Sunday, December 5, 2010

මීට කලින් පළ වුනු ලිපියේ සඳහන් වුනේ මෑතකදී නිකුත් වුනු චිත්‍රපටයක් ගැන නේ. ඉතින් ඒ ලිපියේ අග භාගයේදී හිතන්නට යමක් ඉතුරු වුනා නම්, ඒ හා සම්බන්ධව යමක් පවසලා තියෙනවා නම් ඒ ගැන කතා කරන්නටයි මේ ලිපියෙන් අදහස් කරන්නේ. ඒ ලිපිය ඔයාලා කියෙව්වා නම් ඒකේ සඳහන් කරලා තියෙනවා බුදු රජාණන්වහන්සේ ගැනත්. මේ ලිපියේ මාතෘකාව ගැන කියද්දී නම් අවතාර පිළිබඳව කියන, අදෘශ්‍යමාන බලවේග හා සම්බන්ධ දෙයක් ලිපියක් නොවෙන බව පහුගිය ලිපියෙන් දැන ගන්නට ඔයාලට පුළුවන් වේවි.

අවතාර්වරයෙකු කියන්නේ ආධ්‍යාත්මීය බලයෙන් භූත හතර නම්‍යකරණය කරන්නට පුළුවන්, එහෙමත් නැත්නම් දමනය කළ හැකි පුද්ගලයෙක් හැටියටයි පසුගිය ලිපියෙන් සඳහන් වුනු කතාවේ කියැවෙන්නේ. භූත ලෙසින් මෙහිදී හඳුන්වන්නේ බුදු දහමේ සඳහන් වෙන පඨවි, ආපෝ, තේජෝ සහ වායෝ කියන සතර මහා භූත රූපයනුයි. මා මුලින් සඳහන් කළ කතාවේ මේ සතරට ලැබී ඇති අර්ථයන් වඩාත් පැහැදිලි වන්නේ ඒවාට යොදා ඇති වචන වලින්. ඒ, භූමිය (Earth), ජලය හෝ දිය (Water), ගිනි හෙවත් අග්නි (Fire) සහ වායු (Air) වශයෙන්. මේ හතර බුදු දහමේත් මීට වඩා අර්ථ නිරූපණයන්ට බඳුන් වෙලා තියෙනවා. නමුත් බුදු දහමින් පෙන්වා දෙන අර්ථ දැක්වීම ඉතාමත්ම ගැඹුරුතාවකින් සහ හරයකින්ද යුක්තයි.

අවතාර්වරුන් පුනරුප්පත්තිය ලබන පිරිසක්. ඔවුන් පහළ වන්නේ සැලකිය හැකි කාල පරාසයක් ඇතුලතදීයි. එහෙමත් නැතිනම් ඔවුනගේ ක්‍රියාකාරීත්වය ආරම්භ වන්නේ වර්ෂ ශතකයක් තුලදී පමණ බවත් හිතන්නට පුළුවනි. බුදු කෙනෙකුන්ගේ පහළ වීමකට වඩා අවතාර්වරුන්ගේ පහළ වීම ඉතා ශීඝ්‍රයෙන් සිදුවන්නේ ඔවුන් පුනරුප්පත්තිය ලබනා නිසාවෙන් විය හැක. මන්දයත්, බුදු කෙනෙකුන් ලොවට පහළ වන්නට ගත වෙන කාල පරාසය වර්ෂ ශතකයක් නොව වර්ෂ අසංඛෙය්‍ය කල්ප ලක්ෂයක් තරම් දක්වා වත් දීර්ඝ වන නිසාවෙනි. ඊට හේතු වන්නේ බුදුවරුන් නිර්වාණයට පත් වීමයි.

