Sunday, June 27, 2010

මේ කතාව මට මේ ඊයෙ පෙරේදා සිද්ධ වුණු වරදක් ගැන. ඇත්තටම රැවටීමක් කියලා කියන්නත් පුළුවන්. ඊටත් වඩා යාළුකමක් පළුදු වීමක්. ඒ වගේ දේවල් ඉතින් කාටද සිද්ධ වෙන්න බැරි නේද?

අන්තර්ජාලයෙන් මුණ ගැහුණ මගේ හොඳම යාළුවෙක් හිටියා. හැබැයි කවදාවත් මූණට මූණ මුණ ගැහිලා තිබුනෙ නෑ. ඉතින් මිනිහාත් හරි හොඳ පුද්ගලයෙක් කියලයි මට තේරුණේ. මොකද හැමදාම බුදුන් වඳින, හරිම නිස්කලංක පුද්ගලයෙක්.

එයා පදිංචි වෙලා ඉන්නේ ලංකාවේ නම් නෙවෙයි. ඕස්ට්‍රේලියාවේ. කොහොමෙන් කොහොම හරි හොඳ යාළුවෝ වගේ හිටියාය කියමුකො. මෙයා මගේ තවත් යාළුවෙක්ගේ යාළුවෙක්. ඒත් ඉතින් කවුද දන්නේ පොරොන්දු කඩ කරන මනුස්සයෙක් කියලා?

අපි දෙන්නම ඉතින් කොල්ලෝ නිසාත්, යාළුකම නිසාත් මිනිහාට මගේ පුද්ගලික ප්‍රෂ්ණයක් ගැන කීවා. වෙන මුකුත් නෙවෙයි ආදර හුටපටයක් ගැන. හැබැයි කාටවත් නොකියන පොරොන්දුව පිට. හරි කිව්වාය කියලා හිතමුකෝ.

ඔන්න දවසකුත් ගත වුනා ඒ ගැන මිනිහාට කියලා. මෙන්න අර අනික් යාළුවා, ඒ කියන්නේ අර මා එක්කත් යාළු, අර ඕස්ට්‍රේලියාවේ ඉන්න යාළුවාත් අඳුනන යාළුවා මගෙන් හදිසියේම මුහුණුපොතේ චැට් එකෙන් අහනවා අර මම
ඕස්ට්‍රේලියාවේ යාළුවාට කීව දේ ගැන. මම තුෂ්නිම්භූත වුණා ඒක අහලා. ඒත් එක්කම මම අනිත් අතට කරපු වැඩේ තමයි සදාකාලික සමුදීමක් ගැන ලියලා අර ඕස්ට්‍රේලියාවේ යාළුවාට විද්‍යුත් ලිපියක් යැව්ව එක.

කව්රු
කව්රුත් පරිස්සම් වෙන්න ඕනෙ ඔය හොඳ මූණු, හොඳ චර්යාවන් පෙන්නලා අන්තර්ජාලෙන් අපිත් එක්ක යාළු වෙන අය ගැන. එයාලා එක එක විදියේ කතා කියලා මිනිස්සුන්ගේ හිත දිනා ගෙන යාළු කමින් අයුතු ප්‍රයෝජන එහෙමත් ගන්න තාක් කල් අපි දන්නේ නෑ අපිට එහෙමත් දෙයක් වුනාවත්ද කියලා. ඒ නිසා ඔන්න පරිස්සමින්...
මගේ හොඳම යාළුවාට සිද්ධ වුණු ඇබැද්දියක් ගැන තමයි මේ කියන්න යන්නේ. ඇත්තටම මේ වගේ අසාධාරණ කම් සිද්ධ වෙනවද කියලත් හිතෙනවා. ඒත් ඉතින් මේ විසි එක් වෙනි සියවස නේ. නොවී තිබුණොත් තමයි පුදුමෙ.

මෙන්න මේකයි කතාව. මගේ හොඳම යාළුවාගේ විශ්ව විද්‍යාලයේ එයාගේ අවසාන වාරයේ විභාග ළඟයි. ඉතින් පැමිණීම අනිවාර්යෙන් සියයට 80% ක් තියෙන්න ඕනෙලු. ඔන්න ඉතින් මගේ යාළුවා දවසක් දේශනයකට සහභාගී වෙලා එයාට අමතක වෙලා නම් ලයිස්තුවට අත්සන් කරන්න. මොකද මිනිහා දේශක කථිකාචාර්ය වරයත් එක්ක කතා කරද්දි තමයි මිනිහට ලයිස්තුව මග හැරිලා තියෙන්නේ. ඔය හේතුව නිසා මිනිහගෙ 80% පැනලා. ඒ හේතුවෙන් මිනිහාගේ අවසාන ව්‍යාපෘතියේ අධීක්ෂණ කටයුත්ත කරන අධීක්ෂක ගුරුවරිය මිනිහාට අවසාන පළමු වන විභාගේ ලියන්න අවසර දෙන්නේ නැතිලු. පව් වැඩේ. හොඳට ඉගෙන ගන්න පුළුවන් කෙනෙක්ට වල කපපු නිසා.

ඒ ටික කියෙව්වාම නම් කාටත් හිතේවි 80% ක පැමිණීම අඩු වුණ නිසාය විභාගෙ ලියන්න ඉඩ දුන්නේ නැත්තේ කියලා. ඒත් කතා කරලා හරි ඒ දේ වෙනස් කර ගන්න පුළුවන් කම තියෙනවා නේ. ඉතින් මගේ යාළුවා වෙනත් කථිකාචාරයවරුන්ගෙන් උදව් ඉල්ලලා තියෙනවා. එයාලා නම් ඉඩ දීලා තියෙනව ඒකට ලියන්න. ඒත් අර අධීක්ෂක තුමිය තමයි ඉඩක් දෙන්නේම නැත්තේ. හේතුව මෙන්න මේකයි.

මගේ යාළුවා ටිකක් ඇහැට කනට පේන කඩවසම් යාළුවෙක්. විශ්ව විද්‍යාලයේදී නම් කෙල්ලන්ගෙන් මෙයාට අඩුවක් නම් නෑ. ඒ වගේමයි මෙයා කෙල්ලො දෙතුන් දෙනෙක් එක්කම යාළුකම් තිබිලා තියෙනවා. ඒත් ඒවා ආදර සම්බන්ධතා එහෙම නෙවෙයි. නිකම් හොඳ ඇයි හොඳැයියක්. ඒ වගේමයි මගේ යාළුවා නිතර කතා බහ කරන්නේ වෙනත් කථිකාචාර්ය වරුන් එක්ක. ඒ අය එක්ක ගොඩක් සුහදයි මිනිහා. අර අධීක්ෂක තුමිය එක්ක වැඩිය කතා බහක් සිද්ධ වෙන්නේ කලාතුරකින්ලු ව්‍යාපෘතියේ වැඩට හැරුනම. යාළුවා කියන විදියට ඒ අධීක්ෂක තුමියට ඕනෙ ඉන්න ලස්සනම පිරිමි ළමයින් ටික එයත් එක්ක කතා කරනවටලු. ඒ වගේමයි වෙන ගෑනු ළමයින් එක්ක කතා කරනවට අකමැතියිලු. අනිත් දේ, එහෙම කතා කරන පිරිමි ළමයින්ට ලොකු ලොකු දඬුවම් එහෙමත් දෙනවලු. එහෙම පරන කතාවකුත් මිනිහා දැන ගෙන.

