැලසුම් කළ ඒ අපූර්ව වූ ගමන් වලට කුමක් සිදුවුනිද? ඉන් කීපයක් පමණක් අප ගියමුත් එවන් අවස්ථා ගිලිහුණ වාරයන් බොහෝ වූයේ කිමදැයි මා නොදනිමි.

Slipping through my fingers all the time...
Sometimes I wish that I could freeze the picture - And save it from the funny tricks of time
Slipping through my fingers...

සමහර වෙලාවට හිතෙනවා දෑතින් ගිලිහෙන ඒ සුන්දර අවස්ථා සිතුවමක් ලෙසින් නොයෙක් උපක්‍රම යොදා ගනිමින් නවතා ගන්නට හැකි වූවා නම් කියා...


පහලින් ඇත්තේ මේ සුන්දර වූ ගීතයේ වීඩියෝ පටයකි. එය ගායනා කරන්නු ලබන්නේ ඒ ඇබා සංගීත කණ්ඩායමේ සාමාජිකයන් විසින්මයි.

Friday, January 27, 2012

හැමෝටම ලැබුවාවූ 2012 අවුරුද්ද සාර්ථක සුභම සුභ අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරන ගමන්ම කැමතියි 2012 අවුරුද්දේ මගේ බ්ලොග් අඩවියේ මුල්ම ලිපිය පටන් ගන්න. ගිය අවුරුද්දේත් වැඩි යමක් පල කරනන් බැරි වුන නිසාවෙන්ම මේ වතාවේ ඉඳලාවත් බ්ලොග් අඩවිය යාවත්කාලීන කරන්න කියලායි හිතාගෙන ඉන්නේ. කාර්ය බහුලත්වය නිසා සිද්ධ වෙන අතපසුවීම්, ඇතිවෙන කම්මැලිකම් නිසා බ්ලොග් එක දිහාවට එන්නවත් හිතෙන්නේ නැති තරමටමයි පහුගිය කාලෙදි ඉන්න සිද්ධ වුනේ.

ඉතින් මේ අවුරුද්ද සමහරුන්ට තීරණාත්මක අවුරුද්දක් වෙන එකක් නේ. මොකද, කියන හැටියට මේ අවුරුද්දේ දෙසැම්බර් මාසයේ විසි එක් වෙනිදාට ලෝක විනාශයත් සිද්ධ වෙන්න තියෙනවනේ. ඒත් ඉතින් මට නම් එහෙම දෙයක් වෙන බවක් පේන්න නෑ. මොකද මම ඔය විකාර විශ්වාස නොකරන නිසා. ඕනෙම කෙනෙක්ට ඕන මතයක් පල කරන්න නිදහස තියෙනවා වගේම ඒවා විචාරශීලී බුද්ධියෙන් යුතුව පිළි ගැනීමට හෝ නොගැනීමටත් කාට කාටත් නිදහසක් අයිතියක් තියෙනවා.

කොහොම නමුත් ඔය කියන ලෝක විනාසේ වගේ දේවල් ගැන වැඩි අවධානයක් මිනිස්සුන්ට යොමු කරන්න හිතුවිල්ලක් ආවා නම් ඒ 2009 වසරෙදි නිකුත් වුන 2012 කියන හොලිවුඩ් චිත්‍රපටය නිසාවෙන් තමයි. නැත්තම් අපේ උන්දැලා මායාවරුන්ගේ අනාවැකියක් අහලාවත් තිබුනාදෝ කියලා සැකයක් මතු වෙනවා. ලොකු විනාසයක් වෙලා මිනිස් සංහතිය නැති වෙන එක වෙන්න නම් තව කාලාන්තරයක් ගත වේවි. ඒත් මේ වසරේ ඉඳන් ගොඩක් නරක සිද්ධීන් සිදුවෙන, නරක කාලයක් ඉදිරියට උදා වෙන්නට පුළුවන් බව කෙනෙක් සමග පෞද්ගලිකව කරපු සාකච්ඡාවකදී දැන ගන්නට ලැබුනා.

ඉතින් කවදා මොන විනාසේ වුනත් අපි අපේ හිත් හරියට හදාගෙන ඉන්න තරමට ඕනෙම දවසක ඕනෙම විදියකට මැරෙන්න සූදානමකින් ඉන්න එක තමයි වටින්නෙ. මොකද අන්තිමට කොයි මොහොතේ කොයි විදියට අපිට කොහේ යන්න වේවිද කියල දන්නෙ නැහැ නේ. අන්න ඒ නිසා කවුරු කවුරුත් තම තමන්ගේ උත්සාහයෙන් මේ අවුරුද්දේ ඉඳලාවත් තමන් සතු, තමන්ට තිබුනු, තමන්ට ලැබෙන්න තියෙන හැම දෙයක් ගැනම වැඩි ඇලීමකින් තොරව, වැඩි බලාපොරොත්තු තියා ගන්නේ නැතිව සැහැල්ලුවෙන් ජීවත් වෙනවා නම් තමයි වටින්නේ.

ඉතින් ආයෙ වතාවක් මේ අවුරුද්දේ පළමු ලිපියේ අවසානයේදී ඔයාලා හැමෝගෙම හැම හොඳ වැඩ කටයුත්තක්ම සාර්ථකත්වය කරා පැමින දියුණුවෙන් දියුණුවට පැමිනේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
 

Copyright 2010 tee දුටු ලොව.

මෙහි පළ වී ඇති සියළුම ලිපි වල හිමිකාරීත්වය "TeeRox" වන මා සතුව පවතින අතර, දැනුම් දීමකින් තොරව හෝ අවසරයක් නොමැතිව උපුටා ගැනීම හෝ වෙනත් කටයුතු සඳහා යොදා ගැනීම සපුරා තහනම් බවත්, ඒ සඳහා නීතිමය ක්‍රියාමාර්ග කරා යාමටද හැකියාව ඇති බවත් කරුණාවෙන් සලකන්න.