බුදුවරයෙක් ලොවට පහළ වන්නේ ලෝකවාසීන්ට ධර්මය දේශණා කොට චතුරාර්‍ය සත්‍යය අවබෝධ කරවා ඔවුන්ව යහ මගට ගෙන ආර්ය ප්‍රතිපදාවේ පිහිටුවීමට උපකාර කිරීම සඳහායි. ඒ වගේම බුදු රජාණන් වහන්සේ නමක් සතුව අපරිමිත, සැසඳුමකට ලක් කළ නොහැකි අයුරේ ශක්ති ප්‍රමාණයක් සහ හැකියා කෞශල්‍යයක් අන්තර්ගතව පවතී. බුදු කෙනෙකුන්ගේ ගුණ සමුදාය පිළිබඳව කතා කර අවසන් කළ නොහැකි යැයි පවසන්නේද එනිසාවෙන්. එමෙන්ම ලෝකයේ අසරණ වන්නන් හටත්, යහමගට ගත හැකි යමෙක් වේ නම් ඔවුනටද පිහිට වීම බුද්ධ චරිතයේ එන තවත් වැදගත් ගුණාංගයක් වෙනවා. ඒ වගේම උදාහරණයක් ලෙසින් ගෙන හැර පෑවොත්, රෝහිණී ගංගාවේ ජලය වෙනුවෙන් පැවති සටන, චූලෝධර මහෝධර සටන සහ තවත් ආකාරයේ දෙකඩ වීම් ආදීය පවා උන්වහන්සේගේ ආශ්චර්යයෙන් මැඩ පැවැත්වීමටද උන්වහන්සේට හැකියාව තිබිණ.

අවතාර්වරුන්ද ලෝකයට පහල වන්නේ ලෝකයේ සමබරතාව රැකගෙන අසරණ පුද්ගලයන්ට පිහිට වී අසාධාරණයට විරුද්ධව නැගී සිට එය සමථයකට පත් කිරීම සඳහායි. නමුත් මොවුනගේ ශක්ති සම්පන්නභාව කිසි විටෙකත් බුදුවරුන්ගේ ගුණ සහ ශක්ති සම්පන්න භාවයට අංශු මාත්‍රයකින්වත් සම කළ හැකියාවක් නැති බවත් කියන්නට ඕනි. නමුත් මෙහිදී යොදාගෙන ඇති සංකල්ප වල සමතාවක් පැවතීම විශේෂත්වයක් ලෙසින් දකින්නට පුළුවන්. ඉහත සඳහන් කළ ආකාරයට ලෝකයේ යම් රාජධානියක් අභිභවා යමෙක් නැගී සිටීමට තැත් කිරීමේදී සිදු වන මිනිස් සහ දේපළ සංහාරයන් මැඩලීමට අවතාර්වරුන්ගේ සහය ලෝකවාසීන් බලාපොරොත්තු වෙයි.

බුදු රජාණන් වහන්සේලා හට ප්‍රාතිහාර්‍ය පෑමේ විශේෂ හැකියාවක් ඇති නමුදු එය අනවශ්‍යාකාරයෙන් ප්‍රයෝජන ලැබීමට යොදා නොගන්නා උත්තම කොට්ඨාශකයකි. එය නිවැරදි අවස්ථාවේදී, නිවැරදි ආකාරයට අවබෝධයෙන් යුතුව හසුරවීම ඔවුන් සතු හැකියාවක්ද වෙනවා. එවන් ප්‍රාතිහාර්‍ය පෑ අවස්ථා පිළිබඳව බුද්ධ චරිතයේ සඳහන් වනවා. මින් ප්‍රධානතම ප්‍රාතිහාර්‍ය ලෙසින් හඳුන්වන්නට හැකි වන්නේ බුදු රජුන් අහසට නැග යමා මහ පෙළහර පෑම නැමැති ප්‍රාතිහාර්‍ය සිදු කිරීමයි. මෙවන් ප්‍රාතිහාර්‍යයන් පෑමට හැකි ලොව එකම පුද්ගලයා බුදු කෙනෙකුන් පමණකි. මෙහිදී උන්වහන්සේ එකම අවස්ථාවකදී ශරීරයෙන් ගිනි සහ ජලය පිට වනවාක් මෙන් පෙන්වීම එම ප්‍රාතිහාර්‍යයයේ ස්වභාවයයි. මෙය සිදු වන්නේ චිත්ත ක්ෂණ එකකට පසු අනික වශයෙන් නොගිණිය හැකි කුඩා කාලයකදී ඇති කරමින් නැති කරමින් පවත්වා ගැනීමයි. වඩා හොඳින් පැහැදිලි කරනවා නම් එක් චිත්ත ක්ෂණයක් පවතින්නේ නොගිණිය හැකි තරම් කුඩා කාලයක් පමණක් වීමත්, එක් අවස්ථාවකදී ගින්දර පිට වීම හා අනෙක් අවස්ථාවේදී ජලය සිරුරෙන් පිට වෙන ලෙසින් විදහා පැම කෙටි කළකදී දිගින් දිගටම සිදු වීම හේතුවෙන් ජලයත් ගින්දරත් එකම මොහොතේ පිටවන්නාක් මෙන් දිස් වීම මෙම ප්‍රාතිහාර්‍යයේ ඇති සුවිශේෂී ලක්ෂණයයි. එමෙන්ම අහසට නැග සිටීම පවා ආධ්‍යාත්මික ශක්තියෙන් සහ අධිශ්ඨාණයෙන් යුතුව සිදු කිරීම බුදු වරුන් සතු ප්‍රාතිහාර්‍ය ගුණ ශක්ති හැකියාව නිරූපණය කරන්නක්.