ඒ හොයා ගත්තු සිද්ධිය පීඨාධිපති තුමන්ට ලියුමකින් දැනුම් දෙන්න හැදුවාම අර අධීක්ෂක තුමිය පිංසෙන්ඩු වෙනවලු. හැබැයි මිනිහා ඒක දීලා නෑ තවමත්. මොකද තමන්ගේ ව්‍යාපෘතියේ අධීක්ෂකතුමිය නිසා. බැරි වෙලාවත් තරහට අසමත් කෙරෙව්වොත් හෙම? අර නිකන් කියමනක් තියෙන්නේ උණු නිසා බොන්න බෑ කිරි නිසා අහක දාන්නත් බෑ කියලා. අන්න ඒ වගේ.

ඔන්න ඔය හේතුව නිසා මිනිහට විභාගේ ලියන්න ලැබෙන්නේ නෑ. කොහොමෙන් කොහොම හරි පළමු පංතියේ උපාධියකට යන්න තිබුණු අවස්ථාව මග හැරෙයි කියලා මිනිහා බයෙන් ඉන්නේ. ඒත් ආයෙත් ලියන්න පුළුවන්ලු දෙවෙනි වතාවට.

මෙහෙමත් කලක් ගිහින් අද අපේ රටේ අධ්‍යාපනේට. බලන් ගියාම ගෑනු හපන් පිරිමින්ට වඩා.
ආදරේ කියන දේ කාගෙ කාගේත් ජීවිතයට ගොඩාක්ම වැදගත් දෙයක්. සමහරුන්ට ආදරේ නැතුව බෑ. සමහරුන්ට ආදරේ තිබුණත් වැඩක් නෑ. තවත් සමහරෙක්ට ආදරෙන් කිසිම වැඩක් නෑ. ඒත් ආදරේ කරපු හැමෝම දන්නවා ඒක මොන තරම් රසවත්ද කියලා. ඒ වගේම කොයි තරම් වේදනාකාරීද කියලත්.

ආදරේ ලබන එක ඒ තරම් ලේසි දෙයක් නෙවෙයි. තමන්ට ගැලපෙන ආදරයක් අද කාලෙ හොයන එක කළුනික හොයන්නා වගේ. මොකද අවංකව ආදරේ කරන අය ගොඩාක් අඩු නිසා. ගැහැණු ළමයින් ගැන නම් පොඩි හරි විශ්වාසයක් තියා ගන්න පුළුවන් වුනත් පිරිමි ළමයින් ගැන නම් ඒ වගේ විශ්වාසයක් තියා ගන්න බැහැ. මොකද ගැහැණු ළමයෙක්ට වඩා පිරිමි ළමයෙක්ට තියෙන සීමා මායිම් වල අඩු කමත්, නිදහසේ වැඩි කමත් හේතුවෙන්.

ජීවිතේ විඳලා තියෙන හැම දුකකටම වඩා ආදරේ කරද්දී දැනෙන දුක, වේදනාව ගැන කියන්න වචන නැති තරම්. තමන්ගේ ජීවිතේදී මරණීය මොහොතකදී පවා දැනිල තියෙන දුක වේදනාව ගැන පොඩ්ඩක් මතක් කර ගත්තොත්, ආදරේ කරනා අතරතුරේදී දැනෙන සතුටටත් වඩා දුක අර කීව මරණීය වේදනාවටත් වඩා දරුණුයි. ආදරේ කළ හැමෝම ඒ ගැන දන්නවා ඇති අනිවාර්යෙන්ම. ඒත් කියමනක් තියෙනවා ආදරේ වෙනුවෙන් කැප කරන කිසිම දෙයක් අපතේ යන්නේ නෑ කියලා. ඒක එහෙම්මම වෙනවා නම් හොඳයි. මොකද ආදරේ නාමයෙන් ජීවිතෙත් දෙන අය ගැන අපි අහලා තියෙනවා නෙ. කෙනෙක්ට පුළුවන් වුනොත් ආදරයක් බලාපොරොත්තු නොවී හැකි උපරිමයෙන්ම ආදරේ කරන කෙනාට ආදරේ දෙන්න, හිතෙන් හරි, ඒක වටෛනා ආදරයක් වෙනවා කියලයි මගේ හැඟීම.

ආදරයක් පවත්වන් යද්දී කෙනෙක් මැරි මැරී ඉපදෙන වාර ගණන අනන්තයි අප්‍රමාණයි. ඒ හැම මරණයකදීම දැනෙන දුක් දොම්නස් හැම දෙයක්ම, අර හැම ඉපදීමකදී ම මැකිල යනවා. ඒත් කාටද පුළුවන් වෙන්නේ ඒ දුක ලේසියෙන් අමතක කරලා දාන්න?

Sunday, June 13, 2010

ඔයාලා ගොඩක් දෙනා මේක දැක්කම මොකද්ද කියලා හිතයි. ඒත් මේක ඇත්ත. මේක සිද්ධ වුනේ අද පාන්දර එකයි දහයට විතර. ඒ කියන්නේ 2010 ජූනි මාසයේ දහතුන් වන දිනය දා. පුංචියට සිද්ධ වුණු මේ භූමි කම්පාව මටත් දැණුනා. ඔයාලටත් දැනුනාද? මම විතරක් කියන දෙයක් නෙවෙයි. මම ඒ වෙලාවේ චැට් එකේ හිටපු මගේ හොඳම යාළුවාගෙනුත් ඇහුවාම කීවා පොඩි හෙලවීමක් දැනුනා කියලා. ඒත් එයා ඒක විදුලි පංකාව නිසා සෙලවුන බවක් කියලයි කීවේ. පොළොව නම් නෙවෙයි, මේසය.

මට මේක දැණුනේ මගේ උපාධියේ අවසාන වාර ව්‍යාපෘතිය කර කර ඉද්දි. මට දැණුනා නිකන් මම වැඩ කරන පරිගණකෙ තියෙන මේසය කවුරු හරි හොලවනවා වගේ. මොකද මම වතාවකුත් කීවනේ අදෘශ්‍යමාන බලවේග තියෙන්න පුළුවන් කියලා. ලංකාවට ඉතින් භූමි කම්පා වෙන්නෙ නැහැනේ ලේසියකට. මගේ කකුල් දෙකත් ඒ පරිගණක මේසයේ පහල කොටසේ තිබුණු නිසා හිතුවා ඒ හින්දා වෙන්න ඇති කියලා. පස්සේ මම අල්මාරියේ බාගෙට වැහුණු දොර දිහා බැළුවම දැක්කා ඒකත් හෙලවෙන බව. ඒත් එක්කම අයියා මගේ කාමරේට ආවා එයාගේ කාමරේ කන්ණාඩියත් සද්දෙට හෙලවෙනවා කියාගෙන. ඉතින් තේරුම් ගත්තා මේක භූමි කම්පාවක් බව.

වෙලාවකට හිතෙනවා අර 2012 චිත්‍රපටයේ තිබ්බ දේවල් 2010 ඉඳන්ම ඇත්ත වේගෙන එනවද කියලත්. මොකද ලංකාවට සුළුවෙන් හරි මේ වගේ දෙයක් දැනෙන්නේ අවුරුදු බර ගාණකට වතාවක් නේ.

Wednesday, June 9, 2010

අද උදේ මම ඇහැරෙද්දි හිතා ගන්න බැරි දෙයක් සිද්ධ වෙලා තිබුණා. මට නෙවෙයි, මගේ අතට. මගේ අථේ තැන් කීපයක්ම වගේ හීරිලා රතු වෙලා තිබුණා. ඒත් මම ගණන් ගත්තේ නැහැ. මොකද හීරීම් නිසා. හැබැයි දිග සීරුමක් තිබුණා. මෙහෙම දෙයක් වෙන්න පුළුවන් කොහොමද? දන්න තරමට ඇඳේ කිසිම හීරෙන සුළු කටුවක්වත් තිබුණේ නෑ. අනික තමයි තිබුණ එකම දේ මගේ ජංගම දුරකතනය විතරමයි. අනිත් අතේ වැවුණු නියපොතු තිබුණෙත් නෑ. ඒත් අත ඇඟට යට වුණා නම් එහෙම වෙන්නත් බැහැ නේද? සාමාන්‍යයෙන් මම නිදන්නේ නෙට් එකක් දාලා. ඒ නිසා ඇඳට පැනලා පූසෙක්වත් හූරලා ගියැයි කියන්න බැහැනේ. මම තාමත් මේක කල්පනා කරනවා. හ්ම්ම්... මේක මගේ අතින්ම නින්දෙදි සිද්ධ වුණු දෙයක්ද? නැත්නම් අදෘශ්‍යමාන දෙයක බලපෑමකින් සිද්ධ වුණු දෙයක්වත්ද? ඒ ගැන නම් කියන්න බැහැ. අඩු තරමින් මම නිදා ගත්තම බෙහෙතකටවත් හීනයක් දකින්නෙත් නැති නිසා. ඒ දැක්කත් බොහොම කලාතුරකිනුයි.

මෙන්න මේ වගේ සිද්ධි සමුදායක් තියෙන චිත්‍රපටයකුත් මම දවසක් භාගත කරා අන්තර්ජාලයෙන්. ඒකේ නම, පැරානෝමල් ඇක්ටිවිටි "Paranormal Activity" කියලා. ඒ චිත්‍රපටයේ ප්‍රචාරණ වීඩියෝවේ නම් තිබුණේ මේක බලලා ගොඩ කාලයක් නිවි හැනහිල්ලේ කාට්වත් නිදන්න ලේසි වෙන එකක් නැහැයි කියලා. ඒ හින්දාම මට තාම ඒ චිත්‍රපටය බලන්න බැරි වුණා වගෙම වැඩි උනන්දුවක් ඇති වුනෙත් නෑ. හැබැයි තැනින් තැන ඇද ඇද බැලුවා ඉවර වෙනකම්ම. මොකද රෑට බලන්න වෙලාවකුත් නැති නිසා, වැඩපළේදීම තමා බැලුවේ.

කතාවක් කීවට ඒක නිකම් වාර්තා වැඩසටහනක් වගේ හදපු චිත්‍රපටයක්. කතාව කෙටියෙන් කියනවා නම් ආදරේ කරන පෙම්වතුන් යුවලක් ගෙදරක නතර වෙලා ඉන්නවා. හැබැයි ඒ කෙල්ලට අදෘශ්‍යමාන බලවේගයකින් එක එක විදියේ බලපෑම් ඇති වෙනවා රෑ නිදන් ඉද්දී. මේ බව ඒ කොල්ලත් දැන ගත්තු නිසා ඒ කොල්ලා තමන්ගේ කැමරාව හැමදාකම රෑ නිදද්දී එයාලා නිදා ගන්න ඇඳ දිහාට හරවලා පටිගත වෙන්න සලස්වලයි නිදන්න යන්නේ. මේ කැමරාවට පේන දේවල් තමයි නිතරම වාගේ චිත්‍රපටයෙන් පෙන්නන්නේ. කාමරේ දොර ඉබේ හයියෙන් වැහෙනවා, කෙල්ල පෙරවන් ඉන්න රෙදි කැබැල්ල බිමට ඇදෙනවා, කෙල්ල නින්දේදී එහෙ මෙහෙ හැරෙන වාර ගාන එහෙමත් මේකෙන් බලා ගන්න පුළුවන්. හැබැයි මේ බවක් කොල්ලා දන්නේ නෑ. එක් වරකදී කෙල්ලව ඇඳෙන් බිමටත් ඇදිලා වැටෙනවා. ඔය වගේ දේවල් රැයක අපි බැලුවොත් මතක් වෙන වාර ගාන වැඩියි වගේම රෑට නිදද්දී හිතට ප්‍රශ්නයක් ඇති වෙන එක නම් සාධාරණයි. හැබැයි ඒක ඇත්ත කතාවක්. අන්තිමට ඒ කෙල්ල විසින්ම ඒ කොල්ලාව මරා දැමෙනවා. අදටත් ඉන් පස්සෙ ඒ කෙල්ලව හොයා ගන්න බැරි වෙලා තියෙන බවක් තමයි අවසානෙට කියැවෙන්නේ. ඔයාලත් හොයාගෙන බලන්න පුළුවන් නම්.

මටත් ඊයේ රෑ සිද්ධ වුණේ එහෙම එකක්වත්ද? හැබැයි කියන්න ඕනෙ දෙයක්. මම නිදියන්නේ අපේ අත්තම්මා නිදා ගත්තු වගේම සීයාත් හිටි කාමරේ. ඒ දෙන්නම දැන් නෑ. හැබැයි මේ තාක් කල් කිසිම උපද්‍රවයක් මට වෙලා නෑ. මොකද මම දන්නවා එයාලා මට ආදරේ කරපු හැටියට කරදරයක් නම් කරන්නේ නැති බව.
ඇත්තෙන්ම මගේ මේ සම්බන්ධ කලින් ලිපියෙන් මම කියන්න උත්සාහ ගත්තේ අපේ රටේ තියෙන දේවල් පහත් කරලා සැලකීම නම් නෙවෙයි. ඇත්තෙන්ම අපේ රටේ දේවල් වලට අපි ආදරේ කරන්න ගන්න ඕනේ ඔය වගේ දෙවල් නිසා. නැතුව පිට රටකට ආවඩන එක නෙවෙයි සිද්ධ වෙන්න ඕනෙ. මොකද ඉන්දියාවේ මිනිස්සු තමන්ගේ රට ගැන හරිම ආඩම්බරයි වගේම පම්පොරි ගහනවත් වැඩියි නේ.

ෆිල්ම්ෆෙයා සම්මාන උලෙලෙදිත් වීර් සාරා වගේ හැමෝවම ඇඬෙව්ව චිත්‍රපටයක රංගන වෙනුවෙන් ශාරුක් ඛාන්ට හොඳම නළුවා සම්මානය නොදී, එයාගෙම ස්වදේශ් චිත්‍රපටයේ චරිතයට ඒ සම්මානෙ ලැබුනෙත් ඒ හින්දාම වෙන්නත් පුළුවන්. ඇයි චක්දේ ඉන්ඩියා එකත් ඔය දේම තමා. තමන්ගේ රටට ඒ රටේ අය ඕනෙවාටත් වඩා ප්‍රේම කරනවා. කලින් ලිපියට ඇවිල්ලා තිබුණු පාඨක අදහසක් වුණේ, ඉන්දියානු ක්‍රිකට් කණ්ඩායම තරඟයක් පැරදුනොත් ගෙවල් කුඩු පට්ටම් කරලා විකාර කරන හින්දා අපේ ලංකාවේ අය හොඳ බව ඒ අතින්. ඔව්. ඒක නම් මම ඉස් මුදුනින්ම පිළි ගන්නවා. ඒත් මේ කතා කරන්නේ සමස්ථයක් හැටියට අපේ රටේ සිනමාවට ඉහල තැනක් ලැබෙන්න ඕනෙ කොහොමද කියන එකයි.