අවතාර්වරුන් මේ ආකාරයේම නොවූවත් මීට වෙනස් අන්දමින් මේ පදාර්ථ හෙවත් භූත රූපයන් හසුරුවීම සිදු කරයි. නමුත් ඒ තමන්ගේ මෙන්ම අනුන්ගේද යහපත උදෙසා විය හැකියි. මොවුනට වාතය, ජලය, පස් හෝ භූමිය සහ ගින්දර අවශ්‍ය ආකාරයට හසුරුවමින් නොයෙකුත් වැඩ සිදු කිරීමට හැකි ආධ්‍යාත්මීය ශක්තියක් පවතී. නමුත් මේවා ප්‍රාතිහාර්‍යයන් ලෙසින් නොව සැබෑ වශයෙන් පදාර්ථයේ හැසිරවීමක් ලෙසින් දකින්නට පුළුවනි. නමුත් එම කතාවට අනුව එය මිත්‍යාවක් ලෙසින්ද සැලකිය හැකි වන්නේ එවන් පුද්ගලයන් ලොව නොමැති හෙයිනි. නමුත් මානසික ශක්තිය උපයෝගයෙන් යකඩ හැඳි නවනා පුද්ගලයින් අපට දකින්නට ලැබී තියෙනවා. ඒ සත්‍ය ලෝකයේදී මානසික ශක්තියෙන්ද, දෘශ්‍ය ප්‍රයෝගයන්ගෙන්ද යන්න පිළිබඳව තවමත් සැක සහිතයි.

ඉතින් මේ ලිපියෙන් සඳහන් වූයේ බුදුවරුන්ගේ ගුණ හැකියාවන් සංකල්පයක් ලෙසින් අවතාර්වරුන් නිර්මාණය සඳහා යොදා ගෙන ඇතිද කියන පුද්ගලික විමසීමක් මත පමණක් බවත් මතක් කරන්නට ඕනේ. මන්දයත් බුදුවරුන් හා සැසඳිය හැකි වන්නේ තවත් බුදුවරයෙක් පමණක්ම නිසාවෙනි.

1 පාඨක අදහස් | Comments:

දසුන් සමීර වීරසිංහ said...

සටහන එක හුස්මට කියේවවා. ඉතාමත් අගෙයි.

අවසාන වශයෙන් පොඩි දෙයක් එකතු කරන්න අවශ්‍යයි. ඔබ කියපු ආකාරයේ මනසේ බලයෙන් යකඩ ප්‍රසිද්ධ පුද්ගලයන් නම් කරන්නේ ප්‍රෝඩවක්. මෙය හොඳටම කරපු කෙනා තමයි uri geller. මේක බොරුවක් බව banachek නැමැති මැජික්ෂිල්පියා පෙන්වාදුන්නා. ඔහුටත් මේ ආකාරයට හැඳි ආදිය නැමුවාට එය කරන්නෙ මානසික බලයෙන් නොවන බව පැහැදිලිව ප්‍රකාෂ කරා. මේවා දැනට මැජික් ඉගන ගන්න මුල්අවදියේ ඉන්න ආධුනිකයන් පවා කරන එකක්.

එක් එක් කසිනයට සම වැදීමෙන් ප්‍රාතිහාර්ය පාන ආකාරය ගැන විශුද්ධිමාර්ගයේ දීර්ඝව විස්තර කරනවා. තවදුරටත් විස්තර දැන ගැනීමට ඇවැසි අයට කියවල බලන්න පුලුවන්.

Post a Comment

 

Copyright 2010 tee දුටු ලොව.

මෙහි පළ වී ඇති සියළුම ලිපි වල හිමිකාරීත්වය "TeeRox" වන මා සතුව පවතින අතර, දැනුම් දීමකින් තොරව හෝ අවසරයක් නොමැතිව උපුටා ගැනීම හෝ වෙනත් කටයුතු සඳහා යොදා ගැනීම සපුරා තහනම් බවත්, ඒ සඳහා නීතිමය ක්‍රියාමාර්ග කරා යාමටද හැකියාව ඇති බවත් කරුණාවෙන් සලකන්න.