ඇත්තටම නළු නිළියන්ගෙත් වරදක් නෑ. හොඳ දක්ශතාවන් තියෙනවා අපේ අයගේ. ඒත් නිර්මාණ වලින් ප්‍රේක්ෂකයෝ අතරේ රජ කරන්න තරම් ජනප්‍රසාදයක් ඇති කර ගන්න ඒ හින්දාම අපේ නළු නිළියන්ට අද බැරි වෙලා තියෙනවා. භාතිය සන්තුෂ්ලා අපේ රටේ කීර්තිය නංවන්න පිට රටවල ගිහින් සිංදු කියලා සම්මාන ගත්තා. සෙන්ටිග්‍රේඩ් අය පවා. අනිත් අය තමයි අපේ ක්‍රිකට් කණ්ඩායමත් සමහර චිත්‍රපට දෙක තුනකුත්. ඒත් ඒකෙන් විදේශීය ඇහැ අපි දිහාට වැටුනද? ඒක නිකන් හුලඟට ගියා වගේ නේ. කෙනෙක්ට කියන්න පුළුවන් අපේ රටේ නළු නිළියොන්ට ප්‍රේක්ශකයෝ දෙවියොන්ට වගේ සලකද්දි එයාලා උඩ යන්න පුළුවන් බවත්, නිකමට කොළඹට එන මාර්ගත් අවහිර වේවි කියලා ඒ බොහෝ දෙනාගේ පදින්චිය කොළඹ නිසා. ම්ම්... ඒත් එහෙම වුණා නම් ශාරුක් ගෙදරින් එළියට නොබැහැ ඉන්න තිබුණ නේද මාර්ග තදබදය කියල?

නළු නිළියො ගැන අපි මහා ලොකු විශ්වාසයක් ඇති කර ගන්න ඕනෙ නෑ. අපි එයාලගේ රඟපෑම් බලන්න ඕනෙ, විවරණය කරන්නත් ඕනෙ. එයාලගේ පුද්ගලික ජීවිත මොන වගේ වුණත් ඒක අපිට වැඩක් නෑ. මොකද අපි එයාලව තම තමන්ගේ ගෙවල් වල එක්කන් යන්න තරමේ පිස්සුවක්, මේනියාවක් ලංකාවේ ඇති වෙලා නැහැ නේ. අපි ආදරය කරන්න ඕනේ රංගන ශිල්පියෙකුගේ කුසලතාවට මිසක් චරිතයට නෙවෙයි. ශාරුක් අම්බානක් සිගරට් බොනවාය කියලා එයාගේ රඟපෑමට වෛර කරන අය හොයා ගන්න අමාරුයි නේ. අන්න ඒ වගේ. මිනිස්සු වුනාම සිනමාවට, නළු නිළියන්ට, චිත්‍රපට වලට, සම්මාන උළෙලවල් වලට ආසාවක්, මේනියාවක් තියෙන්නත් ඕනෙ. නැත්තන් මිනිස්සු නෙවෙයිනේ. හැබැයි මහා ලොකු මේනියාවක් නෙවෙයි. මෝඩ නොවී නිවි හැනහිල්ලෙ තියා ගත යුතු මේනියාවක් තිබුණම හොඳටම ඇති. අපි කවුරුත් රහත් වෙලා නැහැ නේ තාම.

අපේ රටේ චිත්‍රපට, ටෙලි නාට්ය, ඇඳුම් පැලඳුම්, පසුබිම් ආලෝකකරණය වගේ දේවල් හොඳින්, විචිත්‍රවත්ව තියෙනවා නම්, තිර රචනාව වගේම කතාවත් හොඳ නම්, වාණිජමය වගේම වටිනා නිර්මාණයකුත් වෙනවා නම්, ඕනෙම කෙනෙක්ගේ හිත ඇද බැඳ තියා ගන්න බැරි නෑ. අද කාලෙ ඔය ඉන්දීය ටෙලි නාට්‍ය වලටත් මිනිස්සු ආස ඒකනේ. ඒත් හොඳක් තියෙනවා කියන්න, සිංහල මෙගා ටෙලි නාට්‍ය වලට අපේ අය ගොඩක් නැඹුරු වෙලා නිසා අපේ දේවල් වලට වහ වැටුනු බවකුත් පේනවා. එයිනුත්, නව පන්නේ නළු නිළියො ඉන්න කතා. මොකද තරුණ පරම්පරාව වල් මත් නොකරන ආදර්ශයක් ලැබෙන කතාවල් නිසා සමහරක් ඒවා. ඉතින් සිනමාවෙත් අළුත් මූණු වගේම, හැම තාක්ෂණික උපායකින්මත් අපේ සිනමාව ඉහලට අර ගන්නත්, සිනමාව සම්බන්ධ උත්සවයන්, වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම උත්කර්ශවත්ව තියෙනවා නම්, බැබැලීමක් ලබන එක අමාරු වෙන එකක් නෑ. අවශ්‍ය උත්සාහයක් විතරයි. නළු නිළියන්ව දෙවියො වගේ කරාට, එයාලා අපිව රටෙන් නෙරපන්නෙ නැහැනේ දෙවියො වුනාය කියලා. ප්‍රේක්ශකයෝ ඉන්නකම් එයාලගේ වැටීමකුත් නෑ.

Tuesday, June 8, 2010

ඔන්න ඉතින් අයිෆා සම්මාන උළෙලත් සතියත් සාර්ථකව ඉවර වුණා. ඇත්තෙන්ම සාර්ථකයි කීවෙ උළෙල. මාත් ආසාවෙන් හිටි අවස්ථාවක් මට මග හැරුණා කීවොත් හරි. මොකද මම මේ වගේ දේවල් වලට ගොඩක් ප්‍රිය කරන කෙනෙක් වගේම ඉන්දීය දේවල් වලට කැමති කෙනෙක්. ඒ වෙන දෙයක් හින්දා නෙවෙයි ඒ සමාජය අපිට වඩා ඉදිරියෙන් ඉන්න නිසා.

ඒ රටේ ප්‍රේක්ෂකයෝ පවා ඒ නළු නිළියන්ට දෙවියන් දකින්නාක් වගේ සලකන්නත්, අපේ රටේ නළු නිලියො පාරෙදි දැක්කොත් පස්සෙන් දුවන් ගිහින් සමරු සටහනක් ගන්න තරම් හිතක්වත් අපේ අයට පහල නොවීමත් අතරෙ ලොකු වෙනසක් තියෙනවා. මම මේ හදන්නේ අපේ අයව පහත් කරලා කතා කරන්න නම් නෙවෙයි. ප්‍රතිභාව අති අපේ නළු නිළියෝත් හොඳ මට්ටමක ඉන්නවා. ඒත් ඉතින් අපේ අයට කිසි බැබලීමක් මේ රටේ ලැබෙනවද කියන එක තමා තියෙන ප්‍රශ්නෙ. හිතන්න මාලිනි ෆොන්සේකා හරි, රවීන්ද්‍ර රන්දෙනිය හරි පාරෙ යද්දි වාහනේ නවත්තලා බැස්සොත් කාටද හිතෙන්නේ එයාල ගාවට ගිහින් හිනා වෙලා කතා කරලා පොර කකා සමරු සටහන් ගන්න? ඒ ගැන අමතක කරන්න. අඩුම තරමේ ලංකාවේ සම්මාන රාත්‍රීන් වලින් ඉහලම සම්මාන රැය වෙන්නෙ සරසවි සම්මාන උළෙල නෙ. ඒ මොහොතේදී එතෙන්ට එන ප්‍රේක්ශකයෝ පොර කනවා අපි දැකලා තියෙනවද? නැහැ නේද?

අපි පටන් ගන්න ඕඉනෙ අන්න ඒ තැනින්. ප්‍රේක්ශකයෝ අතරට යන්න නම් ඒ අය දෙවියෝ වගේ අදහන පිරිසක් වෙන්න ඕනි. ඒත් අද අපේ රටේ නිර්මාණ චිත්‍රපට ශාලා වලට විතරක් සීමා වෙලාද කියලත් හිතෙනවා. ඉස්සර නම් විජය කුමාරතුංගට ඔය මම කීවා වගේ ලොකු උන්මාදයක් තිබුණා. කෝ අද ඒක? අද තවමත් සිනමාව, පුංචි තිරය රජ කරන්නේ ප්‍රවීණ නළු නිළියෝ නෙ. එපා කියනවා නෙවෙයි. ඒත් එයාලටත් වැඩි සැලකිල්ලක් නැහැ නේ. ගොඩක් දෙනා වයසට යද්දි බලා කියා ගන්නවත් කෙනෙක් නැතිව ඉස්පිරිතාලවලම නැති වෙනවා. ෆ්‍රෙඩී සිල්වා වගේ අය එහෙම. මැරෙනකංම ගුණ වර්ණනාවක්වත් නෑ.

අනිවාර්යෙන්ම අයිෆා සිනමා උළෙල වර්ණවත් වෙන්න ඇති. අපි රූපවාහිනියෙන් හරි අන්තර්ජාලෙන් හරි දැකලා තියෙන ඉන්දියානු සම්මාන උළෙලවල් වල විදියෙන්ම පසුබිමක් අපිට ලංකාවෙදිත් දැක ගන්න ලැබුණා කිසිම වෙනසක් නැතිවම. අඩු ගානේ මේකෙන්වත් පාඩමක් ඉගෙන ගෙන ලංකාවත් බබලවන්න පුළුවන් නම් ලොකු දෙයක්. ඔහේ අඩු ගානට වේදිකාවක් හදලා, නැත්නම් බණ්ඩාරණායක සම්මන්ත්‍රණ ශාලාවේ ලෑලි ටිකක්, බල්බ් ටිකක්, පාට බෝඩ් ටිකක් දාලා, සරසලා, ඉස්සරහින් මල් තියලා හරිම සාම්ප්‍රදායික විදියෙන් පවත්වන සරසවි සම්මාන උළෙලවල් විතරක් නෙවෙයි අනිත් හැම දෙයක්ම නව පන්නෙට අනුව හිත් ඇද ගන්න විදියෙන් කෙරෙනවා නම් සිනමා කර්මාන්තයට හොඳ එළියක් වැටෙනවා, බැබලීමකුත් එක්කම.

සරසවි සම්මාන උළෙල බලන්න කීයෙන් කී දෙනාද යන්නේ? රූපවාහිනියේ පෙන්නන නිසා ගෙදරට වෙලා ඉන්නවා. ඒත් ලක්ශ ගණන් පවා වියදම් කරලා මිනිස්සු ඉන්දියානු සම්මාන උළෙලක් බලන්න යන්න ලෑස්තියි. මේ වෙනස අපි නැති කරන්න ඕනෙ. අපේ රටේ දේවල් වලට විදේශීය තත්වයක් එන්න ඕනෙ නිර්මාණ වලින් විතරක් නෙවෙයි. නළු නිළියන් අනුවත් ඒකට ලබා දෙන ප්‍රසිද්ධියත්, ප්‍රචාරනයත් නිසයි. ඒ නිසා මේ පාර කොළඹ තිබ්බ අයිෆා උළෙලේ වැරදි අඩු පාඩු හොයන් නැතිව අපිට ඉගෙන ගන්න දෙයක් ඒකෙන් අරන් හැදෙනවා නම්, වෙනස් කමක් වෙනවා නම් ලංකාවෙ සිනමාවටත් පිට රට වල හොඳ ඉල්ලුමක් තියේවි, ඒ වගේම අපේ රටේ මිනිස්සුන්ගෙන් අපේ අයට දේව සැලකිලි ලැබේවි.

Monday, June 7, 2010

මම කලින් වතාවෙ ලිපියෙදි කියන්න ඇති මට හිටෛ යාළුවෝ සහ ඉන්න යාළුවෝ මොන විදියේ අයද කියලා. ඒ අය නරක වුණත් හොඳ වුනත් මට ඒ දෙගොල්ලො එක්කම සාමකාමීව සුහදව ඉන්න පුළුවන් වෙලා තියෙනවා කියලා නම් මම දන්නවා. මොකද එකම පංති වල ඉගෙන ගත්තු අය නිසා ඒකේ වැඩි වෙනසක් නොදැනෙන හින්දා.

කොහොමෙන් කොහොම හරි මට මුණ ගැහුණු යාළුවෝ හැම කෙනෙක්ම මට ගොඩක් සමීප වෙනවා. ඒ වගේම මගෙත් එක්ක ලේසියෙන් තරහ වෙන්නෙත් නෑ. හැබැයි තරහ වුනත් එක දිගට එහෙම ඉන්නෙත් නෑ. ආයෙ ආයෙ ඕනෙ වෙනවා. හැබැයි කියන්න ඕනෙ දේ තමා, මම නම් කෙනෙක් එක්ක තරහා වුණොත් ආයෙ කවදාවත් යාළු වෙන්නෙ නැති බව. නැවතීමේ ලකුණ වචනයේ පරිසමාප්ථාර්තයෙන්ම තිත ම තමයි. හැබැයි මේ තාක් කාලෙකට මට කා එක්කවත් තරහ වෙන්න සිද්ධ වෙලා නෑ.

මගේ මේ යාළුවෝ අතරේ මට ගොඩක් උදව් කරපු යාළුවෝ වගේම මගේ වැරදි හදලා දුන්නු යාළුවොත් ඉන්නවා. ඉන් එක්කෙනෙක් තමයි මට සාමන්‍ය පෙළ පංතියේදී මගේ හොඳම මිතුරා වුණු මගේ යාළුවා. නම කියන්න උවමණාවක් නැහැයි කියලා මම හිතනවා. ඇත්තෙන්ම කියනවා නම් එයාගෙ දෙමව්පියෝ හොඳ උගත් අය වගේම වැදගත් රැකියා කරපු අය. ඒ ගුණාංග වගේම දැනුම් සම්භාරයකුත් එයාට උපතින්ම ලැබිලා තිබුණා කීවොත් වැරදි නෑ.

හොඳට ඉංග්‍රීසි පවා කතා කරන්න පුළුවන් කෙනෙක්. ඒත් කවදාවත් සිංහල කතා කරද්දි ඉංග්‍රීසි වචන මැද්දට දාල කතා නොකරපු කෙනෙක්. මම ඒ දවස් වල ඉංග්‍රීසි සම්බන්ධයෙන් විතරක් නෙවෙයි අනිත් විශයයන් වලදීත් එයාව අනුගමනය කරා වගේම අනුකරණයත් කරා. එයාගේ විදියටම අකුරුත් ලිව්වා. ඒ වගේමයි තරඟෙට ඉංග්‍රීසි ගුරුතුමියගේ වැඩ කරා කවුද වැඩිම පිටු ගාණක් ලියන්නේ බලන්නත්. ඒ කෝම වුණත් එයාගේ රචනාවක් මගේ එකකට වඩා කොහොම හරි ශාස්ත්‍රීය ගණයේ තිබුණා. මම අදටත් ගොඩක් ගරු කරන මගේ මිතුරෙක් එයා. හැබැයි දැන් නම් වැඩි කතා බහක් කරන්න ලැබෙන් නෑ මිනිහා ජ්'පුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ නිසා.

මම ඉංග්‍රීසි වචනයක් වැරදියට උච්චාරණය කරොත් ඒ දේවලුත් හිනා නොවී හැදුවා. ඉංග්‍රරිසි කතා කරන්න පෙළඹෙව්වා. ඒ වගේම පරිගනක තාක්ෂණය ගැන තොරතුරු, ක්‍රීඩා, මෘදුකාංග ගැනත් විස්තර කිව්වා. අපි දෙන්නටම ඉස්කෝලේ පරිගනක අංශයටත් බැඳෙන්න ලැබුණා. අදටත් මිනිහාට අපිව අමතක වෙලා නෑ. ලඟදී දවසකත් මගේ ජංගම දුරකතනෙට රිංග් කරලා තිබ්බා දැක්කා මම වෙන වැඩක ඉන්න වෙලාවක. ඉතින් මේ යාළුවා මගේ ජීවිතේ මුණ ගැහුන හොඳම කෙනෙක්. නිහතමානී වගේම කවදාවත් තමන්ට වඩා ඉහලින් ලකුණු ගත්තත් ඒ කෙනා ගැන නරකක් නොහ්හිතපු වැදගත් පවුලක කෙනෙක්. ඒ නිසා මට සතුටු වෙන්න පුළුවන් යාළුවෙක් ඉන්නවා අනාගතේදී දොස්තර මහත්මයෙක් වෙන.

Saturday, June 5, 2010

මට මතක හැටියට අපේ ගෙදරට මුලින්ම කොම්පියුටරයක් ගෙනාවෙ මම පහ වසරෙ ඉන්න කොට. ඇත්තෙන්ම කියනව නම් ඒක හරි අමුතුම අත්දැකීමක්. ඒ 1997 අවුරුද්ද. මට එච්චර දැනීමක් තිබුනෙත් නෑ පරිගනකයක් පාවිච්චි කිරීමක් ගැන. හිතන් හිටියේ තව ලොකු වුන කාලෙක ඒකක් පාවිච්චි කරන්න, ඉගෙන ගන්න ලැබේවි කියලා. ඒත එදා ටිකක් කළුවර දවසක් වගේ කියලයි මතක. ඒ වගේම තමයි ඒ කාලේ තිබුණා ඉස්කෝල වල වානිජ්‍ය හා ගිණුම් වලට අදාලව විභාගයක්. මගේ අයියා ඒකට යන්න ලැහැස්ති වෙන අතර තුරේදියි අපේ ගෙදරට තාත්තාගේ වැඩපොළේ වාහනයකින් අංකල්ලා කීප දෙනෙක් අවිල්ලා ඒක දීලා ගියේ. හයි කරලාම ගියා.

ඔන්න ඉතින් අලුත් දෙයක් නෙ. ඒ පරිගනකයේ තිබුනේ වින්ඩෝස් 95 කියන වින්ඩෝස් සංස්කරණය. ඩෙස්ක්ටොප් එකේ තිබුණු පිංතූරය සිංහයෙක්ගේ එකක්. හරිම අමුතු අත්දැකීමක්. මවුස් පොයින්ටරෙත් එක එක විදියට නටනවා. මට මතකයි ඒ කාලේ නොදැනුවත් කම නිසා කරපු දේවල්. පරිගනක ඕනෙ තරම් දැකලා තිබුණත් ඒකක් පාවිච්චි කරන්න අවස්ථාවක් තිබුනෙ නෑ කියලා මම කීව නේ. ඒත් අන්තර්ජාලෙ ගැන නම් අහලා තිබුණා. ගෙදරට ගෙනාපු පරිගනකෙ මම හෙව්වෙ කොහෙන්ද අන්තර්ජාලෙට යන්න පුළුවන් කියලා. ඇත්තටම දැන් ඒ ගැන මතක් වෙද්දි හිනාත් යනව වගේම ලැජ්ජත් හිතෙනවා පොඩ්ඩක්. ඒ ඉතින් නොදැනුවත් කම නිසා නෙ. ඒ වැඩෙනුත් කිසි පලක් සිද්ධ නොවෙන හින්දා ඊලඟත කරන්න පුළුවන් වුණේ පරිගනක ක්‍රීඩා වල දවසම ගත කරන එක. ඒකත් ඒ කාලෙ හැටියට හරිම විනෝදයක්. අයියාත් මමත් තරගයට වගේ ඒවා සෙල්ලම් කරා කියල මතකයි.

එදා ඉඳන්ම තමයි මම පරිගනකයක් අත පත ගාන්න පටන් ගත්තේ. ගොඩක් මෘදුකාංග තනියමයි අත පත ගාලා ඉගෙන ගත්තේ. ඒ ආපු දුර නිසා තමයි අද පරිගනක සම්බන්ධව තොරතුරු තාක්ෂණ උපාධියකුත් හදාරන්නෙ.

කෙනෙක් පරිගනක ක්ශේත්‍රයට ආවොතින් ඉතින් හැරිල බලනවා බොරු. මොකද ඉගෙන ගන්න තියෙන දේවල් කියල නිම කරන්න බැරි නිසා. පොඩි කාලෙ මම වැඩිය ප්‍රිය මනාප නොවුණු බොහෝමයක් මෘදුකාංග ගැන ලොකු ප්‍රේමයක් පහල වුණා ඒවා ගැන ඉගෙන ගත්තහම. ඒත් එක්කම ඒ පිළිබඳව හොයල බලන්න, තව තව ඉගෙන ගන්නත් අනිවාර්යෙන්ම ඉඩ ප්‍රස්ථාවක් උදා කර ගන්න හිතුනා.
සීගල් නැත්නම් ඉංග්‍රීසියෙන් "Seagull" කියන්නේ මුහුදු ලිහිණියන්ට නේ. මේ කියන්න යන්නෙත් පියාඹල ගිය මුහුදු ලිහිණියෙක් ගැන තමයි. හැමෝම වාගේ කලබල වගේම හැමෝටම පාඩු සිද්ධ කරලා යන්න ගිය කෙනෙක් ගැන. හැබැයි මේ සතෙක් නම් නෙවෙයි. සත්තු රැලකගේ ආයතනයක්.

මට මේ
'Seagull' ආයතනය ගැන දැන ගන්න හම්බ වුණේ මගේ ඉස්කෝලෙ හොඳම යාළුවාගෙන්. එයාගේ නම කියන්න ඕනෙ නැහැ නේද? කොහොමෙන් කොහොම හරි අපේ ඉස්කෝලෙ ජීවිතය අවසන් වෙලා තිබිණු කාලෙදි (2006 දී වගේ) ආදයමක් හොයා ගන්න කියාපු විදිය කියලා මගේ යාළුවා මේ ගැන විස්තර එහෙම හොයා ගෙන මට ඇවිත් කීවා. ඇත්තෙන්ම මගේ යාළුවා ඒ වෙද්දි ඒ ගැන කිසි දෙයක් දැනන් හිටියේ නැහැ, එයාට ලැබුනු පොඩි අත් පත්‍රිකාවක තිබුණු විස්තර වලට අමතරව. ඉතින් ගෙදර ඉඳලාම සල්ලි හම්බ කරන්න පුළුවන් වෙන නිසා මාත් කැමති වුණා. මොකද කවුරුත් ආසයි නේ තමන්ගේ වියදමට කියලා තමන්ටම සල්ලි හම්බ කර ගන්න පුළුවන් නම්.

යාළුවා එයාලට දුරකතන ඇමතුමක් දීලා ලියාපදිංචි වෙලයි හිටියේ එතකොට. මටත් ඒ උපදෙසම දුන්නා. මාත් ඒක පිළි පැද්දා. පස්සේ අපිට දැනුම් දුන්නා සම්මුඛ පරීක්ෂණයකට එන්නය කියලා. මේ ආයතනය තිබුණේ ගල්කිස්සේ. ම්ම්... හරියටම තැන කියනවා නම්, ගල්කිස්සේ හෝටල් පාරට යාබදව තිබුණු ඉන්ධන පිරවුම් ස්ථානයක්ට එහා පැත්තේ. ගෙයක් වගේ තැනක්, ඒත් හොඳට උසස් පැලැන්තියේ විදියට ඇතුලේ වෙන් කරලා, වායු සමීකරණය කරලා තිබුණේ. හිටි අයත් හිටියේ ටයි දාල අත් දිගට ඇඳලා.

ඔන්න ඉතින් අපි ඔය ආයතනේට ගියා ඒ පරීක්ෂණයට. ඇත්තෙන්ම ඒක එහෙම එකක් නෙවෙයි. එයාලගේ වැඩ කරන්නේ කොහොමද කියලා දැනුවත් කිරීමක් විතරයි. එතන වැඩ කෙරෙන්නේ මෙන්න මෙහෙමයි. එයාලගේ වෙබ් අඩවියෙන් අපි ඇපේ කොටසට ඇතුල් (Login) වුණාම අපිට ලැබෙනවා භාණ්ඩ ජාති පහක්, ඒවායේ වෙබ් ලිපිනයනුත් එක්ක. අපි ඒ ලිපිනයකට ගිහින් ඒ භාන්ඩේ ගැන විස්තර අරගෙන "Microsoft EXCEL Document" එකකට දාලා එයාලගේ වෙබ් අඩවියට "Upload" කරන්න ඕනෙ. මේ වගේ භාණ්ඩ පහ ගානෙ එක්කෙනෙක්ට ලැබෙන ලැයිස්තුවක් ඒ ආයතනයෙන් ලබා ගන්න අපි එයාලට ගෙවන්න ඕනෙ වුණා රුපියල් 6000 ක් ජීවිත කාලයටම. ඒ එක ලැයිස්තුවක භාණ්ඩ ගැන තොරතුරු හොයලා එයාලගේ වෙබ් අඩවියට සැපයුවාම මාසෙකට දවස් 20 ක් වැඩ කරාම අපිට ලැබෙන පඩිය නැත්නම් ආදායම රුපියල් 4000 යි.

ඔය වගේ භාණ්ඩ පහ ගානෙ තියෙන ලයිස්තු ඕනෙ තරම් ප්‍රමාණයක් රුපියල් 6000 ගානෙ දීල ගත්තා ගොඩක් දෙනා. මාස කීපයක් ගත වෙද්දි මේ වැඩේට සම්බන්ධ වුණු ප්‍රමාණය මුල් ගාණට වඩා අතිශයෙන් වැඩි වුණා. මම නම් හොඳ වෙලාවට ගත්තේ එක ලයිස්තුවක් විතරයි. ඒ ලයිස්තුව මාස 3ක්ම කර ගෙන ගියා අලුතින් නොගෙන. මොකද මේ වගේ ආයතන විශ්වාස නොකරන්න කියලා තාත්තා උපදෙස් දීලත් තිබුණු නිසා. කොහොමෙන් කොහොම හරි මාස 3 ක්ම පඩිය ලැබුණු නිසා තව ලයිස්තුවක් මම ගත්තා. ඒක නිසා මට සිද්ධ වුණු පාඩුව රුපියල් 1000 ක්. ඒ වෙන මුකුත් නිසා නෙවෙයි, ඒ ලයිස්තුව ගත්තු මාසෙට පස්සෙ මාසේ ඉඳන් ඒ ආයතනේ අතුරුදහන් වීම. මට වුණු පාඩුව
වඩා, අන්තිම මාසෙදි හිටි පිරිසගෙන් බොහෝමයක් දෙනා මිලියන ගනන් දීලා ලැයිස්තු අරගන්න පොර කෑවා. ඒ සල්ලි නිකන්ම වතුරේ ගියා.

ඒ නිසා ඔයාල කවුරු හරි ඔය වගේ ගෙදර ඉඳන් ලේසියෙන් සල්ලි හම්බ කරන්න උත්සාහ කරනවා නම් ඒ වගේ අවස්ථාවන් ගැන ගොඩක් පරිස්සමින් වැඩ කරන්න ඕනෙ කියලා මතක තියා ගන්න. මොකද කවුරු කවදා අපේ ඔළුවට අත හෝදයිද කියන්න බැරි නිසා. මේකට මගේ යාළුවත් අහු වුණා මම වගේම. ඒත් ඒකට එයා වැරදි නැහැ; එයත් ඒ ගැන දැනන් නොහිටි නිසා. ඒ නිසා සක්විතිල හැම තැනම ඉන්න පුළුවන් බව දැනන් වැඩ කරොත් හොඳයි.
මාතෘකාව දැක්කම කට්ටිය කියවන්නත් අකමැති වේවිද මන්දා. ඒත් ඉතින් මේ ගැනත් නොකියම බැහැ නෙ. මොකද ලිංගිකත්වය කියන්නේ ඕනෑම පුද්ගලයෙකුට පුද්ගලිකව තබා ගන්න සිද්ධ වෙන ජීවිතේ බොහෝ වෙනස්කම් ඇති කරන මාතෘකාවක් නෙ.

අද කාලෙ තරුණ තරුණියො හැඟීම් වලට වහල් වෙලා හරි දුර ගම
ක යන උදවිය. ඒ යන වේගෙ දකිද්දි ඉස්සරහට කසාදයක් කර ගන්න කෙල්ලෙක්ට කොල්ලෙක්වත්, කොල්ලෙක්ට කෙල්ලෙක්වත් ඉතුරු වේවිදෝ කියලත් හිතෙනවා. මොකද තම තමන්ගේ නම්බුව, තත්වයට වඩා විනෝදය ඔය හැම දෙනාම අගය කරන නිසා. විනෝදය ලබන්න තියෙන හොඳම මාර්ගය ලිංගිකත්වය විදියට තමා ගොඩක් දෙනා හිතා ගෙන ඉන්නේ. විවාහ දිවියක් ගත කරන අයව අපි ටිකකට අමතක කරොත්, බොහෝමයක් තරුණ තරුණියො ඔය පස්සේ දුවන දිවිල්ල බැලුවම අපිට ඉතින් දෙවියන්ගේම පිහිට තමා.

ලිංගිකත්වය ගැන කීවම ඉතින් හැමෝටම ලිංගික අවයව ඇති නේ නොකීවට. සැකයක් තියෙනවා නම් කවුරුත් නැති පැත්තකට ගිහින් හොයල බැලුව නම් තමයි වටින්නේ. හැබැයි ඕනෙම කෙනෙක්ට තම තමන්ගේ ලිංගික අවයවයන් ප්‍රසිද්ධියේ පෙන්නන්න කීවොත් ලැජ්ජාවට පත් වෙන්නෙ ඇයිද කියල තමයි මට තියෙන ප්‍රශ්නේ. විශේෂයෙන් ඔය ලිංගික ආශ්වාදනයට එකිනෙකාව ආශ්‍රය කරන කෙල්ලො කොල්ලො එහෙම. ආදරේ කරලා විවාහ වෙලා හොඳ පවුල් ජීවිතයක් ගත කරන්න තමයි හැමෝම හීන දකින්නේ. ඒත් එහෙව් එකේ බඳිනකං විනෝද වෙන එක විතරමද කෙනෙක්ට කරන්න ඉතුරු වෙලා තියෙන්නේ?

මිනිහෙක්ගේ ප්‍රධානම ලිංගික අවයවය වෙන්නේ මොළය කීවොත් පුදුම වෙන්න දෙයක් නෑ. මොකද ලබන ඕනෙම ආශ්වාදයක් ලැබෙන්නේ මොළෙන් හිතලා කරන දෙයක් කරොත් විතරයි. මිනිස්සු වෙලා තිරිසන්නු වගේ හැසිරෙන්න නම් කොයි තරම් පවක් කරලා ඉපදෙන්න ඕනෙද කියලත් හිතෙනවා. මොකද සමහරුන්ට ලිංගිකත්වය හැර දෙයක් නැති තරම් නේ.

ඔය දේ විතරක් නෙවෙයි කියන්න ඕනෙ වැදගත්ම දේ. ඒ වගෙ ලිංගිකත්වය පස්සේ දුවන කෙනෙක් අපෙ යාළුවො අතරේ හිටියොත් ඒක මොන විදියෙන් අපිට බලපාවිද කියලා හිතන්න වෙනවා. "මචන් උබත් එනවද?", "අඩෝ උඹත් වරෙන් ඒ පැත්තේ මම කීවම. හොඳ ආතල් එකක් ගන්න පුළුවන් එකක් ගේනවා හෙට අනිද්දා" වගේ දේවල් ඇහෙද්දි හිතට ගොඩක් දුක හිතුන අවස්ථාවල් බොහෝමයක් තියෙනවා මගේ ජීවිතේ නම්. ඒ වෙන මොකවත් නිසා නෙවෙයි, එහෙම යාළුවෝ ආශ්‍රය කරන්න සිද්ධ වෙලා තියෙන නිසා. අනිත් දේ, තමන්ගේම යාළුවෙක් ඒ තත්වෙට වැටිල තියෙන නිසාත්, ඒකෙන් ගොඩ ගන්නත් බැරි නිසා. හැබැයි තම තමන්
හොඳින් හිතලා බලන්න පුළුවන් කමක් තියෙනවා නම්, මෙච්චර කලක් ඉස්කෝලේ ගිහින් පොල් ගෑවේ, කට්ටි පැන්නේ නැත් නම්, ඒ ගැන හිතල බලල තම තමන්ට අනාගතේදී ආපස්සට හැරිලා බලල සතුටු වෙන්න පුළුවන් ජීවිතයක් ගොඩ නගා ගන්න උත්සාහ ගන්නවා නම් තමයි වඩාත් හොඳ. එතකොට කාට කාටත් තම තමන්ව ප්‍රිය වෙයි.

Friday, June 4, 2010

ඇත්තටම මට මුණ ගැහිල තියෙන යාළුවන්ගෙන් බොහෝමයක්ම හොඳ අය. ගොඩක් දෙනාට එහෙම අයව මුණ ගැහෙන්නේ හරිම කලාතුරකින්. මම කොල්ලෙක් වුණාට සාමාන්‍ය කෙළිලොල් ජීවිතයක් වෙනුවෙන් කාටවත් දුකක් දුන්නෙත් නෑ, අනවශ්‍ය විනෝදවීම් ලැබුවෙත් නෑ. අද කාලෙ කොල්ලො විතරක් නෙවෙයි කෙල්ලොන්වත් විශ්වාස කරන්න පුළුවන් කමක් නෑ නෙ. අද කාලෙ කෙල්ලෙක්ටත් වඩා කොල්ලෙක්ව පරිස්සම් කරන්න ඕනෙ කියන එක අනිවාර්ය දෙයක්.

කොහොමෙන් කොහොම වුණත් මට මුණ ගැහු
යාළුවෝ අතරින් හිත් ගත්තු යාළුවො බොහෝමයක් අදටත් මා එක්ක යාළුකම් පවත්වා ගෙන යනවා. ඉස්කෝලේ හත වසරේදී මුණ ගැහු හොඳම යාළුවෝ පවා අද විශ්ව විද්‍යාල වල ඉගෙන ගනිද්දී හිතට ලොකු සතුටකුත් දැනෙනවා. ඊටත් වඩා සතුටු අපිව තවමත් අමතක නැති එකයි. ඉස්කෝලෙන් අයින් වෙලා දැනට, ඒ කියන්නේ 2010 අවුරුද්ද වෙද්දි අවුරුදු හතරකුත් ගත වෙලා ගිහින්. මේ අවුරුද්දේ මුල බාගයෙදී නම් අපේ ඉස්කෝලෙ යාළුවෝ හැමෝම වගේ එකතු වෙලා විනෝද වුනා. ඒ වගේ අවස්ථාවල් නිතර ලැබෙනවා නම් හොඳයි කියලයි මට හිතෙන්නේ. මොකද ඉතින් දැන් හැමෝම වගේ කාර්ය බහුල ජීවිත නෙ ගත කරන්නේ.

මේ දේ නම් අනිවාර්යෙන්ම කියන්න ඕනෙ. මගේ හොඳම යාළුවො ගනේට වැටෙන යාළුවො හත් අට දෙනා නම් අද කාලෙ කොල්ලො කරන කිසිම වැරැද්දක් කරන්නේ නෑ. ඒ කීවේ මත්පැන් බොන්නේ වත්, සිගරට් පානය කරන්නේවත්, ලිංගික ආශ්වාදනයට කෙල්ලන්ගේ නම්බුව කෙලෙසන්නේ වත් නෑ. හැබැයි සමහරු නම් කියනවා ඒවා නොකරන කොල්ලො නපුංසකයි කියලා. ඇත්තෙන්ම ඒ ගැනත් කතා කල යුතුමයි. මොකද ඒ ගැන නොකීවොත් ලොකු අඩුපාඩුවක් නෙ. ඒවා කරන්නම ඕනෙද පිරිම කම පෙන්නන්න කියලා ප්‍රශ්නයකුත් ඒත් එක්කම මතු වෙනව නේද? දැනට ඒ ගැන පස්සට කතා කරන්න තියමු. මට අහන්න තියෙන්නේ, ඔයාලටත් එහෙම යාළුවෝ ආශ්‍රය කරන්න අවස්ථාවක් උදා වෙලා තියෙනවද? නැතිනම් ඇයි කියලා. ඒ ප්‍රශ්නෙට කාටද උත්තර දෙන්න පුළුවන්?
ඇත්තෙන්ම මම බ්ලොග්කරණයට නවකයෙක් නෙවෙයි කියලයි හිතන්නේ. මම දැනට මේකට අමතරව බ්ලොග් කීපයක්ම කර ගෙන යනවා. ඉන් එකක් කවියෙන් ලියැවෙන ආදර කතාවක්. දෙකක්ම නව කතා. අනික පාඩම් මාලාවක් ගැන ලියැවෙන්නක්.

ඉතින් මම බලාපොරොත්තු වෙන්නේ හැමෝගෙම රසාස්වාදයට ගැලපෙන විදියේ වැඩ වලින් ඔයාල ගාවට එන්න. මොකද ඒකෙන් මගේ ලේඛන කලවත් වැඩි දියුණු කර ගන්න පුළුවන්. වෙලාවකට හිතෙනවා බ්ලොග්කරණයට මම ඇබ්බැහි වෙලාදෝ කියලත්. හැබැයි කාලෙ කකා ඉන්නවට වඩා ඒකෙන් කාට හරි යහපතක් වෙනව නෙ. අනික ඔය සමාජ වෙබ් අඩවි වල වතු වගා කරමින් කාලෙ යවනවට වඩා දන්න කියන දෙයක් කියල දෙන හරි වටිනව නෙ හැමෝටම. ඒ නිසා තමා මම මේ කලාවට අඩිය තිබ්බේ.

මගේ නිදහස් අදහස් හැමෝමත් එක්ක බෙදා ගන්න හිතා ගෙනයි මම මේ බ්ලොග ප
න් ගන්නේ. ඒකට හැමෝගෙන්ම මට හොඳ සහයෝගයක් ලැබේවි කියලයි මම හිතන්නේ. ඇත්තෙන්ම මේක ලියන්න පටන් ගන්න තිබ්බේ මීට ගොඩක් කලින්මයි. ඒත් ඉතින් දැන් හරි මා මේක ලියන්න පටන් ගන්න ලැබුණු එක වටිනව. නැත්නම් තවත් පරක්කු වෙනව නෙ. සමාජයේ වගෙම මගේ ජීවිතේ ලැබුණු අත්දැකීම් ගැන හැමෝටම කියන්නත් මම මේ බ්ලොග් පිටුවෙන් බලාපොරොත්තු වෙනවා.
 

Copyright 2010 tee දුටු ලොව.

මෙහි පළ වී ඇති සියළුම ලිපි වල හිමිකාරීත්වය "TeeRox" වන මා සතුව පවතින අතර, දැනුම් දීමකින් තොරව හෝ අවසරයක් නොමැතිව උපුටා ගැනීම හෝ වෙනත් කටයුතු සඳහා යොදා ගැනීම සපුරා තහනම් බවත්, ඒ සඳහා නීතිමය ක්‍රියාමාර්ග කරා යාමටද හැකියාව ඇති බවත් කරුණාවෙන් සලකන්න.